එක ජයග්‍රහණයක් පිටුපස ඇති පරාජයන් දහසක්

1053

පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම ලිංගික අපහරණ ගැන මේ තීරුව ඔස්සේ කතා කිරීමට අපට සිදුවිය. ලිංගික ප්‍රශ්න ගැන කතා කිරීමේ මදනමෝදක මානසිකත්වයක් අපට නැති බව මුලින්ම සඳහන් කරමු. ඒ අතර මේ රටේ කාන්තාවන්ට සිදුවන ලිංගික අසාධාරණ, ලිංගික සූරාකෑම්, ලිංගික අපහරණ යනාදිය පිළිබඳ වැඩි වැඩියෙන් කතාකර ඒ නීච සමාජ තත්ත්වය තුරන් කිරීම අපගේ ව්‍යායාමය වේ. මීට අවුරුදු කිහිපයකට පෙර ශ්‍රී ලාංකික තරුණියක් ගෘහසේවිකා රැකියාව සඳහා කුවේටයේ නිවසකට ගියාය. එම ගෙදර වැඩිමහල් පුතා විසින් මේ තරුණිය අවස්ථා කිහිපයකදීම දූෂණය කරන ලදි. එවිට ඇය ගැබ් ගත්තාය. එවිට ස්ත්‍රී දූෂක තරුණයාත් ඔහුගේ ගෙදර කට්ටියත් කීවේ දරුගැබ නැති කළ යුතු බව ය. තරුණිය එයට එකඟ නොවූ බැවින් ඇය ශ්‍රී ලංකාවට පැටවීමට ඇගේ ස්වාමිදුව තීරණය කළාය. ගුවන්තොටුපළට යනවිට ඇය සිටියේ ඉතාම අමාරු සහ පරිහානිගත සෞඛ්‍ය තත්ත්වයකය. අන්තිම මොහොතේදී මේ සිද්ධිය දැනගත් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීහු සිද්ධියට මැදිහත් වී ඇය දූෂණය කිරීම සම්බන්ධයෙන් අදාළ තරුණයාට එරෙහිව නඩුකරයක් කැඳවූහ. මේ සඳහා කුවේට් රටේ ආණ්ඩුවේ බලධාරීන්ගේ සහය ද නොමදව ලැබිණි. දීර්ඝ කාලයක් නඩුව ඇසීමෙන් පසු දූෂිතයා විසින් එම කාන්තාවට රුපියල් 68 ලක්‍ෂයක වන්දියක් ගෙවිය යුතු බව උසාවිය තීන්දු කළේය. ඇතැම් ගැහැනියක් දූෂණයට වඩා මරණය ප්‍රිය කරයි. දූෂණය වූ කාන්තාවකට සල්ලි දීමෙන් එම වරද නිවැරැදි කිරීමට කවදාවත් නොහැක. මේ සිද්ධියේදී වැදගත් වන තවත් කාරණයක් තිබේ. එනම් ගෘහ සේවිකාවන්ට අදාළව ඒ රටේ උසාවිය ඓතිහාසික නඩු තීන්දුවක් දී තිබීමය. මේ නඩු තීන්දුව මුළු මහත් අරාබි ලෝකයටම ආදර්ශයකි. ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගෙන් විශාල ප්‍රමාණයක් මැදපෙරදිග මහා මන්දිර තුළදී දූෂණය කරනු ලැබේ. මුලින්ම එය කරන්නේ ඒ ගෙදර තාත්තා ය. ඊළඟට පුතා ය. ඊළඟට ස්වාමි දුවගේ මල්ලිලා හෝ අයියලා ය. ඊළඟට ඒ සියලු දෙනාගේම යාළුවෝ ය. මෙය නිමක් නැති අපා ජීවිතයකි. මේ දූෂකයන් එකකුට සමාජ රෝගයක් තිබුණොත් දූෂිත කාන්තාවගේ ජීවිතය එහෙම්පිටින්ම විනාශ ය. අරාබි රටවල් සාමාන්‍යයෙන් පිටස්තර රටවල ඉල්ලීම්වලට කන් දෙන්නේ නැත. මෙයට අවුරුදු කිහිපයකට පෙර සෞදි අරාබියට ගිය ශ්‍රී ලංකාවේ බාලවයස්කාර ගෘහ සේවිකාවක වූ රිසානාට මිනීමැරුම් චෝදනාවක් එල්ල විය. ඒ ඇය සේවය කළ ගෙදර අත දරුවකු මැරීම සම්බන්ධයෙනි. රිසානා බාලවයස්කාරියක නිසා හොර පාස්පෝට් එකකින් වැඩි වයස් යොදා ඇය සෞදි අරාබියට යවා තිබිණ. ඒ නිසා ඇයට ජීවිත දානය දෙන ලෙස ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් ද ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය ද සෞදි අරාබියෙන් ඉල්ලා සිටින ලදි. රිසානා බේරාගැනීම සඳහා එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිව සිටි මහින්ද රාජපක්‍ෂ සෞදි අරාබියට ගොස් එරට රජතුමා හමුවී පෞද්ගලිකවම කරුණු දැක්වීය. එවිට මහින්ද රාජපක්‍ෂට රටඉඳි සහ කිරි තේ දුන් සෞදි රජතුමා ඔහුගේ සිත සනසා රිසානාට අසාධාරණයක් නොවන බව කීවේය. රිසානා මරා නොදමන බව එතැන් සිට සියලු දෙනාම විශ්වාස කරන්නට පටන් ගත්හ. එයට වඩාත්ම හේතු වූයේ රිසානාගේ මරණ දණ්ඩන දිනයේදී එම දඬුවම ක්‍රියාත්මක නොකරන ලද බැවිනි. සියලු දෙනාම කල්පනා කළේ අවුරුදු හතරක් පහක් හිරේ ලැඟීමෙන් පසු රිසානා නිදහස ලබා මෙරටට පිටුවහල් කෙරෙන බවය. එහෙත්, මහින්ද රාජපක්‍ෂගේ සෞදි සංචාරයෙන් මාස පහකට පමණ පසු දිනක් උදේ පාන්දර සෞදි අරාබියේ ක්‍රීඩා පිට්ටනියක් වෙත රිසානා ගෙන ගොස් ඇගේ හිස ගසා දමන ලදි. ඒ කතාව එතැනින් අවසන් වෙයි. වෙනත් රටවල මිනිස්සු මත්පැන් බීමෙන් මත් වෙති. අරාබිකරයේ නායකයන් සූර්වන්නේ ඛනිජ තෙල් පානය කිරීමෙන් විය යුතුය. ඛනිජ තෙල් නිසා අති විශාල ධනස්කන්දයක් ඔවුනට ලැබේ. ඒ ධනය නිසා ඔවුහු කාටවත් බිය නොවෙති.

කුවේට් රටේ දණ්ඩ නීති සංග්‍රහය යුරෝපයේ හෝ වෙනත් දියුණු රටවල දණ්ඩ නීති සංග්‍රහයට වඩා වෙනස් ය. ඒ දණ්ඩ නීති සංග්‍රහයකට වඩා රාජ්‍ය නීති සංග්‍රහයකි. හොරකම් කළොත් අත් කැපීම, මිනී මැරුවොත් බෙල්ල කැපීම වැනි දඬුවම් ඒ රටේ ක්‍රියාත්මක වේ. ඒ අනුව ස්ත්‍රී දූෂණයක් කළ එකාට දිය යුතු දඬුවම ඔබට උපකල්පනය කළ හැකිය. එහෙත් අරාබියේ වෙනත් බොහෝ රටවල මෙන්ම කුවේටයේදී ද ස්ත්‍රී දූෂකයකුට දඬුවම් ලබාදීම ඉතා දුෂ්කර ය. මෙහිදී දූෂිත කාන්තාව එම සිද්ධිය තරයේ ඔප්පු කළ යුතුය. එසේ ඔප්පු කරගත නොහැකි වුවහොත් බොරු චෝදනා කිරීමේ වරදට ඇයට ගස් යන්නට සිදුවෙයි. මේ නිසා මැදපෙරදිග කාන්තාවන් ස්ත්‍රී දූෂණයකදී නිතර උත්සාහ කරන්නේ වන්දි මුදලක් ලබාගෙන ගෙදර ඒමට ය. මැදපෙරදිග සමහර රටවල තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාල මේ රටේ ගෘහ සේවිකාවන් දූෂණය වෙනු දැකීමට ඉතා ප්‍රියය. එයට හේතුව එම කාන්තාවන් තමාට වූ අපරාධය ගැන එම්බසියට පැමිණිලි කළ විට එහි සිටින ඇතැම් නිලධාරීන් ඇයට උදව් කරන බව පොරොන්දු වී ඇය දූෂණය කිරීම ය. ළඟදී ද එවැනි ශ්‍රී ලාංකික නිලධාරියකු අල්ලා මෙරටට ගෙන්වාගෙන රිමාන්ඩ් කරන ලදි. අපේ සිද්ධියට අදාළ කාන්තාව ගබ්සා කිරීමෙන් පෙර කී ස්ත්‍රී දූෂක පුත්‍රයා මිනීමැරීමේ චෝදනාවට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කර ඇත. එහෙත් ඔහුට දඬුවම් කිරීමේදී ස්ත්‍රී දූෂණය ගැන මිස ගබ්සා කිරීම ගැන කුවේට් අධිකරණය සැලකිල්ලට ගෙන ඇති බවක් නොපෙනේ.

හියුමන් රයිට්ස් වොච් පරදාර සේවනය සහ පර පුරුෂ සේවනය යන වැරදි සෞදි අරාබිය, කුවේටය, ලෙබනනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් විසින් සාපරාධී ක්‍රියා ලෙස හඳුන්වා ඇත. එවැනි දෙයක් හෙළිවූ විට ජෝඩුවටම කස පහර දීම හෝ ජෝඩුවේම බෙලි කැපීම සිදුකරනු ලැබේ. පෙර කී වැරදි දෙක, එනම් පරදාර සේවනය සහ පරපුරුෂ සේවනය යන දෙකම පාර්ශ්ව දෙකේම කැමැත්තෙන් සිදුවන ක්‍රියාකාරකම් ය. ස්ත්‍රී දූෂණය යනු එක පාර්ශ්වයක කැමැත්තෙන් පමණක් සිදුකරන බලහත්කාරී ක්‍රියාවකි. හරි නම් බෙල්ල ගසාදැමිය යුත්තේ එවැනි නරුමයන්ගේ මිස ස්වකැමැත්තෙන් අඹු සැමියන් ලෙස හැසිරෙන අයගේ නොවේ. එහෙත් නීතිය මේ රටවල් තුළදී අනෙක් පැත්තට වැඩ කරන බව පෙනේ. පසුගිය කාලයේදී අරාබි ජාතිකයකු අතින් කෙලසුනු කාන්තාවක් ඒ රටේ පොලිසියට පැමිණිලි කිරීමට ගොස් විශාල ඇබැද්දියකට මුහුණ දුන්නාය. තමාට සිදු වූ අසාධාරණය ඔප්පුකර ගැනීමට නොහැකිව ඇයට මාස ගණනක් හිරේ ලැගීමට සිදුවිය. අරාබි රටකදී ශ්‍රී ලාංකික ගෘහසේවිකාවකගේ බෙල්ල කපාදැමීම සිදු වූ කල්හි මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සෞදි රජුට හෝ රාජ්‍ය පාලක එමීර්වරුන්ට එරෙහිව යකා නටති. එහෙත් අපේ ගෘහ සේවිකාවන් පිටරට යැවීමේදී නිසි ප්‍රමිතියක් හෝ ක්‍රමවේදයක් සෑදීමට කිසිදු ආණ්ඩුවකට හැකිව නැත. කුවේටයේදී අපේ කාන්තාවක් රුපියල් හැටඅට ලක්‍ෂයක වන්දියක් ලැබීම කිසියම් ජයග්‍රහණයකි. හැබැයි ඒ එක ජයග්‍රහණය පිටුපස පරාජයන් සිය දහස් ගණනක් පෙළගැසී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment