ලොරෙන්සෝ පුතා – 4 – කපිතාන් ඇතුළු ධීවරයන් 6ක් යාත්‍රාවේ – කොල්ලකරුවෝ තාම නිහඩයි

198

පළමු මුහුදු ගමනේදීම සෝමාලියානු ග්‍රහණයේ
නාවික හමුදාව බහරේන් හමුදාවෙන් සහාය ඉල්ලයි

අඩි 50 ක් දිගැති ලොරෙන්සෝ පුතා – 4 බහුදින ධීවර යාත්‍රාව සිය ප්‍රථම ගමනේදීම සීෂෙල්ස් උතුරු මුහුදේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුව තිබේ.

මෙම බහුදින ධීවර යාත්‍රාව අරාබි මුහුදේ ගමන් කරමින් සිටියදී පෙරේදා (27 දා) මෙලෙස මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුව තිබේ.

මෙහි කපිතාන්වරයා ඇතුළු ධීවරයන් හයදෙනකු සිට ඇත. බහුදින ධීවර යාත්‍රාවට පිටුපසින් ගමන් කළ නෞකාවකට ලැබුණු තොරතුරු අනුව ආයුධ සන්නද්ධව පුද්ගලයන් කිහිපදෙනකු ලාංකික බහුදින යාත්‍රාවට ගොඩවී අහසට වෙඩි තබා එහි පාලනය සියතට ගෙන තිබේ.

ලොරෙන්සෝ පුතා-04 පසුගිය 12 වැනිදා දික්ඕවිට ධීවර වරායෙන් පිටත්වී ඇති අතර පැහැර ගැනීම සිදුව ඇත්තේ ශ්‍රී ලංකා වෙරළට නාවික සැතපුම් 1160 ක් ඔබ්බෙනි.

ලොරෙන්සෝ පුතා – 04 ගලවා ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශයේ හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව ධීවර දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ප්‍රකාශ කර තිබේ.

බහුදින යාත්‍රාව පැහැරගත් සෝමාලියානු කොල්ලකරුවන් තම ඉල්ලීම් ගැන කිසිදු සන්නිවේදනයක් සිදුකර නැත.

මෙම යාත්‍රාවේ ප්‍රමාණවත් ආහාර හා ජල පහසුකම් තිබෙන අතර කාර්ය මණ්ඩලය ආරක්‍ෂිත බව තමන් විශ්වාස කරන බව ධීවර දෙපාර්තමේන්තුව කියයි.

රතු මුහුදේ නැව්වලට හූති කැරලිකරුවන් ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන ඇති නිසා සමුද්‍ර ආරක්‍ෂාව කඩාකප්පල්වීම සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ට වාසියක් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

සෝමාලියානු සමුද්‍ර ඒජන්සියේ අධ්‍යක්‍ෂ හසන් මොහොමඩ් අෆ්රා, පසුගිය සිකුරාදා ප්‍රකාශ කර ඇත්තේ නොවැම්බර් සිට මුහුදු කොල්ලකෑම් පහක් ්ගැන වාර්තා වී ඇති බවයි.

මේ නිසා සෝමාලියාවට ඔබ්බෙන් සාගර කලාපය අනාරක්‍ෂිත වී තිබේ.

ලොරෙන්සෝ පුතා බේරාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව බහරේනයේ නාවික හමුදාවෙන් සහාය ඉල්ලා තිබේ.

මෙම ධීවර යාත්‍රාවේ අයිතිකරු වන එස්. එම්. පෙරේරා මහතා විසින් මෙම යාත්‍රාව පැහැර ගැනීම ගැන මුලින්ම පැමිණිලි කර ඇත.

එසේම විදේශ අමාත්‍යාංශය මේ ධීවරයන් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙස සෝමාලියානු රජයට දැනුම් දී ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment