ප‍්‍රියන්ත කුමාරගේ මාසික වැටුප නොකඩවාම බිරිඳටදීමට යාන්ත‍්‍රණයක් හදන්න – ඇමැති ජී. එල්. පාකිස්තාන වැ.බ.මහ කොමසාරිස්ගෙන් ඉල්ලයි

264

පකිස්තානයේදී අන්තවාදීන් අතින් ඝාතනයට ලක්වූ ප‍්‍රියන්ත කුමාර මහතාගේ මාසික වැටුප ඔහුගේ වැන්දඹු භාර්යාවට කිසිදු බාධාවකින් තොරව සෑම මසකම ලබා දෙන බවට සහතික කෙරෙන යාන්ත‍්‍රණයක් සකස් කරන ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (09දා) කොළඹ දී පාකිස්තාන වැඩබලන මහ කොමසාරිස් තන්වීර් අහමඞ් මහතා හමුවූ අවස්ථාවේදී ඉල්ලා සිටියේය.

ප‍්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ මූල්‍ය සුරක්ෂිතභාව සහ වන්දි ගෙවීමේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා මෙම හමුව පැවැත්විණි.

පාකිස්තානය සහ ශ‍්‍රී ලංකාව අතර පවත්නා දීර්ඝ කාලීන මිත‍්‍රත්වය සහ විශ්වසනීයත්වය පිළිබඳව අවධාරණය කළ අමාත්‍යවරයා, අභාවප‍්‍රාප්ත ප‍්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයන් වෙත සාධාරණය ඉෂ්ට කිරීමට පාකිස්තාන රජය නිසි පියවර ගනු ඇතැයි විශ්වාසය පළ කළේ ය.

පාකිස්තාන විදේශ අමාත්‍ය ෂා මහ්මූද් කුරේෂි මහතා සමඟ පවත්වන ලද දුරකථන ඇමතුම පිළිබඳව සිහිපත් කළ අමාත්‍යවරයා, කුරේෂි මහතා සිය ශෝකය ප‍්‍රකාශ කළ බවත් විමර්ශනයේ සියලූම තොරතුරු කඩිනමින් ශ‍්‍රී ලංකාව වෙත ලබා දීමට පොරොන්දු වූ බවත් පැවසීය.

මෙම විමර්ශන කටයුතු පෞද්ගලිකව සිය භාරයට ගනිමින් සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ක‍්‍රියාත්මක කිරීමට පියවර ගත් පාකිස්තාන අග‍්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීම ද විදේශ අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් විය. සියල්කොට් ප‍්‍රදේශයේ ව්‍යාපාරික ප‍්‍රජාව පිරිනැමූ ඇමරිකානු ඩොලර් 100,000 ක මුදල් පරිත්‍යාගය මෙන්ම, ප‍්‍රියන්ත කුමාර මහතාගේ මාසික වැටුප ඔහුගේ වැන්දඹු භාර්යාවට ගෙවීමට ගත් ක‍්‍රියාමාර්ගය ද අමාත්‍යවරයාගේ පැසසුමට ලක් විය.

අභාවප‍්‍රාප්ත ප‍්‍රියන්ත කුමාර මහතාගේ දරුවන් දෙදෙනාගේ අනාගතය පිළිබඳව ශ‍්‍රී ලංකා රජය සැලකිලිමත් වන බව සඳහන් කළ අමාත්‍ය ජී. එල්්. පීරිස් මහතා, නිසි කලට ඔවුන් වෙනුවෙන් මූල්‍ය ගෙවීම් ලබාදීමේ වැදගත්කම අවධාරණය කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය කනගාටුව ප‍්‍රකාශ කළ වැඩබලන මහ කොමසාරිස්වරයා, පූර්ණ විමර්ශනයක් පවත්වා එම පවුලට වන්දි ලබා දීම සඳහා පාකිස්තාන රජය නිසි පියවර ගෙන ඇති බව සහතික කළේය. පාකිස්තානයේ වෙසෙන අනෙකුත් ශ‍්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පාකිස්තානයේ නීති බලාත්මක කිරීමේ ආයතන මේ වන විට කටයුතු කරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment