අර්ජුන් ඇලෝසියස්ට රට යෑමට අවසර දෙන්න එපා

366

නීතිපති උසාවියෙන් ඉල්ලයි

බැඳුම්කර නඩුවේ හතර වන විත්තිකාර අර්ජුන් ඇලෝසියස් විසින් මින් පෙර විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් පනවා තිබූ ඇප කොන්දේසියක් උල්ලංඝනය කර ඇති බැවින් ඔහුට විදේශගත වීමට අවසර නොදෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා ඊයේ (25දා) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.

ඔහු ඇතුළු විත්තිකරුවන්ට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් 2021.04.01 වැනිදා ඇප ලබාදීමේදී ඔවුන් ලබාගෙන ඇති විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙස හා ඒ සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ මගින් අධිකරණයට කරුණු තහවුරු කරන ලෙස නියෝග කොට ඇත. මෙම විත්තිකරු තමාට ඔස්ටේ්‍රලියාවෙන් නිකුත් කළ විදේශ ගමන් බලපත්‍රයක් ඇති බව අධිකරණයට වසන් කොට ඇතැයි ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා පැවැසීය.

එම නඩුව ඊයේ (25දා) දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න හා මොහොමඩ් ඉසර්ඩීන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි. එම විත්තිකරු ඔස්ටේ්‍රලියානු විදේශ ගමන් බලපත්‍රයේ අංකය අධිකරණයට හෝ පැමිණිල්ලට ලබාදී නැත්තේ වෙනත් අරමුණකින් බව පැවසූ උදාර කරුණාතිලක මහතා ඒ අනුව එම විත්තිකරු පැමිණිල්ලට හෝ අධිකරණයට කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි අයකු බව පෙනී යන බව පැවැසීය.

සිය දරුවන් දැකබලා ගැනීම සඳහා විදේශගත වීමට විත්තිකරු අධිකරණයෙන් අවසර ඉල්ලා ඇතත් ඔහුගේ වැඩිමහල් දියණිය පසුගිය සිවු වසර තුළ අවස්ථා 22කදී ශ්‍රී ලංකාවට පැමිණ ගොස් ඇති බව අනාවරණය වී ඇති බව පෙන්වා දුන් උදාර කරුණාතිලක මහතා අනෙකුත් දරුවන් දෙදෙනාගේ විදේශ ගමන් බලපත්‍ර පිළිබඳ කිසිදු තොරතුරක් ලබාදී නොමැති නිසා ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ ගියේ දැයි කිසිම කරුණක් අනාවරණය කර ගැනීමට නොහැකිවූ බවද කියා සිටියේය.

සිය සේවාදායකයා ඉල්ලා සිටිනුයේ මාසයක් වැනි කෙටි කාලයකට විදේශගත වී දරුවන් හා බිරිඳ සමග ගතකර පැමිණීමට බවත්, එකී මානුෂීය ඉල්ලීම පිළිබඳ අධිකරණයේ අවධානය යොමුකරන ලෙසත් නීතිඥ හෆිල් ෆාරිස් මහතා සමග විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment