පිළිකා රෝගීන්ට තුන්බියක්

761

මේ වන විට පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ 20 ක පමණ හිඟයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

ඖෂධ හිඟයට අමතරව පවතින ඖෂධවල මිල ඉහළ යෑම, පැරණි විකරණ යන්ත්‍ර භාවිත කිරීම ඇතුළු ගැටලු රැසක් ද මතු වී තිබෙන බව ද ඒ මහතා කීය.

පියයුරු, අක්මා, ආන්ත්‍රික මොළේ ආශ්‍රිත සහ දරුවන්ගේ ඇතැම් රෝගවලට අවශ්‍ය ඖෂධ 20 ක පමණ හිඟයක් ඇති බවත් ඖෂධ හිඟය නිසා බාහිර වෙළෙඳපොළෙන් රුපියල් පනස්දහස, ලක්‍ෂය වැනි මිලක් ගෙවා ඖෂධ ලබා ගැනීමට සිදුවන බවත් ඒ ආකාරයෙන් අවශ්‍ය ඖෂධ ප්‍රමාණය මිලදී ගැනීමට ඇතැම් රෝගීන්ට රුපියල් ලක්‍ෂ 25 ක් 30 ක් වැය කිරීමට සිදුවන බවත් ඒ මහතා කීය.

ඇතැම් අවස්ථාවල රෝගියකුට අවශ්‍ය ඖෂධ එම රෝගියා නමින් ඇණවුම් කළ ද වෙනත් සුවිශේෂී හේතු නිසා වෙනත් රෝගීන්ට ලබා දී තිබෙන අවස්ථා පැවතිය හැකි බවද ඒ මහතා කීය.

මේ නිසා ඖෂධ සඳහා පාලන මිලක්, ජනාධිපති අරමුදල වැනි අරමුදලක්, ඖෂධ ප්‍රසම්පාදනය වේගවත් කිරීම වැනි ක්‍රමවේද භාවිතා කරන ලෙස සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් හා සෞඛ්‍ය ලේකම්වරයාගෙන් තමා ඉල්ලීමක් කරන බව ද සංජීව මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment