නිලධාරීන්ගේ හිඟයෙන් ලිපිගොනු 12,000ක් පොලිස් කොමිසමේ හිරවෙලා

178

පොලිස් නිලධාරීන්ගේ රාජකාරි ගැටලු සම්බන්ධ ලිපිගොනු 12,000 ක් (දොළොස්දාහකට වැඩි ප්‍රමාණයක්) පොලිස් කොමිසම තුළ ගොඩගැසී තිබෙන බව එම කොමිසමේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට ඊයේ (03 දා) පැවසීය.

මෙම කොමිසමේ නිලධාරීන් මෙන්ම සේවකයන් 28 දෙනකුගේ ද හිඟයක් ඇතැයි පැවසේ. මෙම තත්ත්වය මැද පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් සහ තනතුරු පිළිබඳව ගැටලු මෙතෙක් නොවිසඳී එසේම පවතින බව කොමිසම කියයි.

ඇතැම් නිලධාරීන් කොමිසමෙන් සහනයක් ඉල්ලා ඒවා තිබෙන ලිපිගොනු පවා සේවක හිඟය හේතුවෙන් පොලිස් කොමිසමේ ගොඩගැසී තිබේ.

මේ අතර දැනට සතියකට පමණ පෙර ජීවන් තොණ්ඩමන් ඇමැතිවරයා බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධිය පිළිබඳව ද පොලිස් කොමිසම, පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇතත් මේ වන්තුරුත් පොලිස්පතිවරයකු පත්කර නොතිබීම හේතුවෙන් එය ද ප්‍රශ්නයක් වී තිබේ.

කිසිදු දේශපාලනඥයකුට පොලිස් රාජකාරි කටයුතුවලට අතගැසීමට පොලිස් කොමිසම ඉඩ නොදෙන අතර දේශපාලනඥයන්ගේ අවශ්‍යතා මත පොලිස් ස්ථානාවලට නිලධාරීන් පත් කිරීමට පොලිස් කොමිසම මැදිහත් නොවන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
නෝමන් පලිහඩවන

advertistmentadvertistment
advertistmentadvertistment