දෙවියන්ගෙන් ආශිර්වාද ලැබ සමාජයේ ගැරහුම් ලබන ප්‍රජාවක් 06

LGBTIQ ප්‍රජාව කෙරෙහි බලාත්මක වන යම් යම් නීති අණ පනත් පිළිබඳවත් ඒ නිසා උල්ලංඝනය වන අයිතිවාසිකම් පිළිබඳවත් පසුගිය සතියේ සාකච්ඡා කළෙමු. නීතියෙන් පවතින එවැනි සීමා කිරීම් නිසා LGBTIQ ප්‍රජාවේ ඇතැම් කණ්ඩායම් තවමත් ජීවත් විය යුතුව ඇත්තේ සමාජයට වසන් වීය. මේ හේතුවෙන් ඔවුන් පිළිබඳ සමාජයේ වෙසෙන ඇතැම් පුද්ගලයන් තුළ ඇත්තේ වැරදි ආකල්පයකි. එය සමාජයේ වෙසෙන සාමාන්‍ය ජනතාවගේ පටන් සුදුසුකම් ලත් වෘත්තිකයන් දක්වා විස්තාරණය වන අවස්ථා හඳුනාගත හැකිය.

මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ මිනිසුන් සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමටත්, උසස් තත්ත්වයේ සත්කාර ලබා දීමටත් ප්‍රතිඥා දී ඇති සෞඛ්‍ය සේවය තුළ දී LGBT ප්‍රජාවට අහිමි වන සෞඛ්‍ය අයිතිවාසිකම් පිළිබඳවය. මෙය ඔවුන්ගේ අවශ්‍යතාවන්ට සරිලන සේවාවන් නොමැතිකම මෙන්ම සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමේ දී වාචිකව හා ශාරීරිකව සිදුවන අකටයුතුකම් පිළිබඳව කෙටි සටහනකි.

රෝග මර්දනය ද රෝගීන් වර්ධනය ද

එවැනි සිදුවීම් බහුලව වාර්තා වී ඇත්තේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ සායනවලට සහභාගි වූ පුද්ගලයන්ට ය. ඇතැමුන් බොහෝ අවස්ථාවලදී සමස්ත LGBT ප්‍රජාවම ලිංගාශ්‍රිත රෝග වාහකයන් ලෙස හඳුන්වන බව නොරහසකි. එනමුත් ලිංගාශ්‍රිත රෝගීන් සියල්ලන්ම නියෝජනය කරන්නේ LGBT ප්‍රජාව නොවේ. ලිංගාශ්‍රිත රෝග සායනයකට සහභාගි වූ සමරිසි පුද්ගලයෙකි කලණ. ඔහු හියුමන් පැපිතලෝමා වෛරසය මඟින් ඇතිවන ලිංගික ඉන්නන් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට සායනය සඳහා සහභාගි වී තිබිණි. ඔහු අත්විඳි අමිහිරි අත්දැකීමක් මෙසේ සිහිපත් කළේ ය.

“ගෑස් ගහන්න ඉන්න අය මේ පැත්තට එන්න කියලා සාත්තු සේවිකාවක් මහ හයියෙන් කෑ ගහලා කිව්වා. එහෙම කියද්දි එතන හිටිය හැමෝම අපි දිහා බැලුවා. ඇත්තටම ඒ වෙලාවෙ ලොකු අපහසුතාවයක් දැණුනා. මීට කලින් සායනයට සහභාගි වුණ මිතුරෙක් ඒ ගැන කියලා තිබුණත් මම හිතුවේ ඒක ඒ දවසට විතරක් සීමා වෙච්ච සිද්ධියක් කියලා. නමුත් ඒක එහෙම නෙවෙයි ඒ හැමදාම එතන වෙන විදිය. වෛද්‍යවරයාගේ කාමරයට ගියාමත් ඒ කාමරයේ දොර වහන්නෙ නැහැ. අපි රෝගය ගැන විස්තර කරන දේවල්, වැළඳුන ආකාරය, අපි ආශ්‍රය කරපු අය ගැන වෛද්‍යවරයා එක්ක කියන ඒවා ඔක්කොම එළියට ඇහෙනවා. එතන කිසිම පෞද්ගලිකත්වයක් නැහැ. ඇත්තටම මේ දේවල් එළියට ඇවිල්ල කිව්වම එළියෙ ඉන්න සායනවලට සහභාගි වෙන්න හිතාගෙන ඉන්න අනිත් අයට යන්න හිතෙන්නෙත් නැහැ. ඒකම තමයි LGBT ප්‍රජාව අතර ලිංගාශ්‍රිත රෝග බහුල වීමට හේතුවත්. මම කියපු විස්තර කාමරයෙන් පිටත අයට ඇහුණා විතරක් නෙමෙයි වෛද්‍යවරයා මට දෙන උපදෙසුත් එළියට ඇහෙනවා. ඒ වෛද්‍යවරයා මගේ කතා ඔක්කොම අහගෙන ඉඳලා අන්තිමට මට උපදෙස් දුන්නා ඒ වගේ සම්බන්ධතා පවත්වන්න එපා, ඒක හොඳ නැති දෙයක් කියලා. ඒ කියන්නේ එතනදි මගේ අනන්‍යතාවය ගැන වෛද්‍යවරයා සැලකුවේ නැහැ. මම ඒ සිදුවීමෙන් පස්සේ ඒ සායනයට සහභාගි වුණේ නෑ. මොකද කිසිම මනුස්සයෙක් තමන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙනවට කැමති නෑ. මට කියන්න තේරෙන්නේ නෑ ඒක ගැන වෛද්‍යවරයාට අවබෝධයක් නැද්ද ඔහු ඒක හිතාමතා ද කරන්න කියලා. ඒ තැන්වලදී අපේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන විදිහට වැඩ කරන්න බැරිකමක් නැහැ. ඒකට ඕන තරම් පහසුකම් තියෙනවා. වැඩි දෙයක් ඕන නැහැ. දොරක් තියෙනවා නම් වෛද්‍යවරයා ඉන්න කාමරේ රෝගියාගෙන් කරුණු විමසන කොට දොර වහගෙන කතා කරන්න බැරිද? නමුත් ඒ වගේ පොඩි දෙයක්වත් කරන්න නැත්තෙ හිතාමතා කියලා තමයි මට හිතෙන්නේ.

ඒ වගේම තමයි මගේ යාළුවෙක් ප්‍රතිකාර ලබා ගන්න රජයේ රෝහලකට ගිය අවස්ථාවක ඒ රෝහලේ වෛද්‍යවරයා ඔහුට ප්‍රතිකාර ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණා. පෞද්ගලික ඔසුහලකින් ලබා ගැනීමට යැයි පවසා බෙහෙතක් නියම කර තිබුණා. අවසානයේ ඔහු ප්‍රතිකාර ලබාගෙන තිබුණේ ඔහුගේ පළාතේවත් නොවන වෙනත් පළාතක රෝහලකින්.”

සමරිසි කාන්තාවන්ට හා පුරුෂයන්ට බොහෝ අවස්ථාවල මෙවැනි සිදුවීම්වලට මුහුණ දීමට සිදුවන්නේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ සායන වලදීය. ලිංගාශ්‍රිත රෝග වැළඳුණු විට වෛද්‍ය සායන තුළ දී ම සිදු වන මෙවැනි අපහසුතාවට පත් කිරීම් නිසා ප්‍රතිකාර සඳහා යොමු වන පිරිසේ අඩුවක් දක්නට ලැබේ. ලිංගාශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර ලබාගත යුතු බවට නිරන්තරයෙන් දැනුවත් කළ ද ප්‍රතිකාර සඳහා යොමු වන පිරිස අඩු වීමටත්, රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑමටත් හේතු වී ඇත්තේ සායනවලදී රෝහල් කාර්යමණ්ඩලවල හැසිරීමයි. අනෙකුත් රෝග හා රෝගීන් සම්බන්ධව කටයුතු කරන ආකාරයට නොව ඊට හාත්පසින්ම වෙනස් ආකාරයට කටයුතු කිරීමයි.

අත්‍යවශ්‍ය නොවන අත්‍යවශ්‍ය සැත්කම්

සංක්‍රාන්ති සමාජභාවීය කාන්තාවක් වන සත්‍යා රාමණායක සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන් හා පුරුෂයන් මුහුණ දෙන පොදු ගැටලු කිහිපයක් පිළිබඳ අදහස් දැක්වූවා ය. “ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් කාන්තා හෝ පුරුෂයන් සඳහා තිබෙන සියලු සැත්කම් ප්ලාස්ටික් සැත්කම් ගණයටයි අයත් වෙන්නෙ. සැත්කම් වර්ග කිරීමේ දී ලංකාවේ ප්ලාස්ටික් සැත්කම් අත්‍යවශ්‍ය නොවන සැත්කම් කාණ්ඩයට තමයි වර්ග කරලා තියෙන්නේ. අපිට මේ සැත්කම් කොයිතරම් අත්‍යවශ්‍ය වුණත් ඒක අත්‍යවශ්‍ය නොවන සැත්කම් කාණ්ඩයට තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය වර්ග කරලා තියෙන්නේ. වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයට කලින් රජයේ රෝහල්වල දී මේ සැත්කම කරගන්න පුළුවන්කම තිබුණා. නමුත් අත්‍යවශ්‍ය නොවන සැත්කම් වර්තමානය වන විට රජයේ රෝහල්වල සිදු කරන්නේ නැහැ.

සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක් විදියට මට අත්විඳින්න සිදු වුණ තව එක ගැටලුවක් මතක් කරන්න ඕන. ඒක ඇත්තටම සංක්‍රාන්ති සමාජභාවි කාන්තාවන්ට පමණක් නෙවෙයි පොදුවේ සියලු කාන්තාවන්ට තිබෙන ගැටලුවක්. කාන්තාවන්ට අත්‍යාවශ්‍ය වන ඊස්ට්‍රජන් හෝමෝනය ලංකාවේ ගන්න නැහැ. සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන් බොහෝ දෙනෙක් ඒ වෙනුවට භාවිත කරන්නේ උපත් පාලන පෙති. සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවකට උපත් පාලන පෙත්තක තියෙන මිලිග්‍රෑම් ප්‍රමාණය පමණක් ප්‍රමාණවත් නැහැ. අපි මේ හෝමෝනය ගෙන්වන්න කියලා ඉල්ලීම් කරන්නේ අවුරුදු 12 ක ඉඳන්.” මෙම සිද්ධිය සැලකිල්ලට ගෙන එළඹිය හැකි නිගමනය වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට ඇති වන්නේ අත්‍යවශ්‍ය නොවන අවශ්‍යතා බවය. සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට ඔවුන්ගේ ඉදිරි ජීවිතය තීරණය කරන, ඔවුන්ගේ ආත්මය හා බැඳුණු සැත්කම් සෞඛ්‍ය අමාත්‍යාංශයට අත්‍යවශ්‍ය නොවන සැත්කම්ය.

රෝහල්ගත වන විටවත් නිසි තැන දෙන්න

සංක්‍රාන්ති සමාජභාවී පුරුෂයෙක් රෝහල්ගත වූ අවස්ථාවක දී ඔහු පත් වූ අපහසුතාවක් පිළිබඳ සිහිපත් කළේය. “අර්ශස් රෝගයට ප්‍රතිකාර ගැනීමට රෝහල්ගත වූ අවස්ථාවක මාව කාන්තා වාට්ටුවකට යොමු කළා. ඔවුන් මගේ වර්තමාන තත්ත්වය පිළිගැනීමට කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ විතරක් නෙමෙයි රෝහල් කාර්ය මණ්ඩලය වරින් වර “රැවුල තියෙන පිරිමි ඇඳුම් අඳින ගෑනු කෙනා කවුද” කියලා අහගෙන වාට්ටුවට ආවා. ඒ කිසිම වෙලාවක ඒ අයට මගේ මානසික මට්ටම ගැන හිතන්න ඕන කමක් තිබුණේ නෑ.” සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ඒ තත්ත්වයට ළඟා වන්නේ බොහෝ කැපකිරීම් කිරීමෙන් අනතුරුවය. එය අවබෝධ කර ගැනීමට තරම් අවබෝධයක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට නොමැති වීම රටේ ද අභාග්‍යයකි. වෙනත් ක්ෂේත්‍ර හෝ ආයතන කුමන මතයක් දැරුව ද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ එවැනි ගැටලු ඇති වීම ඛේදනීය තත්ත්වයකි.

සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත විශිෂ්ට වූත්, ප්‍රශස්ත වූත්, ලාභදායී වූත්, එමෙන්ම, කාලානුරූප වූත් සෞඛ්‍ය සේවාවන් සඳහා ප්‍රවේශය සලසා දෙනු ලබන බවට වග බලා ගැනෙන වගකීම් සහතිකයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් ලබා දුන්න ද ඉහත දක්වා ඇති සිදුවීම් සියල්ල අධ්‍යයනය කිරීමේ දී එය සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා ද යන්න නැවත සිතා බැලිය යුත්තකි.

සෝබා කෝලියවංශ

advertistmentadvertistment
advertistmentadvertistment