දෙමළ පක්‍ෂ 7ක ඉල්ලීමට උතුරේ භාගෙට හර්තාල් කඩ සාප්පු රැසක් වැසෙයි

286

දෙමළ පාසල් ඇරියත් ගුරුවරු සිසුන් නෑ

උතුරු නැගෙනහිර ප්‍රදේශවල හර්තාලයක් දියත් කරන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හතක් විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඊයේ (20 දා) උතුරේ ප්‍රධාන නගරවල වෙළෙඳ සල් විශාල ප්‍රමාණයක් වසා දමා තිබුණි.

රජයේ කාර්යාල හා බැංකු ක්‍රියාත්මක වුවද දෙමළ පාසල්වල සිසුහු හා ගුරුවරු පාසල්වලට පැමිණ නොසිටියහ.

උතුරේ සිංහල පළාත්වල පාසල් විවෘතව පැවැති අතර ගම්බද පළාත්වල වෙළෙඳ සල් ද ක්‍රියාත්මක වුණි.

ප්‍රධාන නගරවල විවෘත කොට තිබූ වෙළෙඳ සල්වලින් භාණ්ඩ මිලට ගැනීම සඳහා සහ වෙනත් අවශ්‍යතා සඳහා නගරවලට ජනතාව පැමිණ සිටියහ. නමුත් වෙළෙඳ සල්වල හා නගරයේ වෙනදා පැවැති තදබදය දක්නට නොලැබුණි. ගමනාගමන කටයුතුවල අඩපණ වීමක් දක්නට නොලැබුණු අතර දුර ගමන් සේවා බස් රථ ක්‍රියාත්මකව පැවතුණි. උතුරු නගෙනහිර පළාත්වල මෙම හර්තාලය සංවිධානය කොට තිබුණේ මුලතිව් මහෙස්ත්‍රාත්වරයාට එල්ල වූයේ යැයි කියන මරණීය තර්ජන සම්බන්ධයෙන් රජය නිසි ලෙස කටයුතු නොකළ බව කියමින් ඊට විරෝධය පළ කිරීම පිණිසය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment