ඩයනා – සුජිත් – රෝහණගේ පැමිණිලි ගැන පොලිස් විමර්ශන – කථානායක උපදෙස් මත

75

රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි තුන කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ඉදිරිපත් කර ඉදිරි විමර්ශන සඳහා උපදෙස් ලබාගැනීමට පොලිසිය කටයුතු කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මිය වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර සුජිත් පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන් මිරිහාන පොලිසිය වෙත පැමිණිලි 2ක් ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ මෙම ගැටුම්කාරී සිද්ධිය පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සිදුවූ බැවින් ඉදිරි විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ලබාගැනීමට කථානායකවරයාගේ උපදෙස් ලබාගන්නා බවයි.

ඉකුත් සිකුරාදා (20 දා) පාර්ලිමේන්තුවේ පුස්තකාලය ඉදිරිපිට විදුලි සෝපානය අසලදී ඩයනා ගමගේ මහත්මිය සුජිත් පෙරේරා සහ රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරුන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබිණි.

මෙම සිද්ධියෙන් පසු ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු පෙරේදා (21 දා) ඉන් පිටව ගියාය.

මිරිහාන සහ වැලිකඩ පොලිසි මේ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි විභාග කරගෙන යයි.
හේමන්ත රන්දුණු, නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment