මේ අයුරින් අප සංසාරේ… හෝටලේදි හමුවෙන්න ඇති….

7397

(කුකුළා සහ මාළුවා කියන කතාව)

රසායනික වර්ග හෝ කාබනික ද්‍රව්‍ය යොදා පොහොර නිෂ්පාදනය කළ හැකිය. එම පොහොර දමා එළවළු සහ පලතුරු ගස් ලොකුකර ගැනීමටද පුළුවන. ඉන්පසු එම එළවළු සහ පලතුරු අනුභව කිරීමටද අපට පුළුවන. මෙහිදී ඕනෑම කෙනෙකුට පහත සඳහන් ප්‍රශ්නය නැගිය හැකිය. ඉහත සඳහන් එළවළු සහ පලතුරු අනුභව කිරීමෙන් අප කරන්නේ අනියම් මාර්ගයකින් කාබනික පොහොර හෝ රසායනික පොහොර අනුභව කිරීමද?

කල්ඉකුත්වූ බිස්කට් කල්ඉකුත්වූ රසකැවිලි කල්ඉකුත්වූ ඖෂධ යනාදිය පරිභෝජනය කිරීම සම්බන්ධයෙන් අපේ රටේ ජනයාට විශේෂ පළපුරුද්දක් තිබේ. ලංකාවේ නාගරිකයෙහි නළ ජලය තුළ 70% ක් මළ ද්‍රව්‍ය තිබෙන බව මෙයට කලකට පෙරදී පර්යේෂණයකින් හෙළිවිය. හැබැයි එම නළ ජලය පානය කිරීම නිසා රෝගීව මියගිය කිසිකෙනෙකු ගැන අපි අසා නැත්තෙමු. කල්ඉකුත් වූ බිස්කට් කා මියගිය රට වැසියන් පිළිබඳ අප සතුව තොරතුරු නැත. ලංකාවේ ජනයා පසුගිය අවුරුදු 7 ක පමණ කාලය තුළ කුණු ජරාව අනුභව කිරීමට පුරුදු විය. කල්ඉකුත්වූ සහ පරිභෝජනයට කිසිසේත්ම නුසුදුසු ආහාර වර්ග විටින් විට අත්අඩංගුවට ගනු ලැබේ. මාස ගණන් පරණ කොත්තු රොටි ඩීප් ෆීසර් වලින් එළියට ගෙන රොටි තැටියේ ගසා දුන් විට ඒවා අනුභව කර කිසිදු හෙණයක් නැතිව සිටීමට අපට පුළුවන. බොයිලර් කුකුළාගේ ජීවිත කාලය දවස් 45 කි. දවස් 45 ඉක්මවන විටම මරනු ලැබූ බ්‍රොයිලර් කුකුළා ඇතැම් විට ඩීප් ෆීසරය තුළ අවුරුදු 2 ක් පමණ කල්ගත කරයි. සාමාන්‍යයෙන් දවස් 45 බ්‍රොයිලර් ආයු කාලය ගණන් හදා බැලුවොත් ආත්ම පහළොවකට කිට්ටු කාලයක් කුකුළු දේහය ෆීසරය තුළ සුරක්‍ෂිතව තැබිය හැකිය. ඉන්පසු එක්තරා දවසකදී එළියට ගන්නා කුකුළු දේහය රෝස් කර විකිණීමට තබනු ලැබේ. ෆ්‍රිජ් එක සහ සෝකේස් එක අතර මාරුවෙන් මාරුවට දින 4 ක් පමණ රෝස් කුකුළෙකු ලෙස පැවැතීමට කුකුල් දේහයට පුළුවන. දිගටම නොවිකිණී පැවැතුනහොත් කුකුල් දේහය කැබලි කර ඉන් භාගයකින් හොදි උයා ඉතිරි භාගය ඩෙවල් කරනු ලැබේ. ඩෙවල් එක සහ හොදි විකුණුනේ නැත්නම් එයින් කොත්තු රොටිය සෑදිය හැකිය. සමහර විට එම කොත්තුව ‘පොලිස් කොත්තුවක්’ ද විය හැකිය. (පොලිස් කොත්තුව යනු කොත්තු රොටිය නොමිලයේ ලබාගැනීමට පොලිසිය හෝටලයට එන විට සියලු පෞරාණික එළවළු සහ මස් වර්ග යොදා සාදන කොත්තුවයි.) මේ කුණු ජරාව දිගටම කෑම නිසා අපේ ජනයාට ලෙහෙසියෙන් බඩේ අමාරුවක් හැදෙන්නේ නැත. එසේම වැරදිලාවත් බඩේ අමාරුවක් හැදුණොත් ඒ රෝගියා මියපරලොව යෑම හැර අන් කිසිවක් සිදුවන්නේද නැත.

මේ නොබෝදා කෝප් කමිටුවේදී වැදගත් යමක් හෙළිවිය. එනම් මීට අවුරුදු දෙකහමාරකට පෙර තායිලන්තයේ සිට මාළු පටවාගත් ශීතාගාර නැවක් සීෂෙල්ස් දූපත බලා යාත්‍රා කිරීමට පටන්ගත්තේය. මෙය ටික දුරක් යනවිට ශීතාගාර වල විදුලි බලය බි`දැවැටුණි. මේ නිසා ශීතාගාරවල තිබූ මාළු භාගෙට කුණු විය. කුණු මාළු සහිත නැව භාරගැනීම සීෂෙල්ස් රාජ්‍යය ප්‍රතික්‍ෂේප කළ බැවින් එය ආපසු තායිලන්තය වෙත පැමිණියේය. තායිලන්තයද මේ කුණුගොඩ භාරගත්තේද නැත. අන්තිමේදී භාගෙට කුණුවූ මේ මාළු තොගය භාරගැනීමට ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදකයෙක් එකඟ විය. මේ කතාවේ විශේෂත්වයක් තිබේ. එනම් පොහොර මුදලාලිට ටින් මාළු නිෂ්පාදනගාරයක්ද ඇත. මාළු තොගය ලබාගත් පොහොර මුදලාලි භාගෙට කුණුවූ මාළු වලින් අඩක් පොහොර සෑදීමට යොදා ඉතිරි භාගය ටින් මාළු සෑදීම සඳහා යොදා ගත්තේද යන සැකය දැන් පහළ වී ඇත. කුණු මාළු වුවද ටින් මාළු සැකසීමේ ක්‍රියාවලියට ලක්කළ විට ඒ තරම් ගඳක් දැනෙන්නේ නැත. ටින් මාළු සෑදීමේදී කරන්නේ අමු මාළු ටින්වලට දමා ඒවාට ලුණුවතුරද පුරවා පියන සීල් කර විශාල සම්පීඩන උඳුනකට යොදා ඉහළ උෂ්ණත්වයක් යටතේ තැම්බීමය. එවිට මාළු කටු අතින් ඇල්ලූ පමණින් දියවෙන මට්ටමක් ඇතිවෙයි. හොඳට තැම්බූ කුණු මාළු සහිත මාළු ටින් එකක් කැඩූ විට එහි එතරම් විශාල දුඟදක් හමන්නේ නැත. මේ නිසා ඉහත සඳහන් ටින් මාළු ව්‍යාපාරිකයා පෙරකී මාළු වලින් ටින් මාළු නිෂ්පාදනය කළේ නම් අප ඒවා අනුභව කරන්නටත් ඇත. මෙය සිදුවූයේ අවුරුදු 2 කට පමණ පෙර යැයි නැවත මතක් කර දෙමු. ටින් මාළු විෂ වී මියගිය එකකු ගැනවත් පසුගිය කාලයේදී අපට වාර්තා වුණේ නැත. මෙයින් හැඟී යන්නේ ඕනෑම දහජරාවක් කාලාත් යකුන් මෙන් පණපිටින් සිටීමට අපට පුළුවන් බවය. මෙය ජාතිය සතු පජාති වාසනාවකි. පොහොර මුදලාලිට ටින් මාළු නිෂ්පාදනාගාරයක් තිබීමද කිසිදු ප්‍රශ්නයක් නොවේ. ටින් මාළු සෑදීම සඳහා ගන්නා මාළුවාගේ ඔළුව වලිග සහ වරල් කපා ඉවත් කර අතුනුබහන් එලියට ගෙන එම කුණු තොගය කාබනික පොහොර සඳහා යොදා ගැනීමට ටින් මාළු කම්මල් හිමියාට පුළුවන. එසේම කුණු මාළු ටින් කිරීමටත් එතුමාට පුළුවන. කෙසේ වුවද නරක් වූ ටින් මාළු යනු භයානක සෞඛ්‍ය උපද්‍රවයකි. ලංකාව ඒ බවක් නොතැකුවත් දියුණු යුරෝපීය රටවල් මේ කාරණය ගැන සිටින්නේ හරිම කල්පනාවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment