බැසිල්ගේ ඇමැති ධුරය ගලවන්න: ව්‍යවස්ථාවට පිටින් ඇමැති ධුර 6 ක් දීලා

489

ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප‍්‍රමාණයට වඩා කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු හා රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනකු පත්කිරීමෙන් ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා වෘත්තීය ඉංජිනේරුවරයකු වන කපිල රේණුක පෙරේරා මහතා ඊයේ (19 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව 30 කට හා රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 40 කට සීමා කළ යුතු වුවත් ඒ අනුව කටයුතු නොකිරීමෙන් රටේ ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමට අසමත්වී ඇති බවට නිගමනය කරන ලෙසට ද නීතිඥ දර්ශන වේර¥වගේ මහතා මගින් ගොනු කරන ලද එම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

රටේ ජනාධිපතිවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සුරක්ෂිත කර පෝෂණය කිරීමේ වගකීමට බැඳී ඇතත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම මගින් ඔහු එකී ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි ද පෙත්සම්කරු මෙම පෙත්සම මගින් අධිකරණයට කියා තිබිණි.

වර්තමාන මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2022 වාර්ෂික අයවැය යෝජනාවලට හා අදාළ ලේඛනවලට අවධානය යොමු කිරීමේදී රජයේ වාර්ෂික වියදම රුපියල් බිලියන 525 කින් ඉහළ ගොස් ඇති බවට පෙනීගිය බව පෙත්සම්කරු එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබිණි.

එලෙස වියදම ඉහළ යෑමට මූලික හේතුව වී ඇත්තේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ප‍්‍රමාණය 30 ක්ව පැවැතියද මුදල් ඇමැතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා පත්කිරීම නිසා බවද එහි සඳහන් ය. නියමිත සීමාව ඉක්මවා තිිබියදීත් නාමල් රාජපක්ෂ මහතා සංවර්ධන විෂය භාර අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස පත්කිරීම මෙන්ම චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, දිලූම් අමුණුගම හා සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ යන රාජ්‍ය ඇමැතිවරුන් සිව්දෙනකු පත්කිරීම නිසා අමතර පිරිවැයක් වෙන්කිරීමට වන්නේ යැයිද පෙත්සම්කරු අධිකරණයට කියයි.

එබැවින් ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් පත්කර ඇති කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනාට හා රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාට එකී තනතුරවල කටයුතු කිරීම බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment