අයිඑම්එෆ් සරණ යන සියල්ලන් එක මිටට පැරදවිය හැකි නව දේශපාලන බලවේගයක් නිර්මාණය වෙමින් පවතිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

70

දේශපාලනයේ හසරක් නොදැන කරන හොරු ඇල්ලීමේ බහු නාටකවල ගොදුරු බවට පත් නොවන ලෙසත් දේශපාලන වේදිකාවල සුරංගනා කථාවලට ඇහුම්කන් දී මේ රටේ අනාගතය පරදුවට නොතියන ලෙසත් ජාතිකවාදී, ප්‍රගතිශීලී, දෑහිතකාමී සියලු‍ ජනතාවගෙන් ඉල්ලා සිටි උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, ඒ සියලු‍ ජනතාවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සරණ යන සියල්ලන් එක මිටට තබා පැරදවිය හැකි නිර්මාණය වෙමින් පවතින නව දේශපාලන බලවේගය සමඟ සිටගන්නා ලෙස ඇරයුම් කර සිටී.

”‍77න් ඇරඹි පරාධීන ආර්ථික මාවතෙන් ගැලවීමට එක්වව්!”‍යන තේමාව යටතේ උත්තර ලංකා සභාගය කැඳවා තිබූ ”‍ජන පෙළගැස්ම”‍ විශේෂ ජන සමුළුව අමතමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය. එම විශේෂ ජන සමුළුව ඊයේ(23) මහරගම තරුණ සේවා සභා ශාලාවේ දී මුළු දුන්නේ ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

මේ ආර්ථික අර්බුදය නිවැරදිව විග්‍රහ කරගත් කිසිවෙකුටත් බැහැ IMF එක වන්දනා කරමින් ඉන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයාත්, සජිත් ප්‍රේමදාස මහත්තයාත්, අනුර කුමාර මහත්තයාත්(සාකච්ඡාවලට හඳුන්නෙත්තිව යවමින්) IMF වන්දනාවේ යෙදෙනවා. ‘අපි ආවත් IMF එකත් එක්ක ගනුදෙනු කරනවා‘ කියලයි හඳුන්නෙත්තිලත් කියන්නේ. විදේශ විනිමය නිදහසේ එහේ මෙහේ යන එකට බාධා කරන්න බැහැ‘ කියලා IMF එක තමයි කියන්නේ. ඉන්දියාවේ වගේම අපෙත් කලින් තිබුණු විදේශ විනිමය පනත අනුව මාස තුනක් ඇතුළත උපයපු විදේශ විනිමය රට තුළට රැගෙන එන්න ඕනෙ. නැතිනම් අපරාධ වරදක් සේ සලකා නඩු පැවරිය හැකියි. අපේ විදේශ විනිමය පනතින් ඒ ප්‍රතිපාදනය ඉවත් කළා. දැන් අපේ රටේ විදේශ විනිමය උපයන අය ඒවා විදේශ රටවල පාක් කරනවා. ඒ අනුව නැති විදේශ විනිමය අර්බුදයක් නිර්මාණය කළා. ඒ විදේශ විනිමය අර්බුදය නිසා තමයි IMF එක ශ්‍රී ලංකාවේ බෙල්ල මුලින් අල්ලා ගත්තේ. ඒ අනුව පැහැදිලියි, IMF සරණං ගච්ඡාමි‘ කියන රනිල්, සජිත්, අනුර යන ඔය කවුරු බලයට ආවත් මූල්‍ය අරමුදලේ පදයට නටනවා හැර මේ අයට වෙන උත්තර නැහැ. IMF පදයට නටන්නේ නැති, රටේ පදයට, ජාතියේ පදයට, අනාගත දරු පරපුරේ පදයට නටන බලවේගයක් තමයි අද ජනතාව ඉල්ලන්නේ. ලෝකයේ ඇති වන නව බල වෙනස්කම් දිහා බලලා, ඒ නව ප්‍රවණතා සමඟ එකට හිටගන්න පුළුවන් දේශපාලන බලවේගයකට විතරයි මේ වැටිලා තිබෙන ආර්ථික ප්‍රපාතයෙන් මේ රට ගොඩගන්න පුළුවන්.

advertistmentadvertistment
advertistmentadvertistment