හොඳම අවුරුදු නැකත ගැන රනිල් කියපු කතාවක්….

ඉදිරියේදී එන්නේ මහ මැතිවරණයක්ද නැත්නම් ජනාධිපතිවරණයක්ද යන මාතෘකාව මේ සතියේත් උණුසුම් මාතෘකාවක් විය. මේ රටේ මැතිවරණ සිතියමට අනුව නම් ලබන සැප්තැම්බර් මාසය වන විට මේ රටේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇත. එය ජනවාරියේ දෙවන සතියේ හෝ තුන්වන සතියේ පැවැත්විය යුතු යැයි පෙන්වා දෙන්නේ දේශපාලන විශේෂඥයෝය.

එහෙත් අද පවතින තත්ත්වය අනුව ආණ්ඩුව සමග ඒකාබද්ධව සිටින දේශපාලන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි කියා තීන්දුවක් නැත. සමගි ජන බලවේගය මේ වන විටත් තම ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසගේ නම ඉදිරිපත් කර ඇති පසුබිමක ජාතික ජන බලවේගය ද තම ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායකගේ නම යෝජනා කර ඇත. මේ දිනවල රට පුරා ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල හා රැස්වීම්වල ප්‍රගතිය මත මෙන්ම මේ වන විට කර ඇති පිළිගත හැකි සමීක්ෂණවල ප්‍රතිඵල අනුව ජනාධිපතිවරණයක් පැමිණියහොත් ජනමතය අනුව ඉදිරියෙන් සිටින්නේ සජිත් ප්‍රේමදාස ය. එහෙත් ඒ තත්ත්වය මේ රටේ ජනප්‍රිය බොහෝ සමාජ මාධ්‍ය විග්‍රහ කරන්නේ මාලිමාවේ අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායක මේ රටේ අනාගත ජනාධිපතිවරයා වනු ඇත කියාය.

එහෙත් දේශපාලනයේ හය හතර දන්නා බොහෝ දෙනකුට මේ තත්ත්වය ප්‍රහේලිකාවක් ඇත්තේ තවමත් ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ හෝ පොහොට්ටුව නොහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කවුද කියා තීරණයක් නොමැති නිසාය. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සඳහා ඉදිරිපත් වන්නට සූදානමින් සිටියත් පොහොට්ටුව ඒ සඳහා ඔහුට සහය දේ යැයි උභතෝකෝටිකය. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් කියන්නේ “අපි තවමත් ඒ ගැන තීන්දුවක් අරගෙන නැතැ”යි කියාය. එබැවින් ජනාධිපතිවරණය පැවැත්වේදැයි නැද්දැයි යන දෙගිඩියාව ජනතාවට තිබේ. මන්ද එය පවත්වනවාද නැද්ද කියා තීන්දු කරන්නට ද බලය ඇත්තේ ඒ කණ්ඩායම් දෙකට බැවිනි.

රටේ දේශපාලන වාතාවරණය මෙසේ පැවැතියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුපුරුදු සැහැල්ලුවෙන් කාලය ගත කළේය. ගමන් බිමන් ගියේය. විනෝද වූයේය. වෙනදාට වඩා උනන්දුවෙන් රටේ තොටේ වැඩකටයුතු ගැන සොයා බැලුවේය. විපක්ෂයෙන් කවර විවේචන ගෙන ආවත් රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් නොසැලී සිටිමින් ආර්ථිකය සවිමත් කිරීමේ කාර්යභාරය සඳහා නායකත්වය දුන්නේය. රටේ ජනතාවට බදු ගෙවීම් සහ වර්තමානයේ බඩු මිල තම ආදායමට සාපේක්ෂව ගෙවා ගැනීමට අසීරු බව ඔහු හොඳින් දැන සිටියේය. එහෙත් ඔහු පෙන්වා දුන්නේ මේ තත්ත්වය මීට වඩා නරක වනවාට මත්තෙන් ආපසු හරවා ගත යුතු බවයි.

පසුගිය සතියේ සඳුදා සුපුරුදු පරිදි කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය අවසන් වී මැති ඇමැතිවරුන් සමග සුහද කතාබහකට මුල පිරුවේය.

මෙවර අලුත් අවුරුද්ද සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නය මේ වෙලාවේ මාතෘකාවක් විය. අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමට හා ආහාර අනුභවයට නැකැත් කමිටුව විසින් ලබාදී ඇති නැකත බොහෝ දෙනකුගේ විරෝධයට හා හාස්‍යයට ලක්ව ඇති බව ජනාධිපතිවරයා ද දැන සිටියේය.

“කට්ටියක් ආහාර අනුභව කරන නැකතට තදින් විරුද්ධයි…” ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න පෙන්වා දුන්නේය.

“හොඳම නැකත තිබුණේ ලංකාවට නිදහස ගන්න වෙලාවේ. හොඳම නැකතට තමයි ඩී. එස්. සේනානායක මහත්තයා නිදහස ලබා ගත්තේ” ජනාධිපති රනිල් වික්‍රමසිංහ එසේ කියන විට එතන සිටි අය මුහුණින් මුහුණ බලා ගත්තේ මේ කියන්නේ කුමක්දැයි කියාය.

“රටට අවශ්‍ය නැකැත් හදලා දෙන්න ජාතික නැකැත් කමිටුව කියලා එකක් පත් කරලා තියෙනවා. එදා ඉඳලා අද දක්වා ඈපා පංචාංගය අනුව තමයි මිනිස්සු නැකත් බලන්නේ. ඒ අනුව තමයි මේ නැකත් හදලා තියෙන්නේ. නිදාගන්න ඕන වෙලාවෙ ආහාර අනුභවය වැටුණයි කියලා මේගොල්ලෝ කට්ටියක් විරුද්ධත්වය පළ කරලා තියෙන එක ගැන ආණ්ඩුව මොනවා කරන්නද…” ප්‍රසන්න රණතුංග කීවේය.

“සර් මොකද්ද හොඳම නැකතක් ගැන කියපු කතාව…” මහින්දානන්ද විමසා සිටියේය.

“ඕගොල්ලො දන්නවද දන්නෑ. අපිට නිදහස ලැබුණේ 1947 අගෝස්තු මාසයේදී. අපිටයි මියන්මාරයටයි එකට තමයි නිදහස දුන්නේ. ඒ උනාට එදා හිටපු අපේ නායකයා ඩී. එස්. සේනානායක ඉතා හොඳින් නැකැත් බලලා නිදහස ලබා ගැනීමේ උත්සවය සංවිධානය කළේ පෙබරවාරි මාසෙ හතරවෙනිදා හොඳම නැකතට. ඒකනේ මේ රට මේ මොන මොන ව්‍යසන තිබුණත් මොන මොන කැරලි තිබුණත් රාජ්‍යයක් වශයෙන් තවම පවත්වාගෙන යන්නේ. හැබැයි මියන්මාරය ඒවා ගැන කල්පනා කළේ නෑ…

ජනාධිපතිවරයා සඳුදා තම කාර්යාලයට ගියේය. පළමුව මාධ්‍ය කමිටුවට එදින කැබිනට් මණ්ඩලය මගින් නම් කළ මැති ඇමැතිවරු සමග සාකච්ඡා කළේය. ජනාධිපති ලේකම් සමන් ඒකනායක, කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, නිලධාරීන් වශයෙන් කමිටුවට එක් වූහ. ජනාධිපතිවරයාගේ අදහස වූයේ තවදුරටත් මෙම කමිටුව පුළුල් කිරීම ගැනයි. අගමැති දිනේෂ් ගුණවර්ධන සහ අනෙකුත් පක්ෂ නියෝජනය වන පරිදි මන්ත්‍රීවරු කීපදෙනෙක්ද නම් කරන ලෙස ඔහු ප්‍රසන්න රණතුංගට උපදෙසක් දුන්නේය. කමිටුව සෑම බදාදාවකම රැස්වෙන ලෙසත් එහි ප්‍රගතිය සෑම සඳුදාවකම කැබිනට් හමුවට පෙර තමන්ගේ ප්‍රධානත්වයෙන් පවතින රැස්වීමේදී ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

එහිදී කථානායකවරයාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාස භංග යෝජනාව ගැනද සාකච්ඡාවක් ඇති විය. විශ්වාස භංගය ජයගත හැකි පරිදි යෝජනා ඇතුළත් වාර්තාවක් ප්‍රසන්න රණතුංග මෙහිදී ජනාධිපතිවරයාට ලබා දුන්නේ මේ වන විට විදේශගතවී ඇති මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ද සමගය.

“මේගොල්ලෝ වහාම ගෙන්න ගන්න ඕන. පුළුවන් පුළුවන් අය දැන් සම්බන්ධ කරලා දෙන්න දුරකථනවලට.” ජනාධිපතිවරයා එසේ කීවත් රටවල්වල වෙලාවේ ඇති වෙනස්කම් මත එම කටයුත්ත ප්‍රායෝගික වූයේ නැත. ඒ අවස්ථාවේ විදේශ අමාත්‍යංශයේ ලේකම් අරුණි විජයවර්ධනට දුරකථන ඇමතුමක් ගෙන ජනාධිපතිවරයා ඇයට කීවේ තානාපති කාර්යාල හරහා වහාම අදාළ මැති ඇමැති මන්ත්‍රීවරු ගෙන්වා ගැනීමට පණිවිඩ ලබාදී පහසුකම් සලසන ලෙසයි.

“අද සඳුදා… හෙට හවස් වෙනකොට ඡන්ද විමසීමට මේ අය ගෙන්වගන්න බැරි වෙනවා.. ඇමරිකාවේ ඉන්න අය කොහොම එන්නද…” එය මතක් කළේ ප්‍රසන්න රණතුංගයි.

“විවාදයට වැඩි කාලයක් වෙන් කරන්න.”

“විවාදයට දින තුනක් ලබා දෙන්න කියලා විපක්ෂය ඉල්ලීමක් කරලා තියෙනවා…”

“හොඳයි එහෙනම් ඒ දින තුන ඒගොල්ලන්ට දෙන්නකෝ… එතකොට අපේ මිනිස්සු ටික ගාණට ලංකාවට ඇවිල්ලා ඉදියි… රනිල් එසේ ඉතා සැහැල්ලුවෙන් පැවසුයේ කදිම දේශපාලන උපායක් බව වැඩි දෙනෙක් තේරුම් ගත්තේ පසුවයි. ජනාධිපතිවරයාගේ උපායට අනුව පක්ෂ නායක රැස්වීමක් කැඳවා විවාදය පිළිබඳවත් ඡන්දය විමසීම පිළිබඳවත් සෙසු පක්ෂ නායකයන්ගේ අනුමැතිය ගැනීමට ප්‍රසන්නට සිදුවිය.

මේ අතරතුර සාගල රත්නායක ඉදිරි මැතිවරණ සංවිධාන කටයුතු ගැන වාර්තාවක් කමිටුව හමුවට ඉදිරිපත් කර සිටියේය. එහිදී ප්‍රශ්නයක් මතුවිය. ඉදිරියේදී එන්නේ ජනාධිපතිවරණයක්ද නැත්නම් මහ මැතිවරණයක් ද කියා පැහැදිලි තීන්දුවක් නොවීම ගැන කමිටු සාමාජිකයෝ කසුකුසු ගාන්නට වූහ.

“ඉදිරියේ එන්නේ මොන මැතිවරණයක්ද කියලා මන්ත්‍රීවරුන්ට ප්‍රශ්නයක් තියෙනවා සර්…” මහින්දානන්ද තත්ත්වය පැහැදිලි කළේය.

“මම ඒක කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දෙන්නම්.”

“ඒ උනාට සර් ඒක ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදීත් කියන්න පුළුවන් නම් තමයි හොඳ…” මහින්දානන්ද යළිත් කීවේය. එහෙත් රනිල් කිසිවක් කීවේ නැත.

රැස්වීම අවසන් වූ පසුව මන්ත්‍රීවරු කීපදෙනෙක්ම ජනාධිපතිවරයා ළඟට කිට්ටුවී තමන් වෙත ලැබී ඇති දැනුම් දීමක් හෙළිදරව් කළහ.

“පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට වහාම බදාදා දවල් නෙළුම් මාවත කාර්යාලයේ පැවැත්වෙන රැස්වීමට සහභාගි වෙන්න කියලා බැසිල් රාජපක්ෂ දැනුම් දීලා…” ඇතැම් අය මේ බව කියා සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය දැනගන්නටයි. එහෙත් කිසිවක් නොකියා අත් දෙක සාක්කු දෙකට දාගත් ජනාධිපතිවරයා සුපුරුදු සිනාවෙන් හා නිශ්ශබ්ද බවින් යුතුව යන්නට ගියේය.

විපක්ෂයේ සිඟිති ආතල් හා ජනපතිගේ උපාය

කථානායකවරයාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාස භංගය අඟහරුවාදා පාර්ලිමේන්තුව විවාදයට ගත්තේය. විපක්ෂය විසින් ඉල්ලූ දින තුනම මේ විවාදය සඳහා ලබා දෙන්නට කථානායකවරයා මෙන්ම රජය මේ තරං නොමසුරු වූයේ කෙසේද? මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් රහස දැන සිටියේ නැත.

කෙසේ වෙතත් විපක්ෂයේ සිටින අනෙකුත් පක්ෂවල නායකයෝ මේ ගැන සතුට පළ කළහ.

ඒ ඔවුන්ටත් කතා කරන්නට යම් කාලයක් ලැබේ යැයි ඇති සිතුවිල්ල නිසාය.

“හරි ඉතින්… දවස් තුනෙන් එකහමාරක කාලයක් අපේ විපක්ෂ නායකතුමා ගනී. ඉතුරු දවස් එකහමාරවත් අපි කට්ටියට බෙදලා දේවිනේ.”

“ඒ කියන්නේ මේ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ කතා කරන්නේ නෑ කියන එකද…” තවත් මන්ත්‍රීවරයෙක් ඇසීය.

“නෑ නෑ මම කතා කළේ විපක්ෂයට ලබා දෙන කාලයෙන් දවස් එකහමාරක කාලය එයා ගනී. ඉතුරු ටිකවත් අපට දෙයි කියලායි…” මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

එම කතා එසේ පැතිර යද්දී විවාදයට විපක්ෂය පැත්තෙන්ද ලොකු සූදානමක් ගෙන තිබිණ. කථානායකවරයා පිළිබඳ වැඩිපුරම ප්‍රශ්නය තිබුණේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාටය. කථානායකවරයා අණපනත්වලදී කටයුතු කරන ආකාරය ගැන සෙසු පක්ෂවල අයට එතරම් ප්‍රශ්නයක් නොවූයේ මොන ආණ්ඩුවක උනත් කථානායකවරයා පවතින ආණ්ඩුවට දක්වන සැලකිල්ල පිළිබඳ යථාර්ථය බොහෝ දෙනෙක් දැන සිටි නිසාය. ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ අපක්ෂපාතී කථානායකවරු පිළිබඳ කියවෙන අවස්ථා අඩුය. යම් යම් තීරණාත්මක තැන්වලදී පක්ෂග්‍රාහීව පවතින ආණ්ඩුවට උදව් කළ කථානායකවරු පිළිබඳ තොරතුරු බහුලය. ඉදින් වත්මන් කථානායක මහින්ද යාපා අබේවර්ධන ගැන ඉන් වෙනස් කවර කතාද…

කෙසේ වෙතත් කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය දිනීම ගැන යම් විශ්වාසයක් විපක්ෂයේ කණ්ඩායම් තුළ ලොකුවට තිබිණ. ඒ වන විට මන්ත්‍රීවරු රැසක් රට ගොස් සිටීමත්, විමල්ලා ඩලස්ලා ප්‍රමුඛ බහුතරයක් විපක්ෂයේ ස්වාධීන කණ්ඩායම් විශ්වාස භංගයට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට තීරණය කර තිබීමත් උනන්දුවෙන් විවාදයට සහභාගි වීමට කැමැත්ත පළ කර තිබීමත් නිසා සමහරු සිතුවේ මේ විශ්වාස භංගයෙන් විපක්ෂයට යම් වාසිදායක තත්ත්වයක් අත්වේවි කියාය.

පසුගිය අඟහරුවාදා දින උදෑසනම සහන් ප්‍රදීප්, මේජර් සුදර්ශන දෙනිපිටිය, කෝකිලා හර්ෂණී, තිස්ස කුට්ටිආරච්චි, මිලාන් ජයතිලක, ඩී. වීරසිංහ ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ආලින්දයේ කතා කරමින් සිටින විට ඒ අසලින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග සභාව දෙසට ඇවිද ගියේය.

“කට්ටියගේ සම්මන්ත්‍රණය මොකක් ගැනද?” ඇමැති ප්‍රසන්න ඇසුවේය.

“නෑ.. සර් විපක්ෂය විශ්වාසභංග ගෙනල්ල වාර්තා තියන්න හදන්නේ. අපි මේ ඒක ගැන කතා වුණේ” මන්ත්‍රීවරයකු කීය. පිටරට සිටිය මන්ත්‍රීවරු නොමැතිව මෙය දිනන්නේ කෙසේද..? ඔවුන් අසා සිටියහ.

“ජනාධිපතිතුමා ගාණට වැඩේ බැලන්ස් කරගෙන යනවා. ඒ නිසා විපක්ෂය ඔය වගේ සිඟිති ආතල් වැඩ කරනවා.” ඇමැති ප්‍රසන්න පිළිතුරු දුන්නේය.

ඉස්සරහට පැමිණෙන මැතිවරණය මොකක්ද..?

“දැන් ජනාධිපතිවරණයේදී අපි මොකක්ද කරන්නෙ. කාටද සහය දෙන්නේ. තවම පක්ෂය හරි තීන්දුවක් අරගෙන නෑනේ” තවත් මන්ත්‍රීවරයකු ප්‍රශ්නයක් ඉදිරිපත් කළහ.

“මම කියන්නේ මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි සහය දෙන්න ඕන කියල. මොකද එතුමා රටේ ඇතිවෙලා තිබුණු ප්‍රශ්න විසඳගෙන යනවා. අපි මේ වෙලාවේ එතුමාට සහය දෙන්න ඕන.” ඇමැති ප්‍රසන්න කීය.

“හැබැයි සර් අපිට දෙගොල්ලෝ එකතුවන කොට සමහර තැන්වල ප්‍රශ්න තියෙනවා.” සමන්ප්‍රිය හේරත් මන්ත්‍රීවරයා කීවේය.

“ඒව එක එක්කෙනාගේ පුද්ගලික මත. අපි ඒවට පැටලෙන්න හොඳ නෑ. ඔය ප්‍රශ්න හුඟාක් එන්නේ මහ මැතිවරණයකදි.” ඇමැති ප්‍රසන්න කීය.

“කොහොමත් ඉස්සෙල්ලා එන්නේ ජනාධිපතිවරණය. අපි ඒක දිනන්න ඕන. මගේ පුද්ගලික මතය අපි ජනාධිපතිවරණයටයි, මහ මැතිවරණයටයි සන්ධානයකින් එන්න ඕන කියන එකයි. බැසිල් ඇමැතිතුමා අපිව කැඳවලා ඒ ඒ දිස්ත්‍රික්කවල පක්ෂයට අවශ්‍ය අපේක්ෂකයෝ ගණනයි සන්ධානයකට ගියොත් අපිට පිටට දෙන්න පුළුවන් අපේක්ෂකයෝ ගාණයි ගැන කථා කළා නම් හරි. මම නම් දැනටමත් ගම්පහ සංඛ්‍යා ලේඛන ලැහැස්ති කර ගෙනයි ඉන්නේ.” ඇමැති ප්‍රසන්න යළි කීය.

“ජනාධිපති පුටුවට සුදුසු අපේක්ෂකයා රනිල් කියලා බැසිල් ඇමැතිතුමා අපිට කිව්වා. හැබැයි රනිල්ගෙන් ඇෂුවරන්ස් එකක් ගන්න බැරි වුණා කියලයි බැසිල් මහත්තයා කිව්වේ.” තිස්සකුට්ටි ද කීය.

“අපි මේ වෙලාවේ හරි තීන්දුව ගන්න ඕන. පාක්ෂිකයෝ ගැන හිතලයි අපි මේ තීන්දුව ගන්න ඕන. ජේවීපී එක හරි සජබෙ හරි දිනුවොත් අපේ පාක්ෂිකයන්ට හිරිහැර වෙන්න පුළුවන්.”

“සර්… අපි පාක්ෂිකයින් කියන එක අහන්න ඕන. නැත්නම් කන්න වෙනවා සර්ගෙ මතය හරි. ඉක්මනින් පක්ෂෙත් එක්ක කතා කරන්න. මොන තීන්දුව ගත්තත් පාක්ෂිකයො රැකෙන තීන්දුවක් ගන්න ඕන.” තවත් මන්ත්‍රීවරයකු කීය.

“ඔව්… මම හෙට අනිද්දා බැසිල් ඇමැතිතුමා හමුවෙනවා. මම එතකොට කතා කරනවා. පක්ෂය ගන්න තීන්දුව එක්ක මමත් තීන්දුවක් ගන්නවා” ඇමැති ප්‍රසන්න කීය.

තිස්සගේ රතු කට්ට සහන් පන්නයි…!

“සර් කෙළින් කතා කරනවා. අපේම සමහරු කකුල් දෙක දෙපැත්තේ තියාගෙන කතා කරනවා. අපි වගේ පොඩි එවුන් තමයි තැලෙන්නෙ” සහන් ප්‍රදීප් කීය.

“මට පාඩු වුණත් කෙළින් කතා කරනවා.” ඇමැති ප්‍රසන්න කීවේය.

“සමහරු ජාතික ලැයිස්තුවේ එන්න හදන්නේ. ඒක නිසා කකුල් දෙක දෙපැත්තේ තියාගෙන” සහන් කීවේ තිස්සකුට්ටිආරච්චි දෙස බලමිනි. එයට තිස්සකුට්ටිආරච්චිට කේන්ති ගියේය.

“කවුද එහෙම එන්නේ මම නම් එහෙම කියල නෑ මම ඡන්දෙ ඉල්ලන්නෙ නැති එකයි පක්ෂෙ සංවිධානයයි ගැන හැර මම නම් කිසි දෙයක් කතා කරල නෑ” තිස්සකුට්ටිආරච්චි කීවේය.

“උඹත් දන්නෙ නැති මමත් දන්නෙ නැති මම ගැන උඹ කතා කරන්න එපා” තිස්සකුට්ටි ආරච්චි සහන්ට කීවේය.

“උඹ පක්ෂෙ අත දරුවෙක් උඹේ කටට මම බය නෑ” කියමින් සහන් ද උත්තර දුන්නේය.

දෙදෙනා වාග් සංග්‍රාමයකට පැටලීමට සූදානම් වුවද ඇමැති ප්‍රසන්න නිසා එය වැළකුණි.

බැසිල්ගේ රැස්වීමට රනිල්ගෙනුත් පිරිසක්!

බැසිල් නෙළුම් මාවත කාර්යාලයට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට එන්නට කීවේ මැතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගන්නැයි බොහෝ දෙනා විශ්වාස කළහ. ජනාධිපතිවරණයකට කැමති නැත. ඔහු ඉල්ලන්නේ මහ මැතිවරණයකි. ඔහු එසේ කියන්නේ කාරණා කීපයක් නිසා බව දේශපාලන හෝඩියේ අක්ෂර දන්නා බොහෝ දෙනා දැන සිටියේය. එහෙත් සමහරුන්ට එය විමතියට කාරණාවක් වූහ.

එක් පැත්තකින් ජනාධිපතිවරණයක් පැවතිය හොත් බැසිල්ගේ ගණන් හැදීමට අනුව විපක්ෂයේ පක්ෂවලට වඩාත් වාසි සහගතය. ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වී සිටින බොහෝ මන්ත්‍රීවරු ද විපක්ෂය හා එක්වීමට අවස්ථා බහුලය. එහෙත් මහ මැතිවරණයක් ඉස්සරහට පැමිණියහොත් මේ කුඩා කුඩා කණ්ඩායම්වලට තම ආඩම්බරය හා දේශපාලන මමත්වය පසෙක තබා කුමක් හෝ ලොකු පක්ෂයක් හා සන්ධානගත වීමකින් තොරව විසඳුමක් නැත. එසේ නම් ඔවුන් ස්වාධීන කුඩා කණ්ඩායම් සිහිනය පසෙකලා කුමක් හෝ ලොකු පක්ෂයක් හෝ සන්ධානයක් හා අත්වැල් බැඳගත යුතුමය. නැතහොත් වන්නේ පරාද වීමටය.

දෙවනුව කවර කණ්ඩායමකටවත් කවර සන්ධානයකටවත් එළඹෙන මහ මැතිවරණයකදී තනිව ආණ්ඩුවක් නිර්මාණය කිරීම උගහට කරුණකි. සමීක්ෂණ අනුව පොහොට්ටුවට දැනට තිබෙන ඡන්ද ප්‍රමාණය ඔවුන්ට සැලකිය යුතු ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට ප්‍රමාණවත්ය. ඒ අනුව ඉදිරියේදී සෑදෙන සන්ධාන ආණ්ඩුවකට ඇතුළත් වීමට ද පොහොට්ටුවට සම්භාවිතාව වැඩිය. ඒ හැරත් එළඹෙන අස්ථාවර සන්ධාන ආණ්ඩුවක කොටස්කරුවන් වනවාට වඩා විපක්ෂයේ දේශපාලනය වැළඳගෙන විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම බවට පත්වීම තුළින් ලබා ගත හැකි අනාගත දේශපාලන ඵල ප්‍රයෝජන බොහෝය. මේ සියල්ල ගැන බැසිල් රාජපක්ෂ කල්පනා කරන්නට ඇත.

බදාදා එසේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සිටින පොහොට්ටු මන්ත්‍රීවරු නෙළුම් මාවත කාර්යාලයේ බැසිල්ගේ රැස්වීමට ගියේ මේ කරුණුවලින් හිස බර කරගෙනය. එහෙත් ගොස් බලනකොට රැස්වීමට මන්ත්‍රීවරු පමණක් නොව, පොහොට්ටුවේ ආසන සංවිධායකවරුන්ව ද කැඳවා තිබිණ. මාධ්‍ය පවා දැඩි උනන්දුවකින් නෙළුම් මාවත දොරටුව අසලට වී සිටියේ ඉදිරියේදී වන්නේ කුමක්දැයි කියා අනාවැකි පළ කරන්නට හැකි නායකයෝ සිටින්නේ පොහොට්ටුවේ පමණක් වන නිසාය.

දවල් 12 පමණ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක්කෙනා දෙන්නා නෙළුම් මාවත කාර්යාලයට පැමිණියහ. කලකට පසු මහින්ද රාජපක්ෂ ද හිතවතුන් පිරිවරාගෙන කාර්යාලයට පැමිණියේය. ප්‍රනාන්දු මහින්ද මහතාගේ දකුණත් සව් බවට පත්ව සිටියේය.

සමහර මාධ්‍යවේදීන් උනන්දුවෙන් බලා සිටියේ ජනාධිපති රනිල් සමග සිටින විශ්වාසවන්ත මන්ත්‍රීවරු මේ රැස්වීමට එනු නැතිවේය කියාය. එහෙත් ඔවුන් සැක කරගෙන සිටි මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් පැමිණ සිටියහ. නිමල් ලංසා ඇතුළු නව සන්ධානය කණ්ඩායමේ කිසිවෙක් දක්නට ලැබුණේ නැත.

“සමහරුන්ට මුල මතක නෑ. අපිට එයාර්පෝර්ට් එකකටවත් යන්න බැරි කාලයක් තිබුණා. මේ ජනාධිපතිතුමා තමයි තත්ත්වය වෙනස් කළේ. අපි ඒක අමතක කරන්න හොඳ නෑ.” බැසිල් සාකච්ඡාව අරඹමින් සිය හඬ අවදි කළේය.

“අපේ පක්ෂය ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන තීන්දු ගන්නකොට සලකා බලන නිර්ණායක ටිකක් තියෙනවා. ඒ අනුව තමයි අපේක්ෂකයා තෝරාගන්නේ” බැසිල් යළි කීය. ඉන් පසුව කතා බහට ලක් වූ බොහෝ දේවල් මාධ්‍යවලට අනාවරණය වූයේ නැත. රැස්වීම වැඩි වේලාවක් පැවතියේ නැත. එම රැස්වීම ඉවර වූ සැණින් මන්ත්‍රීවරු වාහනවලට නැග පිටත්ව ගියේ මාධ්‍යවලට ද කතා කිරීම ප්‍රතික්ෂේප කරමිනි. මාධ්‍යවලින් සඟවන්නට අවශ්‍ය කරුණු කාරණා ගණනාවක් එහිදී කතාවන්නට ඇතැයි බොහෝ මාධ්‍යකරුවෝ විශ්වාස කළහ.

මේ සම්බන්ධයෙන් පොහොට්ටුවේ වගකිවයුතු නායකයෙක් යම් අදහසක් කීවේ අපි අද කතා කළේ පොහොට්ටුවෙන් පවත්වන ඉදිරි මැයි රැලියේ කටයුතු ගැන. මැතිවරණ ගැන ඔයාලා හිතන දේවල් මෙතන කතා වුණේ නෑ. හැබැයි අපි පුද්ගලිකව පක්ෂයක් හැටියට ඉන්නේ ඉස්සරහට මහ මැතිවරණයක් ආවොත් අපට වාසිදායකයි කියන ස්ථාවරයේ. බැසිල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් කතා කරන්න අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණගැහෙනවා. ඒ ගැන ඒගොල්ලෝ කතා කරලා තීරණයක් ගනියි. හැබැයි මෙතෙන්දි නම් කතාබහ උනේ අපේ මැයි රැලිය ගැනයි පක්ෂයේ ඉදිරි සංවිධාන වැඩ කටයුතු ගැනයි විතරයි. ඉක්මනට ඉවරත් උනානේ තේරෙන්න ඇතිනේ.

තව කාරණයක් තියෙනවා. අපි පහුගිය කාලේ රට වටේ ගියේ ආසන සම්මේලන පවත්වමින් විතරයි. ඔන්න අපි ඉදිරියේදී ලබන පළවෙනිදා අපේ ප්‍රථම දිස්ත්‍රික් සම්මේලනය පවත්වනවා. ඒකට අපි තෝරගත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කය. එතන ඉඳලා ලංකාවේ හැම දිස්ත්‍රික්කයකටම අපි සම්මේලනය අරගෙන යනවා.

සම්මේලනයට හම්බන්තොට තෝරගත්තෙත් විශේෂ හේතුවක් ඇතිව. අපි අපේ වෘත්තීය සමිතිය යොදවලා දිස්ත්‍රික් මට්ටමින් ගෙන් ගෙට ගිහින් ජනතා මත විමසුමක් කළා. ඒකෙදි අපි දැනගත්තා අපට වැඩිම පක්ෂපාතිත්වය ඇති දිස්ත්‍රික්කය තමයි හම්බන්තොට කියලා. පහුගිය අරගල කාලයෙහි ආණ්ඩු පෙරළියයි එක්ක අපි හිතුවා අපි ජනතාව අතරින් ගොඩක් පිටිපස්සට ගිහින් ඇති කියලා. හැබැයි අපිව ප්‍රතික්ෂේප කළේ හම්බන්තොටින් 5% වඩා අඩු ප්‍රතිශතයක්. අනිත් දිස්ත්‍රික්කවල වුණත් ඒ ප්‍රතිශතය අපි හිතපු තරම් නරක තැනකට ඇවිත් නෑ. ඒක නිසා අපි තේරුම් ගත්තා අපි දැන් වහාම ජනතාව අතරට ගිහිල්ලා ජනතාව අමතන එක ආරම්භ කරන්න ඕන කියල. ඕවා තමයි අපේ ඉදිරි වැඩ කටයුතු. ඒවා ගැන තමයි අපි කතා කළේ.” පොහොට්ටුවේ ප්‍රබලයා එසේ කීවේය.

මේ සාකච්ඡාවට සහභාගි වූ ඇමැති ප්‍රසන්න එළියට එද්දී රාජපක්ෂ පවුලේ ඥාති සොහොයුරු උදයංග වීරතුංග මුහුණට මුහුණ හමුවිය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment