ඊයේ උසාවි නාව විමල්ට හා ඇපකරුවන්ට නොතිසි – වෛද්‍ය වාර්තාවකුත් කැඳවයි

83

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සහ ඔහු වෙනුවෙන් මහාධිකරණය හමුවේදී ඇප බැඳුම්කරවලට අත්සන් කළ ඇපකරුවන්ට අද (13දා) වහාම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (12දා) නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විමල් වීරවංශ මහතාට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාවය සම්බන්ධයෙන් නියෝගය ඊයේ නිකුත් කිරීමට නියමිතව තිබිණි. ඒ අනුව ඊයේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු යම්කිසි රෝග තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් ගතවන බව උදෑසන 9.00ට පමණ තමාට දැනුම් දුන්නේ යැයි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයට පැවසීය.

ඒ බව සනාථ කිරීමට ඔහුගේ ඇපකරුවන් කිසිවකු හෝ අධිකරණය හමුවේ පෙනී නොසිටීම කෙරෙහි අවධානය යොමු කළ විනිසුරුවරයා විත්තිකරු නොමැතිව සිය නියෝගය නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව පෙන්වාදී විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටත් නියෝග කළේය.

විමල් වීරවංශ මහතා ඇමැතිවරයකු ලෙස කටයුතු කළ 2010.01.01 වැනිදා හා 2014.12.31 වැනිදා කාලය අතරතුර වැටුපෙන් හා ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75 කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එම නඩුව පවරා තිබිණි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් දිස්නා ගුරුසිංහ මහත්මිය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment