මුලපති රාමරාජුගේ සෙරෙප්පුව

906

‘නිගුවන් ඩි සර්වන් ටේස්’ නමැති ලේඛකයෙක් 14 වැනි සියවසේදී ස්පාඤ්ඤයේ වාසය කළේය.

ඇටගැසුණු අශ්වයකු සහ එවැනිම නකුටු වංශාධිපතියකු කේන්ද්‍ර කරගෙන ‘ඩොන් ක්විකෝටේ’ යනුවෙන් 1505 දී ඔහු විසින් යථාර්ථවාදී නවකතාවක් ලියන ලදි. මේ නවකතාව ලෝකයේ පළමුවන නූතන නවකතාව ලෙස හඳුන්වනු ලැබේ. ඒ නිසා ඉහත සඳහන් ලේඛකයා මහා ලේඛකයෙකි. ඔහු විසින් කියන ලද වටිනා කියමනක් තිබේ. එනම් සත්‍ය රබර් පටියක් මෙන් දිගින් දිගටම ඇද්ද හැකි නමුදු කිසිම තැනක නොකැඩෙන බවයි. බොරුව ඒ ආකාරයෙන් ඇදිය හැකි නමුදු කිසියම් තැනකදී කැඩෙන බවත් එතැනදී බොරුකාරයා වැනසෙන බවත්ය. බොරු පොරොන්දු පිළිබඳ කතාවද මෙයමය. බොරු පොරොන්දුකාරයා එක තැනකදී සිරවන අතර එතැනදී ඔහුට නැව්ගුටි කෑමට සිදුවෙයි. ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ නාගරික මන්ත්‍රීවරයකු වන මුලපති රාමරාජු නමැති මන්ත්‍රීවරයා පසුගියදා නගරසභා රැස්වීමේදී තම සෙරෙප්පුව ගලවා තමන්ගේ මූණට වේගයෙන් ගසාගත්තේය. එයට හේතුව ඡන්දදායකයන්ට දුන් පොරොන්දු ඉටුකිරීමට ඔහුට නොහැකිවීමය. දුන් පොරොන්දුවක් ඉටුනොකරන කල්හි එය බොරු පොරොන්දුවක් බවට පත්වේ. මුලපති රාමරාජු ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ලෙස පත්වී මාස 31ක් ගතවී තිබේ. එම ප්‍රාන්තය තුළ විදුලි ප්‍රශ්න, මාර්ග ප්‍රශ්න, ජලය බැස යන කාණු පිළිබඳ ප්‍රශ්න සහ සනීපාරක්‍ෂක ප්‍රශ්න රැසක් තිබේ. මුලපති රාමරාජු බලයට එන්නේ මේ ප්‍රශ්න විසඳන බවට පොරොන්දු වෙමිනි. ඔහු සෙරෙප්පුවෙන් මූණට ගසාගන්නා අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙයි. සමහර විට මෙය පොඩි ෂෝ එකක් වීමට පුළුවන. මෙයින් රැවටෙන ජනයා ඉදිරි නාගරික මැතිවරණයේදී ද රාමරාජු දිනවනවා ඇත. කෙසේ වුවද සංකේතයක් වශයෙන් ගත් කල මෙය වටිනා සිද්ධියකි. මේ සිද්ධිය ලංකාවට සම කළොත් විශාල ප්‍රශ්නයක් ඇතිවීමට ඉඩ තිබේ. ලංකාව යනු නාගරික මන්ත්‍රීවරුන්, සමුපකාර මැම්බර්ලා, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහස් ගණනක් සිටියා වූද සිටින්නා වූද රටකි. මේ අය බලයට පැමිණීම සඳහා දෙන ලද පොරොන්දු සමූහය අසමසම ය. එහෙත් මේ පොරොන්දුවලින් සියයට පහක්වත් ඉටුකිරීමට කාටවත් පුළුවන් වී නැත. ජලය බැස යන ජල අපවහන කාණුවක් අබලන් වී ඇති ප්‍රදේශයක සිටින නාගරික මන්ත්‍රීතුමා එය අලුත්වැඩියා කර බෝක්කුවක් සාදා දෙන බව පොරොන්දු වී ඡන්දය ගත්තා යැයි සිතමු. එතැන් සිට ටික කලක් තුළ කාණුවට සහ බෝක්කුවට ආණ්ඩුවෙන් සල්ලි පාස්වෙයි. ඊළඟ අවස්ථාව වන්නේ එම ඉදිකිරීම් කර්තව්‍ය සඳහා ටෙන්ඩර් කැඳවීමය. ටෙන්ඩර්ලාභියා ටෙන්ඩරය අත්පත් කරගෙන කාණුව සාදා නිමකරන්නේ යැයි ඔබ සිහිනෙන්වත් සිතන්නේද ඔබේ සිතුවිල්ල නිකමටවත් හරියන්නේ නැත. මුලින්ම සිදුවන්නේ ටෙන්ඩරයට පාස් කළ මුදලින් සියයට පනහක් පමණ මන්ත්‍රීතුමා ගසාකෑමය. එයට හේතුව මන්ත්‍රීතුමාටත් ප්‍රශ්න තොගයක් තිබීමයි. ඔහු ඡන්දය ඉල්ලා ඇත්තේ ද ණයට මුදල් ගෙන වැය කිරීමෙනි. ඇතැම්විට ඡන්ද කාලයේදී සපෝටර්ලාට සල්ලි සහ කසිප්පු බෙදීම සඳහා ඔහුට ලොකු මුදලක් වැයවන්නට ඇති. මේ මුදල ආපසු ලබාගැනීමටත් පොලීකාරයන්ට ණය ගෙවීම සඳහාත් ඔහු පුළුවන් තරම් සොරාකෑ යුතුය. ඒ නිසා ඔහුට ටෙන්ඩරයේ මුදලින් සියයට පනහක් ගෙවීමට ටෙන්ඩර්කරු බැඳී සිටී. ටෙන්ඩරයේ සියයට පනහක් මන්ත්‍රීට දුන්විට කාණුව සහ බෝක්කුව යන දෙකම හැදීමට ටෙන්ඩර්කරුට බැරිය. ඒ නිසා ඔහු එක්කෝ කාණුව හදයි. නැත්නම් බෝක්කුව හදයි. එය මේ රටේ පමණක් නොව ඉන්දියාවේ ද පවත්නා දේශපාලන චාරිත්‍රයකි. ජේ. ආර්. ජයවර්ධන මේ රටේ රාජ්‍ය නායකයා වූ පසු 30 අවුරුදු මහවැලි යෝජනා ක්‍රමය 7 අවුරුද්දකින් ඉවර කිරීම සඳහා කඩිනම් ඉදිකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළේය. ඒ සඳහා පිටරටවලින් ණය සහ ආධාර ලබාගන්නා ලදි. මේ ඉදිකිරීම භාරව සිටි බලගතු දේශපාලනඥයා මේ රටේ දේශපාලනය ගැනත් ඉදිකරන්නන් ගැනත් නිලධාරීන් ගැනත් ඉතා හොඳින් දැනසිටි කෙනෙකි. මේ ඉදිකිරීම සඳහා මුදල් නිකුත් කරන විට රුපියල් පහක් අවශ්‍ය තැනට රුපියල් දහයක් නිකුත් කිරීමට මේ දේශපාලනඥයා පුරුදුව සිටියේය. එයට හේතුව රුපියල් පහක් නිකුත් කළ විට නිලධාරීන් සහ දෙවන පෙළ දේශපාලනඥයන් එකත වී එම මුදල ගසා කෑමය. එවිට වැඩේ සිද්ධවන්නේ නැත. ඒ නිසා ඔහු රුපියල් දහයක් නිකුත් කිරීමෙන් රුපියල් පහක් ගසාකා ඉතිරි පහෙන් වැඩේ සිද්ධ විය. මෙය 1948 නිදහසින් පසු ක්‍රමයෙන් වර්ධනය වූවකි. 1948 දක්වා මෙවැනි වංචනික වැඩ මේ රටේ තිබුණේ නැත. 1948ට පෙර මෙරට සිටි බි්‍රතාන්‍ය පාලකයා හැම වැඩක්ම කළේ තමන්ගේ ඇස්තමේන්තුවට අනුව තමන්ගේ මිනිසුන් ලවාය. ඒ මිනිසුන් අතර සුද්දෝද කළු සුද්දෝද සිටියහ. බි්‍රතාන්‍ය ආණ්ඩුවට අතිශයින් පක්‍ෂපාතී වූ මේ මිනිස්සු සල්ලි ගසා කෑවේ නැත. එහෙත් නිදහසින් පසු, නිදහස යනු වංචා කිරීමට ඇති නිදහස ලෙස බොහෝ දෙනා කල්පනා කළහ. මේ නිසා 1970 වන විට රජය නමැති ව්‍යුහය තුළ හොරකම නමැති සාධකය පැතිර යමින් තිබිණි. 1977 න් පසු මේ විෂබීජය වඩාත් දරුණු ලෙස පැතිරෙන්න පටන් ගත්තේය. දේශපාලනඥයන් වැඩි දෙනා වැඩ කළේ සියයට දහයක කොමිස් මුදලක් බලාගෙනය. මේ අනුව ජනතා සේවයට වැටුපක් ද, යාන වාහනද, කොමිස් එකක් ද ලබාගැනීමට මේ රටේ දේශපාලක බහුතරය පුරුදු විය.

ඉහතින් අප විසින් සඳහන් කරන ලද්දේ මේ රටට කෙළවුණු ආකාරයයි. හොරකම, වංචාව සහ කොමිස් ලබාදීම කොතරම් දුරට ජනගතවී ඇද්ද යත් අද හැම කෙනෙක්ම කට් එකක් තබාගෙන වැඩකිරීමට කැමැත්තාහ. කොමිස් ආදායම යනු අතපය නොසොල්වා නිකම්ම ලැබෙන මුදලකි. මේ මුදල උපයා ගැනීම පිණිස දේශපාලනඥයන් වැඩිහරිය පාවිච්චි කරන ප්‍රමුඛ ආයුධය බොරු පොරොන්දු ය. මුලපති රාමරාජුගේ ආදර්ශය මේ රටේ ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කිරීමට පටන්ගත්තොත් අලුතින් සෙරෙප්පු ෆැක්ටරි ආරම්භ කිරීමට සිදුවේ. අපේ රටේ පොරොන්දු දීම සහ පොරොන්දු කැඩීම ඒ තරමට බලවත් ය.

advertistmentadvertistment
advertistmentadvertistment