ජාතික උරුමයන්ට හොර ඔප්පු ලියන අන්තවාදී දේශපාලනය

231

මේ සමාජ – දේශපාලන ක්‍ෂේත්‍ර උණුසුම් කළ සිදුවීම් බහුල සතියක අවසානයකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් බව පැවසෙන හිටපු ඇමැතිවරුන් ප්‍රමුඛ කණ්ඩායමක් අතර උද්ගත වී තිබෙන සීතල යුද්ධයේ ගිනි පුපුරු කීපයක් විසිවෙද්දී එහි නිර්මාතෘ බැසිල් පැමිණ ඒවා නිවාදැමීමට දැරූ ප්‍රයත්නය කැපී පෙනෙන සිදුවීමක් විය. අනෙක් ප්‍රධාන සිදුවීම වූයේ ජනාධිපති රනිල් හා දෙමළ සන්ධාන නියෝජිතයන් අතර පැවැති හමුවක දී මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධයෙන් මතු වූ උභතෝකෝටික ප්‍රශ්නයකින් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගලට ඉල්ලා අස්වී යෑමට සිදුවීමය. මේ හැරුණු විට ආර්ථික ක්‍ෂේත්‍රය කැළඹු සිදුවීමක් ද විය. ඒ මහාචාර්ය වසන්ත අතුකෝරළ විසින් ලෝක ආහාර සුරක්‍ෂිතතාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සමීක්‍ෂණ වාර්තාවක් උපුටා දක්වමින් කරන ලද අනාවරණයකි.

මෙරටේ ආර්ථිකය සම්බන්ධයෙන් ආණ්ඩුවත් ආණ්ඩුවේ ප්‍රචාරක අනුග්‍රාහකයන් විසින් මවන ලද චිත්‍රය බිඳ වැටීමට ඒ වාර්තා හේතු විය. පවුල් ලක්ෂ 75කට නිසි ආහාර වේලක් නොමැති, තවත් පවුල් ලක්‍ෂ 37කට පමණ ආණ්ඩුවේ සහනාධාරයක් යැදීමට සිදුවී තිබෙන රටක ආර්ථිකයක් ගැන උද්දාමයට පත් විය නොහැක. එහෙත් ඒ සත්‍යය හෙළිවීම ආණ්ඩුවට දරා ගත නොකිවීම ද අපට වටහා ගත හැකිය. එසේම ඒෂියා ආයතනයක් විසින් කරන ලද සමීක්ෂණයකදීත් එබඳුම ඍණ වාර්තා ඉදිරිපත් විය. රටේ දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත්වන 81%ක්ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව බවද එහි සඳහන් විය. මේ වාර්තා ජනාධිපති මාධ්‍ය අංශය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත. ඒවා එම ක්‍ෂේත්‍රවල ප්‍රාමාණිකයන්ගේ අවධානයට යොමු විය යුතුය.

කෙසේ හෝ ආණ්ඩුව හා එහි ප්‍රධාන පාර්ශ්වය අතර උද්ගතව තිබෙන සීතල යුද්ධයෙහි විපත වළක්වා ගැනීමට පොහොට්ටුවේ ප්‍රබලයා වන බැසිල් රාජපක්‍ෂ ඉදිරිපත්වීම සුවිශේෂ සිද්ධියකි. ඇත්ත වශයෙන්ම ජනාධිපති රනිල් දැවැන්ත ජනතා විරෝධයකට ලක්වූ ගෝඨාභය පාලනය බිඳ වැටීමෙන් පසු ඒ පාලන අභියෝගය භාරගත් නායකයා විය.

ගාලු මුවදොර අරගලය නිර්දය ලෙස මැඬලූ ජනාධිපති රනිල් යළිත් පොහොට්ටුවට දේශපාලන කටයුතු සඳහා යෝග්‍ය වට පිටාවක්ද සකසා දුන් බව රටම දනී. ඒ වෙනුවෙන් පොහොට්ටුවේ හිටපු ඇමැතිවරුන්ගේ ප්‍රශංසා, කෘතවේදීත්වය පළවූ ආකාරය ඇත්තටම ප්‍රහසනයක් වැන්න. එදා සිය ප්‍රතිවාදියා ලෙස උපහාසයට පමණක් නොව අපහාසයට ද ලක්කළ එජාප නායකයාව සිටි රනිල් තම ගැලවුම්කාරයා බවට පත්වීම පොහොට්ටුව මුහුණ දුන් සරදමක් විය. ජනාධිපති ධුරයට පත් රනිල් පොහොට්ටුවෙන් කැබිනට්ටුව තෝරා ගනිද්දී ඉතා බුද්ධිමත්ව කටයුතු කළ බව අපගේ අදහසය. පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් යැයි කියැවෙන කිසිවකුට අවම වසයෙන් සිය ජනාධිපති ධුරයෙහි සිටි ගෝඨාභය රඳවා ගැනීමට තරම්වත් දේශපාලන පරිචයක් නොවීය. ඔවුන්ට ජනාධිපතිවරයා සවන් දුන්නේ නැති බව දැන් ඔව්හු පවසති. එහෙත් ඇමැතිවරුන් ලෙස ඔවුන් විසින් පළකරන ලද අසාර්ථකත්වය ද ගෝඨාභයගේ පසුබැසීමට හේතු වූ බව නිසැකය. නූතන දේශපාලන සමාජයට මේ බොහෝ චරිත වැදගත් නොවන බව ජනාධිපති රනිල් හොඳින් දනී. පොහොට්ටු ලේකම්ගේ ජ්‍යෙෂ්ඨතා සුදුසුකම නොතකා හැරීමට ජනාධිපතිට බලපෑ ප්‍රධාන හේතුව එය බව අපගේ අදහසය.

ජනාධිපති රනිල් අද මෙරටේ දේශපාලනයේ ප්‍රබුද්ධම චරිතය බව ඔහුගේ ප්‍රතිවාදිහු ද පිළිගනිති. ජාත්‍යන්තර වසයෙන් ද ඔහු අබිබවා යා හැකි නායකයෙක් පොහොට්ටුවේ නොවෙති. ඔහු පොහොට්ටුව වෙනුවෙන් කළ සේවය ද සුළුපටු නැත. ජනතාවගෙන් එල්ල වූ විරෝධය තුනී වීමත් සමග පොහොට්ටුව අපේක්‍ෂා කළේ එදා නතර වූ තැනින් යළි පටන් ගැනීමය. එහෙත් ඒ සඳහා ඔවුන් බල ගැන්වීම ප්‍රතික්‍ෂේප කළ ජනාධිපතිවරයා ඔහුගේම දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේය. පාර්ලිමේන්තුව අනුමත කළ 21 වැනි සංශෝධනයට පවා ජනාධිපති රනිල් සීමා කිරීමට නොහැකි විය. මේ වනවිට රාජ්‍ය නායකයා ලෙස ඔහු විසින් ගොඩ නඟා ගනු ලැබ ඇත්තේ ඔහුගේම දේශපාලන ගුරුවරයා වූ ජේ. ආර්. ජයවර්ධනට නොදෙවෙනි බලයකි. ව්‍යවස්ථාදායක සභාවට ද ඔහු අත පොවන බවට චෝදනා නැඟුණ.ි ස්වාධීන කොමිෂන් සභාවල පාලනය ඔහු යටතට පත්විය. ඔහුට අභියෝග කළ සභාපතිවරුන්ට ගෙදර යෑමට සිදුවිය. පළාත් පාලන මැතිවරණය අතුරුදන් කළ ඔහුට ඒවා යළිත් පක්ෂවලට පවරා ගැනීමට ද කළ මෙහෙයුම් හකුළා ගැනීමට සිදු වුවත් අද ඒ කිසිදු ආයතනයක මහජන නියෝජනයක් නැතිවන ආකාරයට ඔහු ක්‍රියා කර ඇත. පළාත් සභාවලට ඔහුගේම පක්‍ෂයේ ආණ්ඩුකාරවරු පත්කර ගනිමින් ද සිටිති. කොටින්ම පොහොට්ටුව අනුමත කළ ගෝඨාභය ජනාධිපති විසින් කරන ලද පත්වීම් පවා අවලංගු කරනු ලැබ ඇත.

ජාතික උරුමයන්ට හොර ඔප්පු ලියන අන්තවාදී දේශපාලනය

මේවා පොහොට්ටුව දරා ගන්නේ කෙසේද? ඔවුන් මතුරන හැටනව ලක්ෂයේ ජනවරමට ජනාධිපති දක්වන ප්‍රතිචාරය ඔවුන්ගේ පෘතග්ජන මනස ද දේශපාලන අහංකාරය ද නොඉවසීම පුදුමයක් නොවේ. ප්‍රතිත්‍රස්ත පනතට ද පොහොට්ටුව එකඟ නොවීය. එපමණක් නොව රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තියෙහි ප්‍රමුඛ ලක්ෂණය වන රජය ව්‍යවසාය කටයුතුවලින් ඈත්වීම සම්බන්ධයෙන් ද පොහොට්ටුවට ගැටලු තිබේ. නාමල් රාජපක්‍ෂ ඍජුවම එයට දැක්වූයේ නිෂේධනාත්මක ප්‍රතිචාරයකි. මෙබඳු ප්‍රතිපත්තිමය ගැටුම් කෙමෙන් වැඩෙමින් තිබිය දී පොහොටුවේ ප්‍රබලයෝ ජනාධිපතිවරයා විසින් කැඳවන ලද රැස්වීමක් වර්ජනය කළහ. එම රැස්වීම සඳහා කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් ද පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් ද ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබුණි. ටෙලිකොම් විකිණීම, මූල්‍ය අරමුදලේ ප්‍රතිචාර ආදිය සාකච්ඡා කිරීම එම හමුවේ ප්‍රධාන කරුණු අතර විය. එහෙත් එම හමුවට මහින්ද පොහොට්ටු ලේකම් සාගර, නාමල්, රෝහිත ජොන්ස්ටන්, එස්. එම්. චන්ද්‍රසේන, ගාමිණි ලොකුගේ, විමලවීර ඇතුළු දිස්ත්‍රික් නායකයෝ කිසිවෙක් එක් නොවූහ. ප්‍රසන්න, පවිත්‍රා, රමේෂ් එයට සහභාගි වූහ. මහින්දානන්දත් පැමිණ සිටි අතර පොහොට්ටුවේ ප්‍රබලයන් එය වර්ජනය කිරීම ජනාධිපති රනිල්ට නිකුත් කළ රතු එළියක් බඳු විය. මෙම වර්ජනයේ සැබෑ හේතුව කැබිනට් ඇමැතිධුර ලබා නොදීම වුවද පොහොට්ටුව ප්‍රකාශ කළේ එබඳු කැඳවීමක් පොහොට්ටු නායකත්වයේ අනුමැතියකින් සිදු විය යුතු බවය. දේශපාලන ඕපාදූපයක් ලෙස පැතිර ගිය කතාවකින් පැවසුණේ මෙම කැඳවීම ගැන නාමල්ගේ ද දැඩි විරෝධය ප්‍රකාශ වූ බවය. කුමක් වුවත් එනපොට හොඳ නැති බව බැසිල්ගේ දේශපාලන ඉවට දැනුණි. ඔහු වහා ඉදිරිපත්ව ජනාධිපති රනිල්ට යළිත් හොඳ රක්ෂණ සහතිකයක් ලබා දුන්නේය. යම් හෙයකින් ජනාධිපති රනිල් විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර පොහොට්ටුවට පාඩමක් ඉගැන්වීමට පෙළඹුන හොත් කුමකින් කුමක් සිදුවනු ඇද්දැයි දේශපාලන සූත්තරකාරයකු වන බැසිල්ට හැඟී යන්නට ද ඇත. පොහොට්ටුවේ කයිවාරුකාරයන් මොනවා පැවසුවත් තවමත් රාජපක්‍ෂවරුන්ගේ දේශපාලනයේ ඒරාෂ්ටකය අවසන් නැති වී බව ද බැසිල් මෙන්ම එහි නායක මහින්ද නොදනිතියි අපට කල්පනා කළ නොහැක. කුමක් වුවත් මේ එළැඹ තිබෙන්නේ ප්‍රභූ තාන්ත්‍රික දේශපාලනයේ අවසානය බවද අපට දැනේ.

දැන් අප අවධානය යොමු වන්නේ පසු ගිය දිනවල සමාජ දේශපාලන මෙන්ම සංස්කෘතික හා ආගමික ක්‍ෂේත්‍රවල ද දැඩි අවධානයට යොමු වූ පමණක් නොව සමාජය ම කැළඹීමකට ලක් කළ සිදුවීමක් පිළිබඳවය. ඒ සිද්ධියට පදනම් වූයේ මුලතිව් හි පිහිටි කුරුන්දි විහාරය සම්බන්ධ ගැටලුවකි. ජනාධිපති රනිල් හා දෙමළ සන්ධානයේ සුමන්තිරන්, රාසමානික්කම් ඇතුළු නියෝජිත පිරිසක් ද පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ඇතුළු නිලධාරීන් කීපදෙනෙක් ද සහභාගිවූ එම සාකච්ඡව උණුසුම් වූයේ කුරුන්දි විහාරය සතු ඉඩම් සීමාව අරභයා මතු වූ ප්‍රශ්නයක් නිසාය. සුමන්තිරන් ඇතුළු දෙමළ ජනතා නියෝජිතයන් එහිදී ප්‍රකාශ කළේ එම විහාරයට අයත් විශාල භූමි ප්‍රදේශය දෙමළ ජනතාවගේ ගොවිබිම් බවය. පුරාවිද්‍යා බලධාරීන් විසින් අතිරික්ත ඉඩම් ප්‍රමාණයක් එම විහාරයට වෙන්කර තිබෙන බවද ඔවුන්ගේ චෝදනා විය. අපගේ අවබෝධය අනුව එම ඉඩම් පිළිබඳ ප්‍රශ්නය දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් පමණක් නොව උතුරේ හා නැඟෙනහිර ද බොහෝ දෙමළ නායකයන් විසින් ඉතිහාසයට මෙන්ම බෞද්ධ උරුමයන්ට ද උඩින් පනිමින් නිර්මාණය කළ අවුලකි. එහිදී ඔවුන්ගේ අරමුණ වූයේ ජාතිවාදී දෘෂ්ටි කෝණයකින් ඒ ප්‍රශ්නය උණුසුම් කර දෙමළ ප්‍රජාව ද නොමඟ යැවීමටය. උතුරේ දෙමළ නිජබිම් හා දෙමළ අයිතිවාසිකම් හිලව්වට තබමින් ඔවුන් විසින් ගෙන යනු ලබන දේශපාලනය අපට අනුමත කළ නොහැක. අපගේ අදහස වන්නේ ජාතික උරුමයන්ට සංස්කෘතික බැඳීම් තිබිය හැකි වුවත් ඒවා සමස්ත ජනතාවගේත් මතු මතුව බිහිවන සියලු ලාංකිකයන්ගේත් පොදු උරුමයක්, ජාතික වත්කමක් බවය.

සිංහල දෙමළ භේදය යනු අදටත් ක්‍ෂණයකින් ඇවිළ වීමට හැකි ගිනි කන්දකි. මේ ගිනි කන්ද දසක තුනකට අධිකව ගොදුරු කරගත් සිංහල දෙමළ පමණක් නොව මුස්ලිම් ජන ජීවිත ද ලක්ෂ ගණනක් විය හැකිය. රට ම ලේ ගංගාවක් බවට පත් කළ වේළුපිල්ලෙයි ප්‍රභාකරන් මෙන්ම ඔහුට අනුබල දුන් දෙස් විදෙස් සියලු පිරිස් ඒ ඓතිහාසික මනුෂ්‍ය ඝාතනයේ විත්තිකරුවෝ බවට පත්ව සිටිති. මේ විනාශය දේශපාලනය වෙනුවෙන් යොදා ගත් සිංහල, දෙමළ, මුස්ලිම් නායකයන්ට තවමත් මේ ග්‍රාම්‍ය, ම්ලේච්ඡ වර්ගවාදයෙන් තම තමන්ගේ ජනතාව බේරා ගැනීමට නොහැකි වීම ජාතික අවාසනාවකි. ප්‍රභාකරන් නිහඬ කළත් ඒ වර්ගවාදී උමතුව තවමත් ඇතැම් දෙමළ නායකයන්ට තිබේ. දකුණේ නායකයන්ට වුවද මෙය කදිම දේශපාලන තුරුම්පුවකි.

මහාචාර්ය මනතුංග මෙම සාකච්ඡාවේදී ජනාධිපති රනිල්ගේ දෝෂ දර්ශනයට ලක් වන්නේ ඔහු සත්‍යය හා තම විෂය දැනුම මත පදනම් වී තොරතුරු ඉදිරිපත් කිරීම නිසාය. තම හෘදය සාක්ෂිය පාවාදීමට නොහැකි වූ මහාචාර්යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීම නිවැරදිය. එදා මිහිඳු මහ නාහිමියන් මිස්සක පව්වට වැඩම කර එවක රාජ්‍ය විචාල දෙවන පෑතිස් නිරිඳුන් සමග බුද්ධි පරීක්‍ෂණයක් සිදු කරද්දී මිහිඳු හිමියන්ට නිහතමානීව ප්‍රතිචාර දැක්වීම රජු ප්‍රවේශම් විය. එහෙත් රටේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති රනිල් කුරුන්දි විහාරය ගැන ප්‍රශ්න කරද්දී මහාචාර්ය මනතුංගට තිබුණු මානසික පීඩනය ඒ සංවාදවලින් මනාව පසක් කර ගත හැකිය. මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධයෙන් සුමන්තිරන්ලා කරන පටු පදනම් විරහිත කරුණ පිළිගැනීමට ඔහුට ඉඩක් නොවීය. මෙම ඉඩම් ප්‍රශ්නය සම්බන්ධයෙන් ගවේෂණයක් කිරීමට මීට පෙර සිටි පුරාවිද්‍යා බලධාරීන්ට ද සිදු වූයේ එයට එල්ලවූ දෙමළ නායකයන්ගේ අනිසි මැදිහත්වීම් නිසාය. මේ සඳහා විශේෂ කමිටුවක් ද පත් කර තිබුණි. මහාචාර්ය මනතුංග ඒ සාකච්ඡාවේ දී කතා කළේ ඒ සියලු වාර්තා, ශාස්ත්‍රීය තොරතුරු අනුව බැසගත් නිගමන මත බව පෙනුණි. එහෙත් රාජ්‍ය නායකයා එහි එක් පාර්ශ්වයක කරුණු මත රැඳෙමින් අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ඒ පුරාවිද්‍යා මායිම්ගල් ගලවා දැමීමට කරන යෝජනාව පිළිගත හැකිද? සුමන්තිරන්ලා සතුටු කිරීමට ජනාධිපති රනිල් කටයුතු කළේ දැයි අපට කිව නොහැක. එහෙත් එහිදී සුමන්තිරන්ලා සෑහීමකට පත් වූ බව නිසැකය. ඔහු සංස්කෘතික විෂය භාර ඇමැති විදුර වික්‍රමනායක එම ධුරයෙන් ඉවත් කරන ලෙස යෝජනා කිරීමට තරම් එඩිතර වී සිටියි. එයින් තහවුරු වන්නේ මේ අර්බුදය තමන්ට වාසි ලෙස විසඳා ගැනීමට සුමන්තිරන්ලා දරණ දුෂ්ට ප්‍රයත්තය නොවේද?

මහාචාර්ය මනතුංග කොන්දේසි විරහිතව සුමන්තිරන්ලාගේ මතවාද පිළිගත්තේ නම් ජනාධිපතිවරයාත්, මහාචාර්යවරයාත් යන දෙදෙනාට ම ගොඩයෑමට තිබුණි. එහෙත් එහි විපාකය කුමක් වීමට තිබුණා ද? ජනාධිපති රනිල් දෙමළ සන්ධානය සමග පවත්වන සාකච්ඡා පිළිබඳ සමහරුන් කරන දෝෂාරෝපණ අපට පිළිගත නොහැකි වුවත් සුමන්තිරන් හෝ විග්නේශ්වරන් වැනි දෙමළ නායකයන් පිනවීමෙන් මේ ජාතික හෝ සංස්කෘතික ගැටලු කිසිවක් විසඳා ගත නොහැකි බව ද අප අවධාරණයෙන් කිව යුතුය. ඇත්ත වසයෙන්ම උතුරේ ඡන්ද මල්ල පිළිබඳ මානසිකත්වයකින් මේ ගැටලු සමනය කිරීමට ද නොහැක. පසුගිය දිනක පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසා තිබුණේ ද උතුරු නැඟෙනහිර පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල ලබාදීම සම්බන්ධයෙන් වුවද තම පක්‍ෂය එකඟවී නැති බවය. එහිදී ඔහු තවදුරටත් පවසා ඇත්තේ ජනාධිපති රනිල් සමග පැවැති සාකච්ඡාවක දී එය බලතල ප්‍රශ්නය කතා කළ බවත්, 1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු මේ දක්වා පළාත් සභාවලට එම බලතල ලබා නොදුන්නේ කුමක් නිසා ද යන්න සොයා බැලිය යුතු බවත්ය. එදා ප්‍රකාශ වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් ජනවරමක් ලබා ගත යුතු බවකි. (2023 ජුනි 11 ඉරිදා) එසේ නම් ජනාධිපති රනිල් තම අභිමතය පරිදි එවැනි තීරණයකට එළැඹීම ද ප්‍රශ්නකාරී වනු ඇත. ඒ කුමක් වුවත් ජනාධිපති රනිල්ගෙන් තම ඉල්ලීම් හා අරමුණු දිනා ගත හැකි යැයි සුමන්තිරන්ලා කල්පනා කරන්නෙහිද?

පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් ජනාධිපති රනිල්ට ලිපියක් මගින් දන්වා ඇත්තේ ද කුරුන්දි විහාරයට අයිති ඉඩම් හිතු මතයට බෙදා දීමෙන් ජාතිවාදීන්ට ඉනිමං බැඳීමක් විය හැකි බවය. එසේම දැනටමත් කුරුන්දි විහාරයට අයිති ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගෙන භුක්ති විඳින අය සිටින බව ද මේධානන්ද හිමියෝ පවසති. ආණ්ඩුවත් සිංහල දෙමළ නායකකාරකාදීනුත් මෙබඳු අවස්ථාවක දී ඥානාන්විතව කටයුතු කිරීමට වගබලා ගත යුතු වෙති. උතුරේ අන්තවාදීන් ඒ ප්‍රදේශවල පුරාවස්තු විනාශ කරන බවට චෝදනාවක් ද තිබේ. විහාර දාගැබ් නටබුන් බුල්ඩෝසර් කරමින් හින්දු කෝවිල් ගොඩනඟන බවට ද චෝදනා ඇත. ඒවා දකුණේ අන්තවාදයට ද හොඳ අමුද්‍රව්‍ය වනු ඇත. ඇත්තට ම මේ අන්තවාදයත්, බෙදුම්වාදයත් සමනය කළ හැකි එකම විසඳුම සිංහල හා දෙමළ නායකයන් අතර එකඟතාවකින් කළ යුත්තකි. මුස්ලිම් නායකයන්ට ද මෙහිදී වගකීමක් ඇත. එහෙත් ජාතිවාදය හා ආගම්වාදය තවමත් මෙරටේ දේශපාලන භූමියෙහි ප්‍රබලම එහෙත් දුෂ්ටතම ආයුධවී තිබේ.

උතුරේ සිදුවන දේශපාලනය තුළ ජාතිවාදය හා ආගම්වාදය නඩත්තු කරන නායකයන්ට තවමත් පැවැතීමට හැකිවී ඇත්තේ දහසක් ආර්ථික හා සමාජ පීඩාවන් මැද හෙම්බත්ව සිටින අහිංසක දෙමළ ජනතාවගේ දේශපාලන අනවබෝධය නිසාම ය. දේශපාලන බලය සඳහා පමණක් උතුරට දිව යන දෙමළ නායකයෝ ද සිටිති. ඔවුන්ගේ පවුල්, කොළඹ සුපිරි ජීවිත ගෙවන බව මේ ජනතාවගෙත් සෑහෙන පිරිසක් නොදනිති. එසේම ඒ දෙමළ ප්‍රභූවරුන් අතර පිටරටවල සුව පහසු ජීවිත ගෙවන අයද සිටිති. ඊළාම් සටන් පැවැති කාලයේ මේ බොහෝ නායකයන්ට අනුරාධපුරයෙන් එහාට යෑමට තරම්වත් ධෛර්යක් නොවූ බව ද රහසක් නොවේ. කොටින්ම අදත් මේ උතුරු නැඟෙනහිර දේශපාලන බලයේ උල්පත ඒ පීඩිත ජන කොටස්ය. කුලවාදීන්ගේ ළිඳකින් දිය බිඳක් බීමට ද හින්දු කෝවිලකට යෑමට ද වරම් නැති මහපොළොව සමග ගැටෙන මහ සාගරය සමග පොර බදන අහිංසක දෙමළ ජනතාවට යුක්තිය සාධාරණය ඉටු කරදීමට අපේ ආණ්ඩුවලට සාධනීය වැඩපිළිවෙළක් නැත. දකුණේ නායකයන් බොහෝ විට දෙමළ ජාතිවාදයට කප්පම් ගෙවා බලය ලබාගැනීමට ඉතිහාසයේ මුළුල්ලේත් අදත් අඩු වැඩි වසයෙන් ක්‍රියා කළ ආකාරයත් ක්‍රියා කරන විලාසයත් අප තේරුම් ගත යුතුය.

උතුරු නැඟෙනහිර ප්‍රදේශවල පිහිටි ඉඩම් පසුගිය යුද සමයෙහි හමුදා විසින් අත්පත් කර ගන්නා ලද බව ද සත්‍යයකි. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගිය දිනක සඳහන් කළේත් සමහර ඉඩම් නිදහස් කර ඒ දෙමළ ජනතාවට ලබාදීමට පියවර ගත යුතුය. ජාතික ආරක්‍ෂාවට හානියක් නොවන පරිදි ඒ ඉඩම් නිදහස් කළයුතු බවද ඔහු පෙන්වා දී තිබේ. ඇත්ත වසයෙන්ම එය සාධනීය යෝජනාවකි. දසක තුනකට අධිකව අධ්‍යාපන, සෞඛ්‍ය වැනි ප්‍රමුඛ මානුෂික අවශ්‍යතාවක් තරම්වත් ඉටු කර ගැනීමට අසමත්වූ ජනතාවක් අදත් ඒ ප්‍රදේශවල වාසය කරති. ආර්ථිකයේ බොහෝ ප්‍රතිලාභ ඒ ජනතාව අතරට ගියේ ද නැත. උතුරේ ගොවියා ධීවරයා අදටත් සරණාගතයෝ වී සිටිති.

1972 ව්‍යවස්ථාව මෙන්ම 1978 ව්‍යවස්ථාවෙන් ද උතුරු නැඟෙනහිර ජනතාවට යුක්තිය ඉටු නොවූ බවට විවෘත චෝදනාවක් අදටත් තිබේ. රටේ සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික ආදී හැම ක්‍ෂේත්‍රයක්ම ගරා වැටීමට අමතරව උතුරු දකුණ භේදවීමට ද 1978 ව්‍යවස්ථාව හේතු වූ බව ද කියති. ඉන්දියාව ඉන්දු ලංකා ගිවිසුම බලයෙන් ලංකාවට පැටවීමට හේතු වූයේ ද 1978 ව්‍යවස්ථා හා දකුණේ අන්තවාදී වියරුව බවද ඇතැම් දේශපාලන විචාරකයන්ගේ අදහසකි. කොහොමටත් දෙමළ ජනතා හිත් බිඳී ඔවුන් අපෙන් ඈත් වූවා විනා අපට ළංවූයේම නැත. අදත් උතුරේ නායකයන් මෙන්ම සිවිල් ක්‍රියාකාරීන් ද දෙමළ ජන පීඩාව ගැන කියන්නට දුවන්නේ ඉන්දියාවටය. උතුරට අමතරව වතුකරය ද මේ දේශපාලන බලය වෙනුවෙන් වෙන්දේසි වේ.

කෙසේ හෝ කුරුන්දි විහාරය කේන්ද්‍ර කරගනිමින් උද්ගතවූ එමෙන්ම පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ගෙදර යැවූ මේ ප්‍රශ්නය ගැඹුරින් වටහා නොගෙන එම විහාරයේ මායිම්ගල් ගලවා දැමීම කිසිසේත් එම ප්‍රශ්නයට විසඳුමක් නොවන බවද කිව යුතුය. අප දැඩිව අවධාරණය කරන්නේ කිසියම් දේශයක කිසියම් භූමියක පුරාවිද්‍යා උරුමයන් දේශපාලනඥයන්ට, ආගමික නායකයන්ට කවර හෝ පුද්ගල පිරිසකට නැතහොත් සංවිධානයකට අයිති දේවල් නොව එම භූමියේ උරුමක්කාරයන්ට හිමිවිය යුතු ජාතික ධනයක් බවය. ඒ ඓතිහාසික උරුමයන්ට අලුතින් හොර ඔප්පු ලියන දේශපාලනඥයන්ගෙන් ඒවා බේරා ගැනීම සියලු ජනතාවගේම යුතුකම හා වගකීම බවය. ජාතිය, ආගම, සංස්කෘතිය යන කවර හංවඩුවකට හෝ රටක පුරාවස්තූන් අයිති වන්නේ ද නැත. දේශපාලන භාරකාරත්වයට සමස්ත ජනතාවගේ හිමිකාරත්වය සම්බන්ධ අධිපතිවාදී නිගමනවලට එළැඹිය නොහැකි බවද අපි මතක් කරමු.

අප දන්නා පරිදි මෙම කුරුන්දි විහාරය උතුරේ සාමාන්‍ය ජනතාවට නම් බරක් වී නොමැත. තිස් අවුරුදු යුද්ධයකින් පසුව වුවද උතුර උණුසුම් වන්නේ පටු වර්ගවාදීන් හා ඊළාම් බෙදුම්වාදීන්ගේ මුග්ධ ක්‍රියාකාරකම් නිසාය. ඊළාම්වාදී මළකඩ රැඳුණු උතුරේ ඇතැම් නායකයන්ට මේ පුරාවිද්‍යා උරුමයන් බෞද්ධ සංස්කෘතියට අයත්වීම ගැන වෛරයක්, නොරුස්නා හැඟීමක් තිබෙන බව ද නිසැකය. එහෙත් හින්දුන් බහුතරව ජීවත්වන ඉන්දියාව බුදු දහමට දක්වන ගෞරවය, ලැදියාව කෙබඳු ද? භාරතයේ බිහිවූ විශිෂ්ටතම හා උත්තම පුරුෂයා බුදුන් වහන්සේ බව නූතන ඉන්දීය පාලකයෝ පිළිගනිති. ඉන්දියාවේ රාෂ්ට්‍රපති භවනෙහි නැතහොත් ජනාධිපති මන්දිරයෙහි තැන්පත් කර තිබෙන්නේ ද ගුප්ත යුගයට අයත් බුද්ධ ප්‍රතිමාවකි. එහෙත් බෞද්ධයන් බහුතරයක් සිටින රටක බුදුන්ට බුදු දහමට කෙරෙන නිගරු, අපහාස නිමක් නැත. ඇතැම් ව්‍යාජ පණ්ඩිතයෝ ඒවා සාධාරණීකරණය කිරීමට පිටකය හා විනය අවිධිමත් ලෙස උපුටා දක්වමින් ද සිටිති. පුරාවිද්‍යා රක්ෂිතවලට අක්කර ගණන් වෙන් කරනු ලබන්නේ ද අර්ථයක් ඇතිවය. ඒ සඳහා සම්මත වූ පනත් ද තිබෙන බව එම ක්‍ෂේත්‍රයෙහි ප්‍රාමාණිකයෝ දක්වති. 1933 දී උතුරු පළාතේ පළමු පුරාවිද්‍යා රක්ෂිතය ලෙස ගැසට් කළ ඓතිහාසික කුරුන්දි විහාර භූමිය හඳුනා ගත්තේ බි්‍රතාන්‍ය පාලකයන්ය.

1905 දී පුරාවිද්‍යාඥ එච්. සී. පී. බෙල් මෙම කුරුන්දි විහාර පරිශ්‍රයට පැමිණ ගවේෂණයක් කළ බව ද සඳහන් වේ. ජේ. පී. ලුවිස් නම් වූ තවත් ඉංග්‍රීසි ජාතිකයෙක් විසින් ද මෙම කුරුන්දි විහාරයේ ඓතිහාසික වටිනාකම සම්බන්ධයෙන් වෙනම වාර්තාවක් ද සකස් කර ඇත. එබඳු පුරාවිද්‍යා භූමියකට එරෙහිව දෙමළ නායකයන් ඝෝෂා කළ පමණින්ම ඔවුන් සමග ඒ ඉතිහාසයට උඩින් පනින්නට අපේ දේශපාලන නායකයන්ට යුතුකමක් හා වගකීමක් ද නැත. පුරාවිද්‍යා උරුමයන් සුරකමින් උතුරේ ජනතාවගේ මානුෂික හා සාධාරණ ඉඩම් ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට බාධාවක් නැති බවද අවසන් වසයෙන් සඳහන් කළ යුතුය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment