ගෝඨා පත්කළ කොමිසමේ නිර්දේශ අවලංගුයි

483

යහපාලන රාජ්‍ය පාලන සමයේ සිදුවූයේ යැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට හා ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව හිටපු අගමැති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පෙත්සම්කරුවන් සම්බන්ධයෙන් ලබාදුන් සියලුම නිර්දේශ බලරහිත කරමින් අභියාචනාධිකරණය ඊයේ (25දා) රිට් ආඥාවක් නිකුත් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා, නීතිඥ ජේ. සී. වැලිඅමුණ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන් ගොනු කර තිබූ එම පෙත්සම් සම්බන්ධයෙන් විභාගය පැවැත්වූ අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී. එන්. සමරකෝන් සහ මොහොමඩ් ලෆාර් තාහිම් යන මහත්වරු එම නියෝගය කළහ.

එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස එම ජනාධිපති කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රමුඛ කොමිෂන් සභාවේ සාමාජිකයන් එම කොමිෂන් සභාවේ ලේකම්වරිය ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

2015.01.08 වැනිදා සිට 2019 ජනාධිපතිවරණ පැවැති දිනය තෙක් සිදුවූයේ යැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාව ලබාදුන් නිර්දේශ මගින් තමන්ට බලවත් අගතියක් සිදුවී ඇති බැවින් එකී නිර්දේශ බලරහිත කරන්නැයි පෙත්සම්කරුවන් විසින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

එම පෙත්සම් පසුගිය වසරේ පෙබරවාරි අට වැනිදා කැඳ වූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා කරුණු දක්වමින් එකී නිර්දේශ නැවත සලකා බැලීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුව පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු හා අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකුගෙන් සමන්විත කමිටුවේ කාලය දීර්ඝ කර නොමැති බව පෙන්වා දුන්නේය. කෙසේ නමුත් අධිකරණයේ අභිමතය පරිදි වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කර පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් තමන් විරුද්ධ නොවන බවද නීතිපතිවරයා පැවැසීය. පෙත්සම්කාර පාර්ශවයේ ඉල්ලීම් මත විභාගයක් පැවැත්වීමට විනිසුරු මඩුල්ල තීරණය කොට තිබිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා වෙනුවෙන් විදානපතිරණ නීතිඥ සමාගමේ නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා, ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහත්වරුන් පෙනී සිටි අතර නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment