රාජ්‍ය සේවකයන් සඳුදා සිට යළි ඇඟිල්ල තබති

255

රාජ්‍ය සේවකයින් සඳුදා (15 දා) සිට රාජ්‍ය ආයතනවලට පැමිණීමේදී හා පිටවීමේදී ඇඟිලි සටහන් යන්ත්‍ර භාවිත කිරීම අනිවාර්ය බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා සියලු ආයතන ප්‍රධානීන්ට චක්‍රලේඛයක් නිකුත්කරමින් කියා සිටී.

කොවිඩ් වසංගතය ඇතුළු විවිධ දුෂ්කරතා හේතුවෙන් රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කිරීමේ චක්‍රලේඛ කිහිපයක් නිකුත්කරමින් සහනයක් ලබාදී තිබුණත් එම සහන ලබාදීමට නකුත් කළ චක්‍රලේඛ අහෝසි කරමින් මෙම නව චක්‍රලේඛ නිකුත්කිරීමට එම අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එන් රංජිත් අසෝක මහතා කටයුතු කර ඇත.

ලේකම්වරයා නිකුත්කළ චක්‍රලේකයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

උක්ත කරුණ සම්බන්ධයෙන් නිකුත්කරන ලද 2021.12.30 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 02/2021(VI) වෙත ඔබේ කාරුණික අවධානය යොමුකර වන අතර, එමගින් 2021.10.01 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 02/2021(V) හි කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් විධිවිධානයක් වන 07 ඡේදය ඒ ආකාරයෙන්ම තිබිය දී 02, 03, 04, 05, 06, 08 සහ 14 ඡේදයන්හි විධිවිධාන 2022.01.03 දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා, රාජ්‍ය නිලධරයන් 2022.01.03 දින සිට සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට ක්‍රියා කර ඇත.

ඒ අනුව, උක්ත කරුණ සම්බන්ධයෙන් නිකුත් කරන ලද 2021.10.01 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 02/2021(V)හි 07 ඡේදයේ විධිවිධාන ද 2023.05.15 දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන අතර එදින සිට පැමිණීම හා පිටවීම සනාථ කිරීම සඳහා ඇඟිලි සළකුණු යන්ත්‍ර භාවිත කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති 2009.04.16 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2009 හා 2009.06.17 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2009(I) හි විධිවිධාන ක්‍රියාත්මක විය යුතු බව මෙයින් අවධාරණය කරමි.

ඉහත විධිවිධානයන්ට අනුකූලව කටයුතු කිරීමට සියලුම ආයතන ප්‍රධානීන් විසින් වග බලා ගත යුතුය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment