ආණ්ඩුවේ කුරුමානම කුමක් සඳහා ද?

321

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි මහා සමුළුවට සහභාගි වීමට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට ගිය ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිය දේශනය පැවැත්වීමට පෙර විවිධ රාජ්‍ය තාන්ත්‍රිකයන් හා ජාත්‍යන්තර තලයේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට හැකි වූ මෙන්ම ආර්ථික ගැටලු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට හැකි වූ බව ද මාධ්‍යවල සඳහන් විය. බංග්ලාදේශ අගමැතිනි ශෙයික් හසිනා පමණක් නොව වෙනත් කලාපීය හා නොවන රාජ්‍ය නායකයන් විසින් ද ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම් ඇගයීමට ලක් කරනු ලැබ තිබිණි. ජාත්‍යන්තර සංවර්ධන සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් ද ජනාධිපති රනිල්ට සහාය ලබාදෙන බව යළිත් තහවුරු කර තිබුණි. එසේම එහිදී පැවැත්වුණු සම්මන්ත්‍රණ සංවාද මණ්ඩප ආදියේදීත් ජනාධිපති රනිල්ගේ භූමිකාව කැපී පෙනුණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා සමග ලංකාවේ වර්තමාන ආර්ථිකය හා එයට එළැඹී තිබෙන අභියෝග පිළිබඳව ද ජනාධිපතිවරයා පෙන්වා දුන් බව මාධ්‍යවල පළ විය. විශේෂයෙන් ලංකාවේ පොහොර හා ඉන්ධන ගැටලු කෙරෙහි මෙන්ම ගෝලීය ප්‍රවණතා විසින් අඩු ආදායම් රටවලට එල්ල කරනු ලබන පීඩනය සම්බන්ධයෙන් ද ජනාධිපති රනිල් අනාවරණයන් කර තිබිණි. මේ සියලු ක්‍රියාකාරකම් හා ඒවායේ ප්‍රතිඵල නුදුරු අනාගතයේ දීම ජනතාවට ද දැනගත හැකි වනු ඇතැයි අපි විශ්වාස කරමු. එසේම අප මෙම සටහන ලියන මොහොත වනවිට ද ජනාධිපතිවරයා මහා සමුළුව ආමන්ත්‍රණය කර නොතිබිණි.

කෙසේ වුව ද ජනාධිපති රනිල් රටින් බැහැරව සිටියත් මෙරටේ සමාජ දේශපාලන හැසිරීම් මෙන්ම බොහෝ ආයතනවල ක්‍රියාකාරකම් ද සුපුරුදු අසංවේදී බවින් යුතුව ඇදී යන ආකාරය ද දැකගත හැකිය. මේ වනවිට රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ද කිසියම් අවිනිශ්චිත ස්වරූපයක් තිබේදැයි හැඟෙන්නේ මහජන නියෝජිතයන් විසින්ම කරනු ලබන ප්‍රකාශ නිසාය. උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ වාහනයට වෙඩි වැදී තිබෙන අතර තවත් මන්ත්‍රීවරයෙක් පවසන්නේ තමන්ට ආරක්ෂාවක් නැති බවකි. වීරසිංහ මන්ත්‍රීවරයා සිය අනාවරණයේදී තර්ජන ඇමතුමේ දුරකථන අංක පවා ඉදිරිපත් කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් අවධාරණය කළේ ද මෙය භයානක තත්ත්වයක් බවත් එයට වහාම විසඳුම් ලබාදිය යුතු බවත්ය.

ඇත්ත වශයෙන්ම මේ වනවිට ගංවතුරක් මෙන් පැතිර යන්නේ නිමක් නොමැතිව කෙරෙන ඝාතන පුවත් ගැනය. ඝාතකයන් හා ඝාතනවලට ලක්වන දෙපිරිසම බොහෝවිට යහපත් පුරවැසියෝ නොවෙති. කුඩු ජාවාරම් හෝ වෙනත් ඝාතන ක්‍රියා සම්බන්ධයෙන් ඒ අය අතර අවුල් හා ගැටම් පැවති බව ද පොලිසිය නිවේදනය කර තිබේ. එහෙත් මේ අවි හරඹවලට ලක්වන කුඩා දරුවන් ගැන ද වාර්තා ලැබේ. මොනම තත්ත්වයක් යටතේ වුව ද නීතිය අතට ගෙන නඩු විසඳීමට සමාජයට ඉඩ දිය යුතු නැත. මිනිස් ජීවිතයක වටිනාකම පිළිබඳ අද වගේ වගක් නැත. කිසියම් ආරවුලක් නිසා පුද්ගලයකු ඝාතනය කර ගමන් බෑගයක දමා ඇළකට දොළකට විසි කරන රටක් ගැන අප කිසිවකුට සතුටු විය නොහැක.

පොලිසියට මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ට ද එල්ල වී තිබෙන චෝදනා වුව ද සුළු පටු නැත. කෝටි ගණන් මුදල් මේ අනීතික හා අධම ක්‍රියාකාරකම් වෙනුවෙන් වැය වෙන ආකාරය ද හෙළි වී තිබේ. කවුරු කෙසේ කීවත් මේ රට මෙපමණකින් හෝ සුරැකි තිබෙන්නේ පොලිසියේ සිටින හොඳ හා අවංක නිලධාරීන් නිසාත් අධිකරණයේ උගත් විනිසුරුවරුන් නිසාත්ය. දේශපාලනය නිසා කුණු වී ගිය ආයතන අතර පොලිසිය ද ඉහළින්ම තිබෙන බව රහසක් නොවේ. රටේ රාජ්‍ය නායකයන් පවා ඒ පිළිබඳ විවේචන කර ඇත. ආරක්ෂාව පමණක් නොව විනය පවත්වා ගෙන යෑමට ද පොලිසියට දිය යුතු හා දිය හැකි ශක්තිය ඉතා වැදගත්ය. පුරවැසි අයිතිය සුරැකීමට පොලිසිය නිබඳවම කැප විය යුතුය. එහෙත් දේශපාලනඥයන්ට වුවමනා පරිදි මට්ටම් කරගත් පොලිසියකින් අපට බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද?

ආණ්ඩුවේ කුරුමානම කුමක් සඳහා ද?

මේ දිනවල යළිත් සමාජ දේශපාලන ක්‍ෂේත්‍රවල ප්‍රමුඛ මාතෘකාව බවට පත්ව තිබෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධ සංවාදවලදී මෙන්ම දින දෙකක් පුරා පැවැති පාර්ලිමේන්තු විවාදයේදීත් පොලිසියේ ඉහළම නිලධාරීන්ට චෝදනා එල්ල විය. ආණ්ඩුවේ ඇමැතිවරුන්ට අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ කොමිසමේ පොලිසියට චෝදනා නැත. එහෙත් විපක්ෂය පුන පුනා පැවසුවේ එක්තරා පොලිස් නිලධාරියකු එයට වගකිව යුතු බවය. මෙම විවාදයේදී විපක්ෂයේ මන්ත්‍රීවරයකු වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් පොලිසියේ මෙන්ම හමුදාවේ උසස් නිලධාරීන් හා හිටපු ජනාධිපතිවරුන් අතර වූ සබඳතා දිගින් දිගට ම විස්තර කරමින් අවධාරණය කළේ ද පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් ඒ කිසිවෙකුට නිදහස් විය නොහැකි බවය. පාර්ලිමේන්තු විවාදයකදී සිදු කෙරෙන අනාවරණයන්, විවේචන ආදිය සම්බන්ධයෙන් පිටත සිට අර්ථ දැක්වීම අවදානම් ක්‍රියාවකි. එහෙත් දැන් යළිත් පාස්කු ප්‍රහාරය නමැති බිහිසුණු අපරාධයේ සත්‍යය හෙළි කර ගැනීමේ වගකීමට මේ ආණ්ඩුව බැඳී සිටින බව නම් අප කිව යුතුය.

මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රමුඛ කිතුනු නායකත්වයෙන් මෙම ප්‍රහාරයේ සත්‍යය හෙළි කර ගැනීමට ගෙන යන අරගලය කෙතරම් ප්‍රබල ද යත් සිව් වසරකටත් ටිකක් වැඩි ඒ සාහාසික අපරාධය ගැන පාර්ලිමේන්තු විවාදයදක් ලබාදීමට ද ආණ්ඩුවට සිදු විය. පසුගියදා එළිදැක්වූ චැනල් ෆෝ වාර්තා චිත්‍රපටයෙන් උද්ගත වූ කැළඹීම ද එයට හේතු වූ බව නිසැකය. චැනල් ෆෝ යනු අතිශය විවාදාත්මක මෙන්ම මාධ්‍ය භාවිතය සම්බන්ධ විවිධ චෝදනාවලට ලක් වූවකි. ඔවුන්ගේ පාර්ශ්වවීය බැඳීම් ඉතා පැහැදිලිය. එහෙත් මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය හෙළි වන තෙක් ඔවුන්ට මෙන්ම ලංකාව දෙස වපරැසින් බලන අනෙක් පිරිස්වලට ද එය හොඳ ඉල්ලමක් වනු ඇත. ඒ නිසා අප විසින් මීට පෙර ද සඳහන් කරන ලද පරිදි දැන් ජාත්‍යන්තරයේ සහාය ද ලබාගෙන හෝ මේ චෝදනා පත්‍රයෙන් නිදහස් වීම හැර වෙන මඟක් අපට නැත. පාස්කු ප්‍රහාරයට පෙර ද එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් සිදු කරන ලද මෙබඳු කුරිරු ඝාතන කීපයක්ම විය. අරන්තලාවේ භික්ෂු ඝාතනය දළදා මැඳුරට හා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල සිදු වූ ම්ලේච්ඡ ඝාතන ආදිය ගැන නම් චැනල් ෆෝ තබා ජාත්‍යන්තරය ද උනන්දු නොවන බව ද මෙහිදී සිහිපත් කළ යුතුය. එහෙත් දේශපාලනය, බලය හෝ වෙන ඕනෑම දෙයක් උදෙසා ඝාතනය යොදා ගැනීම අපි කිසිසේත් අනුමත නොකරමු. එබඳු ඝාතනවලින් ලේ තවරා ගත් දෑත් සහිත මිනිසුන් මුළු මානව සමාජයටම ගොරතර විපතක් බව ද අපි දැඩිව අවධාරණය කරමු.

අද මේ රට විනාශ වී තිබෙන්නේ ඝාතනය, භීෂණය හා දූෂණය පිටු දැකීම සඳහා ප්‍රබල සමාජ දැක්මක් නොමැති දේශපාලන නායකයන් නොමැති වීම නිසාය. හැම කෙනෙක්ම කතා කරන්නේ හොරකම, බොරුව, වංචාව, අල්ලස හා නාස්තිය නැති සමාජයක්, රටක් ගැනය. එකිනෙකාට ඇඟිලි දිගු කර ගනිමින් එබඳු චෝදනා අප්‍රමාණව නැඟුවත්, කිසිවෙක් ඒවා දුරු කර
ගැනීම සඳහා කැපවී ක්‍රියා නොකරති. ජනාධිපති රනිල් නිව්යෝර්ක් නුවර පැවැති හමුවක දී පවසා තිබුණෙත් දූෂණ විරෝධී කොමිසමක් සඳහා වුවමනා විධිමත් හා පුහුණු කාර්ය මණ්ඩලයක් නොමැතිවීම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතළ ප්‍රශ්නයක් බවය. පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේදී පමණක් හෙළි වන දූෂණ, අක්‍රමිකතා, නොසැලකිලිමත් ක්‍රියාකාරකම් ආදිය කොපමණද? මේ සතියේදී කෝප් කමිටුව අබියසට කැඳවූ ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් වසර හතක් තිස්සේ සිදු කරන ලද බරපතළ නොසැලකිල්ලක හෝ වෙනත් කවර හෝ හේතුවක ඵලයක් නිසා සිදු වූ පාඩුව රු. මිලියන 2300ක් බව හෙළි විය. එහෙත් ඒ පුවත විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල ප්‍රමුඛතාව දී පළ කරද්දී එයට සම්බන්ධ තක්කඩි නිලධාරීන් සිය නිවෙස්වල කොක් හඬලමින් සිනා සෙන්නට ද ඇත. තවත් දවසක් දෙකක් භාග වෙලාවට ඒ ගැන කතා කරන අය ද එය අමතක කර දමනු ඇත. මේ එක නිදසුනක් පමණි. මේ වර්ගයේ නිලබල ගැන කොපමණ වාර්තා තිබේ ද? විදුලිය, තෙල්, වරාය ඇතුළු ආයතන ගණනාවක් පිළිබඳ සමාජගත වී තිබෙන දූෂණ, අක්‍රමිකතා කොතරම් ද? මේ අතර විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින කීපයකට පෙර ලබාදෙන ලද තීන්දුවකින් ද තහවුරු වූයේ මෙරටේ තිබෙන විදුලි මාෆියාව හා සම්බන්ධ තත්ත්වය බව පැහැදිලිය. මෙහිදී විදුලිබල මණ්ඩලයට ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙස ද නියම කර ඇත. රටේ බරපතළ විදුලිබල අර්බුදයක් තිබෙන පසුබිමක එයට කිසියම් විසඳුමක් ලබාදීම සඳහා ඉදිරිපත් වූ සූර්ය පැනල ව්‍යාපෘතියකට බාධා කිරීම ජනතාවගේ මූලික අයිතිය කැඩීමක් බව ද ප්‍රකාශ විය. මෙයට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව ක්‍රියා කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්විණි. සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට බාධා කළ නිලධාරීන්ට එරෙහිව අදාළ ඇමැතිවරයා මෙන්ම ආණ්ඩුව ද ගන්නා පියවර ගැන ද විමසිල්ලෙන් සිටිය යුතුය. මේ ආයතනයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි ජනතා අප්‍රසාදයක් ද තිබෙන බව මෙහිදී සිහිපත් කළ යුතුය. මේ නිලබල බිඳීම අද අත්‍යවශ්‍යය.

කෙසේ වුවත් මෙරටේ ජනතා අප්‍රසාදයට ලක්ව තිබෙන බොහෝ රාජ්‍ය ආයතනවල නිලබලවල අනම්‍ය ස්වරූපයත් දූෂණ චර්යාවනුත් පිළිබඳව ආණ්ඩුවේ ආයතනයක් වන දූෂණ හා අල්ලස් විමර්ශන අංශයේ අවධානයක් යොමු නොවන තරම්ය. වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන විසින් දූෂණ මෙන්ම අල්ලස් චෝදනා ද ඉදිරිපත් කරනු ලබන අවස්ථා මාධ්‍යවල ද වාර්තා විය. එහෙත් ඒ දූෂණ, වංචා කළ පිරිස්වලට එරෙහිව ගත් පියවරක් නැත. මෙබඳු අල්ලස් හා දූෂණ නඩු ගණනාවක්ම ඉල්ලා අස් කර ගෙන ඇති බව ද මාධ්‍යවල පළ විය. තවත් නඩු තාක්ෂණ හේතු නිසා විසිවී ගොස් ඇත. මෙබඳු රටක හොරුන් රජවීම අරුමයක්ද? දේශපාලනය, නිලධාරි තන්ත්‍රය යන දෙතැන්හිම ක්‍රියාකාරකම් දූෂිත බවට තිබෙන චෝදනා සුළුපටු නැත. මෙම දූෂණ හා වංචා චෝදනා පෞද්ගලික ආයතනවල ද මහා පරිමාණයෙන් සිදුවන බව ද රටම දන්නා රහසකි. ඇත්ත වශයෙන්ම මහජන මුදල් ගසා කෑම සම්බන්ධයෙන් චෝදනාවක් නැති රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක් තබා පන්සලක් හෝ පල්ලියක්වත් තිබේද යන්නත් අපි නොදනිමු.

මේ වනවිට විවිධ චෝදනා විවේචන එල්ල වී තිබෙන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන දින කීපයකට පෙර පාර්ලිමේන්තුවේදීත් සංවාදයට ලක් විය. ක්‍රීඩා ඇමැතිවරයාට හෝ අවනත නොවන කාලයේ බලයක් ක්‍රිකට් පාලකයන්ට තිබේද? කුමක් වුවත් ක්‍රිකට් නමින් ලැබුණු මුදල්වලින් ඒ නිලධාරීන් විසින් සුඛ විහරණ ලබාගන්නා ලද බවට නම් ප්‍රබල චෝදනා තිබේ. මහත්වරුන්ගේ ක්‍රීඩාව මහත් හොරුන් රැළකට හසු වී තිබීම පසුපස තිබෙන දේශපාලනය ගැන ද ඇසෙයි.

විගණන වාර්තාවල මෙන්ම විවේචකයන්ගේ තොරතුරුවලින් තහවුරු වන්නේ මහා මුදල් කන්දරාවක් හිතුමතයට පරිහරණය කරන අහංකාර නිලබල පිළිබඳ මුග්ධ හැසිරීමකි. මේ චෝදනා විමර්ශනය සඳහා ජනාධිපති කොමිසමක් පත් කළ යුතු යැයි ද විපක්ෂයෙන් යෝජනා විය. කොමිසම්වලට වඩා චෝදනාවලට සාක්ෂි තිබේ නම් මහත්හොරුන් තෝරා ගැනීමට උචිතම නීතිමය පියවරකි. මෙරටේ බොහෝ ආයතන කුණු වී ඕජස් ගලන බව සැබෑවක් නම් ක්‍රිකට් වැනි ධන නිධානයක් අතට පත් අය කෙසේ හැසිරෙනු ඇද්ද? ඒ සියල්ල පසෙක තිබේවා. අද මෙම ක්‍රීඩාවේ තත්ත්වය කුමක්ද?

මේ වාද විවාද ආන්දෝලන සමාජ දේශපාලන අංශ කළඹවද්දී ආණ්ඩුව කුරුමානම් අල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තවත් සීමා කිරීමට ද යන උභතෝකෝටිකය ද යළිත් මතු වෙයි. නව ත්‍රස්ත පනත ගැසට් කිරීම හා සමාජ මාධ්‍ය පාලනය සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන කමිටුවක් ද යෝජනා වී තිබේ. නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙන්ම වෙනත් සිවිල් සංවිධාන විසින් ද ආණ්ඩුවේ මෙම සූදානම අනතුරක පෙර නිමිත්තක් ලෙස පෙන්වා දෙයි. සමාජ මාධ්‍යවලට මෙන්ම වෙනත් ඕනෑම මාධ්‍යයකට ද සමාජ වගකීමක් තිබේ. වෛරය, ගැටුම්, භේද උත්සන්න වන පුවත් පළ කිරීම කිසිම පදනමක් යටතේ සාධාරණීයකරණය කළ නොහැක. එබඳු අසත්‍ය ගිනිවලින් සමාජය අවුලන අයට දඬුවම් දිය යුතුය. අද තිබෙන නීතිය ඒ සඳහා ප්‍රමාණවත් බව ද සමහරු කියති. කුමක් වුවත් මෙබඳු ජාතික වැදගත් කරුණක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී අදාළ ක්‍ෂේත්‍රවල අදහස් විමසා බැලිය යුතුව තිබිණි. මේ සූදානම ජනතාවගේ හඬ නිහඬ කිරීමට බව ද දේශපාලන අංශවල විවේචනය වී තිබේ. අද සමාජ මාධ්‍ය භාවිතය පුළුල්ය. එහිදී අසාධාරණ හා අසංවේදී ප්‍රතිචාර ද තිබේ. එහෙත් ඒ සියල්ල ආණ්ඩුවේ පාලනයට යටත් කිරීම කවර ප්‍රජාතන්ත්‍රවාදයක්ද?

මෙහිදී ආණ්ඩුව උනන්දු වන නව ත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද විමසා බැලිය යුතුය. ඇත්ත වශයෙන්ම එම පනත ගෙන එනු ලබන්නේ ත්‍රස්තවාදී පෙළඹවීම්, ක්‍රියාකාරකම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නම් කිසිවෙකුට එයට විරුද්ධ විය නොහැක. එහෙත් ආණ්ඩුව එහිදීත් ප්‍රජාතන්ත්‍රවාදී හා මනාව හිමිකම් මර්දනයට උචිත නීතිරීති යොදා ගන්නේ නම් එබඳු පනතකට ද ඉඩදිය යුතු නැත. දින කීපයකට පෙර සූදානම් වූ තිලීපන් සැමරුම නවත්වාලීමට ආණ්ඩුව ගත් පියවර නිවැරදිය. එහි ගුප්ත අරමුණ යළි ඊළාම්වාදයට අනුබල දීමකි. තිලීපන් මිය යෑම, ඔහු ප්‍රභාකරන්ගේ ගුණ්ඩුවක් ලෙස භාවිත වීම සම්බන්ධ විවේචන
ගණනාවක්ම තිබේ. කුමක් වුවත් ජාතිවාදී තුවාල අලුත් කිරීමට නම් ඉඩ දියයුතු නැත.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment