ටවර් හෝල් රංගශාලා සහනදායී මුදලකට වේදිකා නාට්‍යවලට දෙන්න

177

කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් අඩපණව තිබූ රංග කලා කටයුතු ප‍්‍රවර්ධනය කිරීම දිරිගැන්වීම වෙනුවෙන් ටවර් හෝල් රඟහල පදනමට අයත් රංග ශාලා අගෝස්තු 31 වැනිදා සිට සහනදායී මුදලකට වේදිකා නාට්‍ය සඳහා ලබාදෙන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් 15 දා උපදෙස් දුන්නේය.
 
 ටවර් හෝල් රඟහල පදනමේ 297 වැනි භාරකාර මණ්ඩල රැුස්වීම අරලියගහ මන්දිරයේ දී පැවති අවස්ථාවේ ටවර් හෝල් රඟහල පදනමේ සභාපතිවරයා වශයෙන් අගමැතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
 
 ඒ අනුව ලබන අගෝස්තු 31 වැනිදා සිට පවතින කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ සහනදායී මුදලකට ටවර් රඟහල, එල්ෆින්ස්ටන් රඟහල සහ රුක්මණීදේවි රඟහල නාට්‍යකරුවන්ට පිරිනැමෙනු ඇත.
 
 මරදාන එල්ෆින්ස්ටන් රඟහලට යාබද සරසවිපාය ගොඩනැඟිල්ල සංස්කෘතික කටයුතු ප‍්‍රවර්ධනය සඳහා ප‍්‍රමුඛත්වය ලැබෙන පරිදි මහල් අටකින් යුතු බහුකාර්ය ගොඩනැඟිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නැයිද අග‍්‍රාමාත්‍යතුමා මෙහි දී දැනුම් දුන්නේය.
 
 දැනට ටවර් හෝල් රඟහල පදනම විසින් ක‍්‍රියාත්මක කරනු ලබන පේ‍්‍රක්ෂා රක්ෂණාවරණය 2022 වසරේ සිට නාට්‍ය ක්ෂේත‍්‍රයේ නියැලි නාට්‍යකරුවන් වැඩි පිරිසක් ආවරණය වන පරිදි සකස් කරන්නැයි ද අගමැතිවරයා ප‍්‍රකාශ කළේය.
 
 2016 රුපියල් මිලියන 150 ක් වැයකොට 2019 පෙබරවාරි 25 වැනිදා විවෘත කර ඇති බුලත්සිංහල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඈගල්ඔය පිහිටි බහුකාර්ය ගොඩනැඟිල්ල මේ වනවිට කිසිඳු ප‍්‍රයෝජනයක් නොගෙන අතහැර දමා ඇති බව මෙම හමුවේ දී හෙළිවිය.
 
 ඒ අනුව අදාළ ගොඩනැඟිල්ල ටවර් හෝල් රඟහල පදනම පනත යටතේ ඇති අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් පවරා ගැනීමට අවශ්‍ය ඉදිරි කටයුතු සම්පාදනය කරන්නැයි ද අගමැතිවරයා මෙහි දී නියෝග කළේය.
 
 සමස්ත ලංකා පාසල් නාට්‍ය තරග සිංහල හා දෙමළ මාධ්‍යයෙන් අඛණ්ඩව පවත්වාගෙන යෑමට භාරකාර මණ්ඩලය මෙහිදී තීරණය කළේය.
 
 මෙම අවස්ථාවට ජාතික උරුම, ප‍්‍රාසාංග කලා හා ග‍්‍රාමීය කලා ශිල්පී ප‍්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති විදුර වික‍්‍රමනායක, අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, ජාතික උරුම, ප‍්‍රාසාංග කලා හා ග‍්‍රාමීය කලා ශිල්පී ප‍්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කේ. ඒ. ඞී. ආර්. නිශාන්ති ජයසිංහ, ටවර් හෝල් පදනමේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් කේ. ඒ. එච්. එච්. කිරිඇල්ල, පාලන හා සංවර්ධන අධ්‍යක්ෂ නිපුන දිසානායක, නාට්‍ය ප‍්‍රවර්ධන, අධ්‍යාපන හා වැඩසටහන් අධ්‍යක්ෂ සම්පත් පෙරේරා, ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන චරිතා ප‍්‍රියදර්ශනී පීරිස්, හෂීම් ඕමාර්, පී. ආර්. පෙරේරා (කලාකරු නියෝජනය*, කුලෝජා පීරිස් (මහා භාණ්ඩාගාර නියෝජනය* නාගරික ලේකම් රෝෂිණී දිසානායක මහත්ම මහත්මීන් ඇතුළු ටවර් හෝල් පදනමේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

– අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment