අගලවත්තේ OIC ධර්මේගේ ඇල්ටෝ එකෙන් ගමනක් ගිය හැටි

1402

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා වූ රන්ජන් සිල්වාට 2018 මැයි 25 දා නිවස ඉදිරිපිටදීම වෙඩි තබා මරණ ලදී. මිනී මරුවා මුලදී හඳුනා නොගත් නමුදු පසුව හෙළිවිය. ඔහුගේ නම ගොනාකෝවිලේ ධර්මේ හෙවත් ඇල්ටෝ ධර්මේය. වෙඩි තැබීමෙන් පසු ඇල්ටෝ ධර්මේ ඩුබායි වෙත පැන ගියේය. එහිදී ඔහු පොලිසියට කොටුවිය. එයට හේතුව ඔහු සතුව ඩොලර් කෝටි ගණනක් තිබීමය. සාමාන්‍යයෙන් ඩුබායි රාජ්‍යය තුළට මුදල් ගෙනෙන අය අපරාධකරුවන් සේ සලකන්නේ නැත. ඩුබායි තුළට මුදල් ගෙන ඒමට ඉඩ ඇති නමුදු ඒවා ආපසු ගෙන යෑම තහනම්ය. අත්අඩංගුවට ගත් ඇල්ටෝ ධර්මේ රට තුළට මුදල් ගෙන ඒමේ සහන පදනම මත පොලිස් අධීක්ෂණය යටතේ නිදහස් කරන ලදී. ඇල්ටෝ ධර්මේගේ ඉතිහාසය කිසිසේත්ම හොඳ නැත. ඔහු තමාගේම මුහුණ තම පපුවේ දකුණු පස පච්ච කොටාගත් අඩි හයේ හතරේ මිනිහෙකි. රත්මලානේ පාතාලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු වූ ඇල්ටෝ ධර්මේ ජීවත්වීම සඳහා මිනි මැරීම සහ කුඩු බිස්නස් කළ බව දැනගන්නට තිබේ. මේ කියන ඇල්ටෝ ධර්මේ සහ අගලවත්ත පොලිසියේ ස්ථානාධිපතිතුමා අතර හටගත් සංවාදයක් මේ වන විට සමාජ මාධ්‍ය වෙත මුදාහරිනු ලැබ ඇත. එහිදී ඇල්ටෝ ධර්මේ පොලිස් ස්ථානාධිපතිගේ බිරිය පවා පාවා දෙමින් ඉතා පහත් ආකාරයෙන් තිත්ත කුණුහරුපයෙන් බැන වදින අතර ස්ථානාධිපතිතුමා ඉතා බයාදු ලෙස යාප්පු වෙමින් වැඩේ ශේප්කර ගැනීමට උත්සහ කරන බවක් හැඟේ. මේ සංවාදය සිදුවී ඇත්තේ 2020 දීය. ඒ වන විට අගලවත්තේ වර්තමාන පොලිස් ස්ථානාධිපතිතුමා ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශය භාරව කටයුතු කර ඇත. මෙතැන් සිට අප ඇල්ටෝ ධර්මේ පැත්තකට දමා අගලවත්තේ පොලිස් ලොක්කා ගැන සොයා බලමු. ඔහු පාතාල ඉතිහාසයක් ඇති පුද්ගලයෙක්ද? වරක් ඔහුගේ පාතාල සම්බන්ධතාව අනාවරණය වීමෙන් විමර්ශනයක් ද ආරම්භ කර ඇත. එහෙත් පොලිස් ලොක්කකු අල්ලාගත් හෙතෙම පරීක්ෂණය යට ගසා අගලවත්ත පොලිස් ස්ථානාධිපති ධුරය ලබාගෙන ඇත. මේ කියන OIC සමග ඇල්ටෝ ධර්මේ සහ කුඩු අංජු සමීප සම්බන්ධතා පවත්වා තිබේ. මේ වන විට අගලවත්තේ වර්තමාන OIC ගේ කේස් යට ගැසූ පොලිස් ලොක්කා ගැනද විමර්ශනයක් ආරම්භ කර ඇත. එම පොලිස් ලොක්කා අගලවත්තේ ලොක්කාට උදව් කරන්නට ඇත්තේ නිකන් ඇඟ කසනවාට නොවේ. කුඩු අංජු සහ ඇල්ටෝ ධර්මෙලාගෙන් ලැබෙන ගනුදෙනුවෙන් කොටසක් මේ පොලිස් ලොක්කාටද දීමට අගලවත්තේ ලොක්කා ත්‍යාගශීලී වන්නට ඇත.

පොලිසිය සහ පාතාලය අතර සම්බන්ධය මේ වන විට ඉතා සුලබ සිදුවීමක් බවට පත්ව තිබේ. මෙහි මූලාරම්භක අවස්ථාව වන්නේ ගමේ පොලිසිය ගමේ කසිප්පු මුදලාලි සමග පවත්වන හිතවත්කමය. පොලිසියේ කාගේ හෝ ගෙදරක පාටියක් පැවැත්වෙන විට අවශ්‍ය කරන කුකුල් මස් අරක්කු ලොකු ඉස්සෝ සහ තෝර මාළු සපයනු ලබන්නේ කසිප්පු මුදලාලිලා විසිනි. අරක්කු හෝ ඒ සඳහා වූ ධන පරිත්‍යාගය පළාතේ ගංජා මුදලාලි විසින් දරනු ලැබේ. ලංකාව තුළ කුඩු ආර්ථිකය පටන් ගැනීමෙන් පසු සියලුම බර කර ගැසීමට කුඩු මුදලාලිලා ඉදිරිපත් වූහ. ඇල්ටෝ ධර්මේ විසින් අගලවත්තේ පොලිස් ලොක්කාට දෙමව්පියන් සිහිකරමින් කුණුහරුපවලින් ගසන ආකාරය අසන කෙනකුට හැඟෙන්නේ එකී අගලවත්තේ OIC මහත්තයාද කුඩු Network එකේ සිටින බවය.

පොලිසිය යනු විශාල සිවිල් ආයතනයකි. විවිධ ආර්ථික මට්ටම් නියෝජනය කරන නිලධාරීහු මෙම ආයතනයේ සේවය කරති. ඔවුන් අතරින් සමහරු අන්ත දුගියෝය. උදේට බනිස් ගෙඩියක් කා තේ එකක් බීම සඳහා පොලිසියට පින්වතකු පැමිණෙන තුරු බලා සිටින රාළහාමිලා ද වෙති. ලොකුම කනගාටුව නම් මේ රාළහාමිලා පමණක් අල්ලස් චෝදනාවලට හසුවී ඇතුළට යෑමය. ඔවුන් ගෙන ඇති අල්ලස වන්නේ ප්ලේන්ටී එකක් සහ බනිස් ගෙඩියක් පමණි. ඒ අතර පළාතේ සිටින වංචනික අපරාධකරුවන් ලවා තම තේ වත්තට පොහොර ගෙන්වා ගන්නා ඇතැම් පොලිස් ලොක්කෝ ද වූහ. ඔවුන් මිය පරළොව යන තුරුත් කිසිදු අල්ලස් චෝදනාවක් නැඟුණේ නැත. අගලවත්තේ පොලිස් ලොක්කා ඇල්ටෝ ධර්මේ ඇතුළු රත්මලානේ පාතාලය සමග වැඩ කර ඇත්තේ 2018 සිටය. ඇල්ටෝ ධර්මේ අගලවත්තේ ලොක්කාට බනින හඬ පටය ලීක් වන්නේ 2024දීය. එය එසේ ලීක් නොවුනා නම් ඇල්ටෝ ධර්මේ සමග අගලවත්තේ ලොක්කා ගැසූ ගේම් තේ වත්තට දැමූ පොහොර මෙන් පොළවට පස්වෙනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment