වෙනස් නොවන යකඩ වගේ ජාතික ප‍්‍රතිපත්තියක් හැදිය යුතුයි – එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ

379

අවුරුදු 20 ක කාලයක් ක‍්‍රියාත්මක කළ හැකි යකඩ රාමුවක් වැනි ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති දිවංගත ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ජන්ම දිනය සැමරීම නිමිත්තෙන් පසුගිය 17 වැනිදා සූම් තාක්ෂණය ඔස්සේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.

1977 රටේ බලය අරගෙන රට නවීකරණය විය යුතුයි කියලා එතුමා තීරණය කළා. අවුරුදු 15 ක් 20 ක් අපේ ප‍්‍රගතිය ඇත්ත වශයෙන්ම නැවතිලා තිබුණේ. මේ රට අගාධයට වැටිලා තිබුණා. බත් කන්න එපා කියලා දවස් දෙකක් අපට තහනම් කර තිබුණා.

මේ ආකාරයට කඩා වැටී තිබුණු ආර්ථිකය හා ජන ජීවිතය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනියන්න එතුමා සැලසුම් කළා. විශේෂයෙන්ම විවෘත ආර්ථික ක‍්‍රමය මේ රටට හඳුන්වාදුන්නා.

ජයවර්ධන මැතිතුමා රටේ බලය අරගෙන මාස 6 ක් යන්නට කලින් එතුමා ඒ විවෘත ආර්ථිකය අපට ලබාදුන්නා. එය අපි භුක්ති වින්දා. ඒ විවෘත ආර්ථිකයේ උපරිම ප‍්‍රයෝජනය ලබාගනිමින් එතුමා මහවැලි ව්‍යාපාරය කඩිනම් ව්‍යාපාරයක් බවට පත්කරමින් එහි වැඩකටයුතු ආරම්භ කළා. මේ රටේ වැව් අමුණු ප‍්‍රතිසංස්කරණය කරමින් ගොවි ජනතාවට තම කෘෂිකාර්මික කටයුතු සිදුකිරීමට අවශ්‍ය මංපෙත් විවෘත කළා. ඒ අනුව ගොවිතැනෙන් ලැබුණු අස්වැන්න නිසා 2003 දී සහල් වලින් අප ස්වයං පෝෂිත වුණා.

ඒ විදුලි බලය නිසා අපට විශේෂයෙන්ම අපනයන කර්මාන්ත ඇති කරන්න පුළුවන් වුණා. ඒවා ආරම්භ කරන්න වෙළඳ කලාප දෙකක් ඇති කළා. මේ වෙළඳ කලාපයි සිංගප්පූරුවයි දිහා බලලා තමයි චිනය තීරණය කළේ ජේ. ආර්ගේ විශාල වෙළෙඳ කලාප ආරම්භ කරන්න. අපනයන කර්මාන්තය ආරම්භ කරන්න. ඒ වගේම ලංකාවේ තිබුණු දේශීය කර්මාන්ත දියුණු කරන්න තවත් ආධාර උපකාර ලබාදුන්නා.

මෙය කරන ගමන් එතුමා අපට අලූත් අගනුවරක් හදලා දුන්නා. ඒ අගනුවර වෙන්කොට ලෝකයේ අලංකාරාත්මක පාර්ලිමේන්තුවකුත් එතුමා ඉදිකරලා දුන්නා. එතුමා විශ්වවිද්‍යාල 5 ක් ඇති කළා, අපි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ගන්නවා නම් 6 ක්, මේ රටේ එතුමා යටතේ අපට ලැබුණා.

මේ රටේ සිසු සිසුවියන් සියලූ දෙනාටම නොමිලේ පොත් ලබාදුන්නා. ඒ වගේම ඉන්දියන් සාගරයේ විශාලම රෝහල එතුමා අපට ලබා දුන්නා. මෙවැනි විශාල වැඩ කොටසක් සෑම අංශයකින්ම සිදුකළා. කාන්තාවන්ගේ අයිතිවාසිකම් ඉදිරියට ගෙනාවා. පරිසරය ආරක්ෂා කරන නීති ගෙනාවා. ඒ වගේම සංරක්ෂණ ප‍්‍රදේශ ගණනාවක් එතුමා ගැසට් කළා. මේ එක එක අංශවලට එතුමා කළ දේවල්.

අනිත් පැත්තෙන් අපේ ඉතිහාසය අමතක කළේ නැහැ. විශේෂයෙන් එතුමා යටතේ අපට පුළුවන් වුණා සංස්කෘතික අරමුදලට ආධාර ලබාගන්න.

ඒ විතරක් නෙමෙයි, අද අප බලන රූපවාහිනි යන්ත‍්‍රයේ සේවය ලැබුණේ එතුමා නිසයි. එතුමා තමයි ලංකාවට රූපවාහිනිය ගෙනාවේ. ඒ වගේම තමයි පරිගණකයත්. එවැනි උපකරණ අපි ලබා ගත්තා.

එමෙන්ම අද අප හැම කෙනාම අතේම ජංගම දුරකථන තිබෙනවා. ඒ නවීන උපකරණ ඔබ අතට ලබාදීමට ක‍්‍රියා කළේ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමායි. ඒ වගේම තමයි ක‍්‍රිකට් ක‍්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න එතුමා එදා තීරණය කළා.

මෙහෙම වැඩ කොටස් ගණනාවක් එතුමා එදා කළේ මේ රටේ විශාල නවීකරණයක් ඇති කරන්න. ඒ නවීකරණය ඇති කරන්න අපේ ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යෙදුවා. ඒවා ක‍්‍රියාත්මක කරන බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන්නා. ඒ වගේම එතුමාට අභියෝග ගණනාවකට මුහුණ දෙන්න සිදුවුණා. මෙහෙම රට ඉදිරියට යන අවස්ථාවේදී එතුමාට මේ රටේ තිබුණු එල්. ටී. ටී. ඊ. යුද්ධයට මුහණ දෙන්න සිදුවුණා.

එතුමා තමයි මේ රටේ හමුදාව නවීකරණය කරලා සටන් කරන්න පුළුවන් හමුදාවක් ඇති කළේ. පොලිසියේ විශේෂ බළකාය ඇති කළා. අන්තිමට අපේ සමීපතම රට වන ඉන්දියාවත් මෙතනට එකතු කරන් තමයි ඒ වැඩ කොටස සිදුකළේ. එතුමා හැමවෙලේම අපට කිව්වා ලෝකයේ රටවල්වල ප‍්‍රතිපත්ති තියෙනවා කියලා. අලූතින් බලයට එන අය ඒ ප‍්‍රතිපත්ති වෙනස් කළේ නෑ. ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඉදිරියට ගෙන ගියා.

ඒත් අවුරුදු 17 ක එක්සත් ජාතික පක්ෂ පාලනයෙන් පස්සෙ මේ ප‍්‍රතිපත්ති වෙනස් කරන්න පටන් ගත්තා. ඒ වුණත් මේ රාමු කඩන්න බැරි වුණා. බොහෝ දුරට මේක ආරක්ෂා කරගෙන ගියා. 2001 මේ රටේ ආර්ථිකය කඩා වැටුනා. ඒ වගේම තමයි මතක තියාගන්න ඕන. 2015 වෙනකොට ණය බර වැඩි වෙලා තිබුණා. එත් අද ඊට වඩා වෙනස් තත්ත්වයක් තියෙන්නෙ. අපේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටිලා. විවෘත ආර්ථිකයක් නැහැ. සෞඛ්‍ය පද්ධතිය කඩා වැටිලා. පාසල් වහලා. අද තරුණ තරුණියන් හිතන්නේ අපට අනාගතයක් තියෙනවද නැද්ද කියලා. අපි මේ රටෙන් පිටවෙලා යනවා කියලා.

අපි ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ උදාහරණ දෙකක් ගමු. එකක් ප‍්‍රතිපත්ති රාමුව, අනික පක්ෂයයි රටේ නායකත්වයයි.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment