දේශපාලන හේතු මත පළාත් පාලන ඡන්දය කල්දැමූ බව බැලූ බැල්මට පෙනෙනවා: පැෆරල් සංවිධානය

157

පළාත් පාලන මැතිවරණය මේ මොහොතේ කල්දමනු ලබන්නේ දේශපාලන කරුණු මත බව බැලූ බැල්මට පෙනී යන බව පැෆරල් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේ ද දැක්වෙයි.

විෂය භාර අමාත්‍යවරයාට ඇති බලතල අනුව මේ වනවිට පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දැමීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. කල්දැමීමට හේතුව කොවිඞ් 19 වසංගතය බව අමාත්‍යවරයා මාධ්‍යට ප‍්‍රකාශ කරනු දක්නට ලැබුණි. එහෙත් එය හුදෙක් කොවිඞ් වසංගතය හේතුවෙන් නොවන බව ඕනෑම පුරවැසියකුට තේරුම් යන සරල කරුණකි. කොවිඞ් රැුල්ලේ ආරම්භක අදියරේදී රට පුරා පාර්ලිමේන්තු මැතිවරණය සාර්ථකව පවත්වන්නට මැතිවරණ කොමිෂන් සභාව සමත් විය. එමෙන්ම ඒ මොහොතේ විපක්ෂය වූ වර්තමාන ආණ්ඩු පක්ෂය මැතිවරණ පැවැත්වීමට නිරන්තර අරගලයක යෙදුණි. ඒ මොහොතේ පැෆ්රල් සංවිධානය ද ඒ වෙනුවෙන් එම පිරිස සමග පෙනී සිටියේය. මේ මොහොතේ මැතිවරණයක් පවත්වනවාද යන ප‍්‍රශ්නයේදී මහජන අවධානය යොමුවන ප‍්‍රධාන කරුණු කිහිපයක් දැකිය හැකිය.

මැතිවරණය පැවැත්වීම හරහා කොවිඞ් අවදානම වැඩිවිය හැකිද?, මැතිවරණයකට වැයවිය හැකි (මැතිවරණ කොමිසමට වැයවන) මිලියන 6,000 – 10,000 පමණ වන මුදල මේ මොහොතේ රටට දරාගත හැකිද?, ඉදිරි මැතිවරණයට පෙර නව ක‍්‍රමය සමග දෙගුණයක් වූ සභික ප‍්‍රමාණය අඩුකිරීමට කටයුතු කරනු ලබන්නේද?, විශාල මුදලක් වැයකර

පත්කරගන්නා මහජන නියෝජිතයින් පිළිබඳ ජනතාවට විශ්වාසයක් තිබේ ද, ඔවුන් පත්කිරීම හරහා ජනතාවගේ ජීවන මට්ටමෙහි වෙනසක් ඇතිවිය හැකිද? යන ඉහත කරුණු දැනුවත් පුරවැසියකුගේ අවධානය යොමුවන කරුණු වුව ද මේ මොහොතේ මැතිවරණය කල්දමනු ලබන්නේ දේශපාලන කරුණු මත බව බැලූ බැල්මට පෙනී යන කරුණකි. මේ පිළිබඳව උදාහරණ ඕනෑතරම් යහපාලන රජය සමයේත් ඊට පෙරත් දැකිය හැකිය. ලංකාවේ මැතිවරණ සිතියම ඒ මොහොතේ බලයේ සිටින පාලකයා තමාට අභිමත පරිදි හැසිරවීම නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කෙරෙන මරු පහරකි. ඡුන්දදායකයාට කරන නිගරුවකි. සර්වජන ඡුන්ද බලයට වසර 90 පිරෙන මෙම වර්ෂයේ ඡුන්දදායකයාට, පුරවැසියාට තිබූ අයිතිය පැහැරගැනීමකි. එමෙන්ම ආණ්ඩුව කි‍්‍රයාත්මක කරන ප‍්‍රතිපත්ති පිළිබඳ ජනතා මතය උරගා බැලීමට සහ අවශ්‍ය වන්නේ නම් එම ප‍්‍රතිපත්ති වෙනස් කර ගැනීමට ආණ්ඩුවට ඇති නීත්‍යනුකූල අවස්ථාව මඟහැර ගැනීමකි.

පසුගිය දශක හතරක කාලසීමාව දෙස ආපසු හැරී බැලීමේදී පාලන බලය හෙබවූවන්, මැතිවරණ සිතියම හකුළමින් ජනතා පරමාධිපත්‍ය බලය උරගා බලන්නට අවස්ථාව නොදීම තුළ ඇති වූ කලකිරීම් සහ පීඩනයන් කෙලවර වූයේ අවාසනාවන්ත සිදුවීම් සමුදායකිනි. එහි අනිටු පල විපාක වර්තමානයේ ද අප අත්විඳිමින් සිටිමු. මෙම අවාසනාවන්ත තත්ත්වයට පාලන බලය හෙබවූ සියලූ පාර්ශ්වයන් අඩුවැඩි වශයෙන් වගකිව යුතු බව අපි විශ්වාස කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment