සියයට දහඅටේ වැට් බද්ද සෑම ක්ෂේත්‍රයකටම අදාළයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

146

රටට ආයෝජන එන්නෙ නැත්තෙ හරියට නීතිය ක්‍රියාත්මක නොවන නිසයි – එරාන් වික්‍රමරත්න (සජබ)

ජනාධිපතිතුමා දෙසැම්බර් මාසය අවසන් වෙනකොට මේ බංකොලොත්භාවයෙන් රට නිදහස් කරගන්නවා – වජිර අබේවර්ධන (එජාප)

ආයෝජන ගැන සුරංගනා කතා කිව්වට නිවැරදි ආයෝජනයක් ගෙන්වා ගැනීමට සමත් වී නැහැ – අනුර කුමාර දිසානායක (ජාජබ)

ප්‍රතිපත්තියක් ලෙස 18%ක වැට් බද්දක් පැනවීමට ගත් තීරණය සෑම ක්ෂේත්‍රයකටම අදාළ විය යුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12දා) පැවසීය.

තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශවල වැය ශීර්ෂය විවාදයට ගැණුනු අතර ඊට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

අමාත්‍යාංශය විසින් මා වෙත ලබා දුන් වාර්තාවට අනුව Pickme,Uber, Daraz වැනි සේවා සපයන්නන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විෂය පථයට නොගැනෙන නිසා ඔවුන් ආදායම් බදු හෝ වැට් බද්දෙන් නිදහස් නොකළ බව දැනුම්දී තිබෙනවා. 18%ක වැට් බද්දක් පැනවීම සම්බන්ධයෙන් මෙම සමස්ත ක්ෂේත්‍රයටම ප්‍රශ්න ඇති වී තිබෙනවා. තොරතුරු තාක්ෂණ සේවාවන් සපයන පුද්ගලයින්ට ශ්‍රී ලංකාවෙන් පිටත විදේශ මුදල් මඟින් ලැබෙන ගෙවීම් ආදායම් බද්දෙන් නිදහස් බව මම කියන්න කැමතියි. තොරතුරු තාක්ෂණ සේවා සැපයීම 2019 දෙසැම්බර් 31 දක්වා වැට් බද්දට යටත් වූ අතර 2020 ජනවාරි 01 වැනිදා සිට එය වැට් බද්දෙන් නිදහස් වුණා. නමුත් නව සංශෝධනයට අනුව තොරතුරු තාක්ෂණ සේවා සපයන්නන් 2024 ජනවාරි 01 වැනිදා සිට වැට් බදු ගෙවිය යුතුයි. තොරතුරු තාක්ෂණ සමාගම් අපනයන ඉලක්කරගත යුතු නමුත්, එහි සේවා අපනයනය ශුන්‍ය අගයක් ගන්නා බැවින් තොරතුරු තාක්ෂණ සේවා කර්මාන්තයට බරක් නොවන පරිදි කටයුතු කිරීමට හැකියාවක් නැහැ.

පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න (සජබ)

වැට් බද්ද ගැන අපිට කතා කරන්න ලැබුණේ නෑ. 2023 හා 2024 වර්ෂ අතර ආදායම වැඩි කිරීම රුපියල් බිලියන 1276 ක් වෙනවා. සියයට 45 කින් ආදායම වැඩිකර ගත යුතුයි. එහිදී වැට් මගින් රුපියල් බිලියන 720 ක් ලැබෙනවා.

ඕනෑම පනතක් ආණ්ඩුවට ගෙනත් අනුමත කර ගන්න පුළුවන්. පාර්ලිමේන්තුව තියෙන්නේ ඒ ගැන වාද විවාද කරන්න. විපක්ෂයටත් අදහස් කියන්න එකට අවස්ථාව දුන්නේ නෑ. මූල්‍ය අරමුදල පළමුවරට කිව්වා ලංකාවෙ ආර්ථික කළමනාකාරීත්වය ගැන ගැටලුවක් තියෙනවා කියලා. ආසියාවේ එකම රටකටවත් එය කිව්වෙ නෑ.

හැම තිස්සෙම ක්‍රමවේදය අනුගමනය කළ යුතුයි. මේ රටට ආයෝජන එන්නෙ නැත්තේ බදු නිසා නොවෙයි, හරියට නීතිය ක්‍රියාත්මක නොවන නිසයි.

අපි රටක් හැටියට තේරුම් අරගෙන රට සංවර්ධනය කරන්න එකට වැඩ කරන්න ඕන. නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕන. ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක වෙන්න ඕන. නැත්නම් කවදාවත් අපට ආයෝජන ගන්න බෑ.

අවුරුදු 40 කට පෙර ලංකාවෙ අපනයනය කරපු ප්‍රමාණය ඩොලර් බිලියන 3.5 යි. එදා බංග්ලාදේශයේ අපනයනය බිලියන 3.5 යි. වියට්නාමයත් එහෙමයි. එහෙත් අද වනවිට බංග්ලාදේශය ඩොලර් බිලියන 80 ක් පමණ අපනයනය කරනවා. වියට්නාමය ඩොලර් බිලියන 400 කට ආසන්නයි. අපනයනයෙන් අපි තාම ඩොලර් බිලියන 3.5 සිට 12 ට යන්න දඟලනවා. ඒකට ආණ්ඩුවත් වගකිවයුතුයි කියන්නේ නෑ. අද මේ ආණ්ඩුවට වගකීම තියෙනවා. හරියට ක්‍රියාත්මක වන්නේ නැත්නම් ආයෝජකයො එන්නේ නෑ. බදු බර නොවෙයි හරියට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

රාජ්‍ය ඇමැති කනක හේරත්

වැට් බදු තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයට තුන් ආකාරයකින් බලපානවා. වැට් පනතේ සංශෝධනවලට කරුණු දක්වනවා.

ඩිජිටල් උපකරණ ආනයනයේදී වැට් බදු සියයට 18 ක් එකතු වෙනවා. එය අභියෝගයක්.

කළුකඩකාරයන් රට තුළ ඉන්න නිසා බලාපොරොත්තු වන බදු ලබාගත හැකි ද යන්න ප්‍රශ්නයක්.

ඩිජිටල් ආර්ථික සැලැස්මක් ඇති කළා. මේ සඳහා ලෝක බැංකුව සහාය දුන්නා. පාසල් දහසක් සඳහා අන්තර්ජාල පහසුකම් ලබා දෙනවා. ලබන පෙබරවාරි මාසය අවසන් වනවිට ඉලක්කය සපුරන්න පුළුවන්. 5ඨ තාක්ෂණය ලබාදීමට අපට හැකි වේවි. ඒ සඳහා පරීක්ෂණ අවසන් වෙමින් පවතිනවා.

ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගොඩනැඟීමට යෝජනා කළා. තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයට හැම වසරකම රැකියා පුරප්පාඩු 20,000 ක් විතර ඇතිවෙනවා. අපට සුදුස්සන් ලැබෙන්නේ දසදහසක් පමණයි. ඒ නිසා කලා උපාධිධාරීන්ට පුහුණුවක් ලබාදී ක්‍ෂේත්‍රයට එක්කර ගන්නවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක (ජාජබ)

තාක්ෂණය හා ආයෝජනය තමයි රටක තීරණාත්මක සාධක දෙක. 1978 සිට 2020 දක්වා ලංකාවට සෘජු ආයෝජන පැමිණ ඇත්තේ ඩොලර් බිලියන 20 යි. වියට්නාමයේ 2000 – 2021 දක්වා අයෝජන ඩොලර් බිලියන 178 යි. දකුණු කොරියාවේ බිලියන 223 යි. ඒ නිසා පාර්ලිමේන්තුවේ ආයෝජන ගැන මොන සුරංගනා කතා කිව්වත් මහ පොළොවේ යථාර්ථය අපි නිවැරදි ආයෝජන ගෙන්වාගැනීමට සමත් වී නෑ.

පෝර්ට් සිටි, හම්බන්තොට වරාය, කොළඹ දකුණ හා බටහිර වරාය, පුනරින් අදානි ව්‍යාපෘතිය ඇතුළු මේ කිසි ව්‍යාපෘතියක් අපි හදාගන්නා ලද සැලැස්මක් අනුව කැඳවා ඇති ආයෝජන නොවෙයි. භූ දේශපාලනයේ ඒ ඒ රටවල වුවමනා මත මේ ආයෝජන රටට ගලා ආවේ.

ඍජු ආයෝජන අවශ්‍යයි. තාක්‍ෂණය, මුදල් කැඳවා ගැනීමට ආයෝජන අවශ්‍යයි. ඒත් චීන සමාගමකට පෙට්‍රල් ෂෙඩ් 250 ක් දෙනවා. එය ආයෝජනයක් ද? ඒවා ආයෝජන නොවෙයි. වැඩිපුර ඩොලර්වලින් ගනුදෙනු කරන අයෝජනවලට ප්‍රමුඛතාව දිය යුතුයි.

මේ හැම ආයෝජනයක්ම කර ඇත්තේ නියමිත ටෙන්ඩර් පටිපාටියක් කැඳවා නොවෙයි. මේවා තමන් විසින් තෝරාගත් කෙනෙක් හරහා යටි ගනුදෙනු ඇතිව කරන ආයෝජනයි. අදානිට ඉන්දියාව ඇතුළෙ ටෙන්ඩර් කැඳවීමකින් තොරව ව්‍යාපෘතියක් ලැබෙන්නේ නෑ. නමුත් අපි ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදී ඇත්තේ.

අපට සූර්ය බලයෙන් විදුලිය නිපදවීමේ හොඳ විභවයක් තියෙනවා. මෙගාවොට් 700ක බලාගාරයක් ඉදිකරනවා. කිළිනොච්චිය පුනරින් වැවේ ඔවුන් නිෂ්පාදනය කරන විදුලිය අපි මිලදී ගන්නේ කීයටද? ඩොලර් ශත 15 යි. ඒ කියන්නේ යුනිට් එකක් රුපියල් 50යි. අවුරුදු 9ක ගිවිසුමක් ගහනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ –

පුනරින් කරන ආයෝජනයේදී වැවත් සම්පූර්ණයෙන්ම ඔවුන් හදනවා. යළි වගාවට යොදවන්නත් අවස්ථාව තියෙනවා. ඔස්ටේ්‍රලියාවේ යුනයිටඩ් සෝලා සමාගම ආයෝජනය ගෙනාවේ. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරු මේකට විරුද්ධ වුණා. ඊයෙ ගෙනාපු යෝජනාව අද එළියට ආවානම් එන්න ඇත්තේ අමාත්‍යාංශය ඇතුළෙන්. මේ අයට ඕන ගල්අඟුරු, තෙල්. මේවායින් කොමිස් ලැබෙනවා. හුළංවලින්, සූර්ය බලයෙන් කොමිස් ගන්න බෑ. අපි අද මේ තත්ත්වයේ ඉන්නේ මණ්ඩලයේ සමහර අය විරුද්ධ වූ නිසයි.

අනුර කුමාර දිසානායක –

විදුලිය, ගල්අඟුරු හෝ නැප්තා වලින් නිපදවනවිට කොමිස් ගැහුවා කියනවා. කවුද කොමිස් ගැහුවේ. ගල්අඟුරු වංචාව පිළිබඳ වාර්තාව බලන්න. එහි තියෙනවා කවුද කොමිස් ගැහුවේ කියලා. මට ඉංජිනේරුවන් වෙනුවෙන් පෙනී සිටින්න බෑ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ –

දේශපාලනඥයන් වෙනුවෙන් කෑගහනවා. මේ හැම එකේම ඉන්නවා නිලධාරීන් කිහිපදෙනෙක් හම්බකරන. ඇමැතිවරුන් හිටියත් නැතත් හම්බකරන නිලධාරීන් ඉන්නවා.

අනුර කුමාර දිසානායක –

ඇමැතිවරු කැමතියි ඒ වගේ නිලධාරී කණ්ඩායම් තියාගන්න. ඇමැතිවරයා දූෂණයේ වංචාවේ යෙදෙනවා නම් නිලධාරියාට කියන්න බෑ වංචා කරන්න එපා කියලා. කක්කුට්ටා ඇදේට යන ගමන් පැටියාට කෙළින් යන්න කියන්න බෑ. ජනාධිපතිවරයාගේ සිටම එහෙමයි. ඔවුන්ගේ හෙංචයියො කරන්නෙත් ඒකමයි. සෝලා පවර් ඒකකයක් රුපියල් 50 ට ගත යුතු ද. පුරවැසියා හිතන්නේ අඩු මිලට ගන්න පුළුවන් කියලා. ගල්අඟුරු වලින් ඒකකයට රුපියල් 22යි. එහෙනම් සූර්ය බලයට 50ක් වෙන්නෙ කොහොමද? එහෙනම් ඉංජිනේරුවාද කොමිස් ගහන්නේ. මේ එකකටවත් ටෙන්ඩර් කැඳවන්නේ නෑ. ව්‍යාපෘති 5 ක් තියෙනවා. මේ ව්‍යාපෘති හරහා බලශක්ති අර්බුදය තව වර්ධනය කරනවා. මේවා ආයෝජන නොවෙයි. පුනරින්වල මෙගාවොට් 500 ක් අදානිට දෙන්න යනවා. ගිවිසුම දැනට ඩොලර් ශත හතහමාරයි. අදානි ඉන්දියාවෙන් ගන්නේ ඩොලර් ශත තුනහමාරයි. ලංකාවේ අත යටින් ගනුදෙනු වෙන්නේ. ඊළඟ ජනපතිවරණයට සහාය ගන්න ඕන තරම් හොරකම් කරන්න ඉඩ දීලා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ –

සියලු ආයතනයන් ඩිජිටල් කරන්න රජය තීරණය කර තියනවා. ලොව අනික් රටවල් ඩිජිටල්කරණයෙන් ඉදිරියට ගිහිල්ලා. අපි ගොඩක් පිටුපස සිටින්නේ. රාජ්‍ය ආයතනවලට වඩා පුද්ගලික අංශය ඉදිරියෙන් ඉන්නේ. ඩිජිටල් කළා නම් හොරකම සියයට 90 ක් වළක්වා ගන්න පුළුවන්. මේකට යන්න රජයට ඉඩදිය යුතුයි. සුරාබදු දෙපාර්තමේන්තුව ඩිජිටල් කරන්නේ නෑ. ඒ හොරකම වහන්න බැරි නිසයි. කිව් ආර් ක්‍රමය සාර්ථකයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 12 ක් ගෙව්වත් තාම ඩිජිටල් කරන්න බැරිවෙලා. ලොව රටවල්වල ඔන්ලයින් සිස්ටම් තියෙන්නේ.

විදුලිබල ඇමැති කංචන විජේසේකර –

සූර්ය බල විදුලි නිෂ්පාදනයට 2021 අභිලාශ කැඳවූවා. 2022දී ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඇතිකර කමිටු පත්කරලා තාක්‍ෂණ ඇගයීම් කරන්නේ දේශපාලනඥයන් නොවෙයි. විශේෂඥ නිලධාරීන් එහි හිටියා. මේ ව්‍යාපෘතිය රටට සුදුසුයි කියලා ඔවුන් කිව්වා.

මෙය සෝලා වලින් කරත් බලශක්ති ගබඩා ඒකකයයි. සූර්ය පැනල වලින් විදුලිය ගැනීම පමණක් නොවෙයි කරන්නේ. විදුලිය ගබඩා කිරීමක් කර අවශ්‍ය රාත්‍රි කාලයේදී ගැනීම සිදුවෙනවා. රාත්‍රි කාලයේදී ඉන්ධන, විදුලි බලය ගන්නේ රුපියල් 60 කටයි. මෙය අඩු මිලට ලබාගැනීමක්. මේවා ආයෝජනයි.

පත් කල මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා (එජාප)

රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා බලනවා දෙසැම්බර් මාසය අවසන් වෙනකොට මේ බංකොලොත්භාවයෙන් රට නිදහස් කරගන්න. බංකොලොත්භාවයෙන් රට නිදහස් කරගත්තම විශාල සහනයක් අධිකරණ අමාත්‍යංශයට එහෙම නැතිනම් අපේ විජයදාස ඇමතිතුමා ප්‍රමුඛ සම්පූර්ණ කාර්යය මණ්ඩල ලට ලබා දිය යුතුව තිබෙනවා. ඒක රටේ පැවැත්මට ඉතා වැදගත්. ඒ වගේම බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගත්තත් එතුමා ඒකෙ සංඛ්‍යා ලේඛණ 28,000 ක් සිරකරුවන්. සිර ගෙවල් 30 යි ලංකාවෙ. එතකොට බන්ධනාගාර ගත වෙලා ඉන්නවා 17,000 ක්, ඊළඟට මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් ඉන්නවා 10,000 ක්, එතකොට මේ තත්ත්වය යටතේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් බරපතල තදබදයක ඉන්නෙ. ඒ කියන්නෙ ඉන්න සිරකරුවන් විශාල තදබදයකට ගමන් කරලා තිබෙනවා. ඒ දෙපාර්තමේන්තුවත් අවුරුදු 150ට වඩා පැරණි දෙපාර්තමේන්තුවක්. මං හිතනවා විශාල වෙනස්කම් විය යුතුව තිබෙනවා.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment