අනතුරු අතවනයි – අධිවේගය අඳුරේ

207

විශේෂ හෙළිදරව්වක් අද
සොරුන් මිලියන 250ක තඹ රැහැන් කපාගෙන – ඇමැති බන්දුල කියයි
වේග සීමාව අවම කිරීමට සාකච්ඡා
මේ වසරේ දින 27ට අනතුරුවලින් 6ක් මියගිහින්

අධිවේගී මාර්ගවල පවතින වීථි ලාම්පු සහ පරිවර්තන (දිස්න ගහන) ස්ථානවල නිසි නඩත්තුවක් සිදු නොවන නිසා රාත්‍රි කාලයේ වාහන ධාවනය කිරීමේදී අනතුරට පත්වීමේ වැඩි ඉඩක් ඇති බැවින් එම ස්ථාන කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලති. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ යම් ස්ථානවල පෙරේදා (29 දා) දිනයේදී අඳුරේ පවතින අයුරු දක්නට ලැබුණු බවද ඔවුහු පවසති.

කන්ටේනර් රථ ඇතුළු විවිධ වාහන රාත්‍රි කාලයේ කාර්මික දෝෂ හෝ වෙනත් හේතු නිසා නවතා තබන අවස්ථා දැක තිබෙන බවත් එවැනි ස්ථානවල ප්‍රමාණවත් ආලෝකයක් නොමැති නිසා පිටුපසින් වේගයෙන් පැමිණෙන වාහන එම නවතා තබන වාහනවල ගැටෙන අවස්ථා වැඩිවිය හැකි බවත් ඔවුහු පවසති.

මේ වසරේ ගෙවී ගිය දින 27 තුළ අධිවේගී මාර්ගවල සිදුවූ අනතුරුවලින් පුද්ගලයන් 6 දෙනකු මියගොස් ඇති බවත් රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා අනතුරට ලක්වූ ස්ථානයේද අඳුරු ස්ථානයක් බවත් ජනතාව කියති.

අධිවේගී මාර්ග අඳුරු වීමට ප්‍රධාන හේතුවක් ලෙස සොරුන් තඹ විදුලි රැහැන් කපා රැගෙන යෑම පෙනී ගිය බවත් සොරුන් විසින් මිලියන 250 ක පමණ තඹ රැහැන් කපාගෙන ගොස් ඇති බව නිරීක්‍ෂණය වී ඇති බවත් මහා මාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මහනුවර උත්සව අවස්ථාවකදී මාධ්‍ය අමතමින් පැවසීය.

එම ස්ථාන අලුත්වැඩියා කිරීම සඳහා මේ වන විටත් සැලසුම්කර තිබෙන බවත් එය කඩිනමින් සිදුවන ලෙස නිලධාරීන් කටයුතු කරනු ඇති බවත් ඇමැතිවරයා කීය.

අධිවේගී මාර්ග අධ්‍යක්‍ෂ ජනරාල් එම් වීරකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් අද (29 දා) මහාමාර්ග අමාත්‍යාංශයේදී දැනුවත් කිරීමේ වැඩසටහනක් සිදුකරන බවයි.

එහිදී තඹ කම්බි වෙනුවට ඇලුමිනියම් කම්බි භාවිතය, වේග සීමාවට අමතරව කිලෝ මීටර් 50-60 අවම මට්ටමක ධාවන වේගය පවත්වාගෙන යෑමට රියැදුරන්ට උපදෙස් දීම වැනි කරුණු සාකච්ඡා කරන බවද හෙතෙම පැවසීය.

ලෝකයේ කිසිදු අධිවේගී මාර්ගයක අඩු වේගයෙන් ධාවනය කරවීමට එරෙහිව නීති නොමැති බවත් අධිවේගී මාර්ගවල පටන් ගත් ස්ථානයේ සිට අවසානය දක්වා වීදි ලාම්පු භාවිතා කළ යුතු බවට නියමයක් නොමැති බවද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීය.

ඇතුළුවීමේ හෝ පිටවීමේ ස්ථාන සහ විශේෂ ස්ථානවල විදුලි ලාම්පු සවිකර තිබුණත් බොහෝ ස්ථානවල වාහනයේ ලාම්පු එළියෙන් මාර්ගය පිළිබඳව පරිවර්තක (ලුමිනස් වැනි දිළිසෙන) මගින් දිශාව පෙන්වාදීම සිදුකරන බවත් ඒ මහතා පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment