රුසියාවට එරෙහි යෝජනාවට 2/3 ක ඡන්දයක්

432

රුසියාව විසින් යුක්රේනයේ ප්‍රදේශ හතරක් නීති විරෝධී ලෙස රුසියාවට ඈදාගත් බවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත පෙරේදා (12 දා) ගෙන එනු ලැබූ යෝජනාවට පක්‍ෂව සාමාජික රටවල් 193 න් 143 ක්ම ඡන්දය පාවිච්චි කළහ. ඊට විරුද්ධව රටවල් හතරක් ඡන්දය පාවිච්චි කළ අතර රටවල් 35 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

ඒ අනුව රුසියාවට එරෙහි යෝජනාව සාමාජික රටවල තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය.

රුසියානු ජනාධිපති වැලැද්මියර් පුටින් විසින් ඉකුත් සැප්තැම්බර් මාසයේදී යුක්රේනයේ ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක්, කර්සන් සහ සැපෝරිෂියා, යන ප්‍රදේශ හතර ජනමත විචාරණයකින් පසු රුසියාවට ඈදාගන්නා බව ප්‍රකාශ කරන ලදී.

මෙය නීති විරෝධි සහ බලහත්කාරයක් ලෙස යුක්රේනය ඇතුළු රටවල් රැසක් මගින් ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ගෙන එනු ලැබූ ජාත්‍යන්තරව පිළිගත් දේශසීමා තුළ ස්වෛරීභාවය, ස්වාධීනත්වය ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාව යළි තහවුරු කරන යෝජනාවට ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, සෞදි අරාබිය, සිංගප්පූරුව, නෝර්වේ, නවසීලන්තය නේපාලය ඇතුළු රටවල් 143 ක් පක්‍ෂව ඡන්දය භාවිතා කළහ. යෝජනාවට විරුද්ධව බෙලරූසය, නිකරගුවා, දකුණු කොරියාව සහ සිරියාව ඡන්දය දුන්හ.

ශ්‍රී ලංකාව, චීනය, ඉන්දියාව, පකිස්ථානය, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 35 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment