වාස්තු විද්‍යාව අවාස්තු විද්‍යාව වන අවස්ථාවන්

203

මෙයට සති කීපයකට උඩ දී මා ලත් අත්දැකීමක් සමගින් අද වාස්තු ලිපිය ලියන්නේ මෙහි පරමාර්ථය නම් නිවසක් ඉදිකිරීමේ දී කොතරම් හොඳින් වාස්තු විද්‍යානුකූලව සැලසුම් සකස් කර දී නිදොස් සැලසුමක්, උපදෙස් ලබාදුන්න ද එය වෙනස් වන්නට ගත වෙන්නේ නිමේෂයක මොහොතක් බව පෙන්වා දීමටයි.

මේ සියල්ලමට වැරැද්ද නොසැලකිලිමත්කමයි. නිවසක් ඉදිකිරීමේ දී නිවස අලුත්වැඩියාවේදී වගේම නිවසේ වාස්තු දෝෂයන් ඉවත් කිරීමේදී ද නිවසේ ගෘහමූලිකයා සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ.

මා දන්නා හිතවත් මහත්මයකු ඔහුගේ නිවස අලුතින් ඉදිකිරීම සඳහා භූමිය පරීක්ෂා කරගෙන එම නිවසේ නිවාස සැලසුම, නැකැත් ආදී කටයුතු මාහට කර දෙන මෙන් ඉල්ලා සිටි අතර ඒ සියල්ල මා සකස් කර නියමිත නැතැත් දිනයේ දී මංගල කුඤ්ඤය සිටුවීම, නූල් ඇද අත්තිවාරම කැපීම, මුල්ගල තැබීම හා ප්‍රථම වාස්තු පූජාව ද සිදු කළේ මාවත් සම්බන්ධ කර ගෙනය. එම කටයුතු අවසන් කර එදින ආපසු යළිත් දින 02 කින් යළි මම එම ස්ථානයට ගියෙමි. දෙමහල් නිවසක් වූ එම නිවසේ කණුවලට අවශ්‍ය බේස් වළවල් එම මොහොත වනවිට කපා තිබුණි. එහිදී මා දුන් බේස් කණුවලට අමතරව තවත් එක් කණුවකට වළක් හාරා තිබුණි. මම යළිත් නිවසේ කෙළවර මූට්ටු 04 සිට නූලක් ඇද බ්‍රහ්ම පාදය පරීක්ෂා කිරීමට යෑමේදී අර බේස්වළට මැදිව කණුවක් දැමීම සඳහා කටයුතු කර තිබිණි. මක් නිසා ද නිවසේ අත්තිවාරමේ නූල් අදින මොහොතේ මම බ්‍රහ්ම පාදය ලක්ෂ්‍යය ලකුණු කොට ලී කුක්ඤයක් ද තැන්පත් කර ආවේ එම ස්ථානයේ කිසිම කොන්ක්‍රීට් කණුවක් බිත්තියක් ඉදිනොවන අයුරින් නිවාස සැලසුම සකස්කර ඇති බව පෙන්වා දෙමිනි.

නමුත් එය පැත්තකට ගලවා දමා එම ස්ථානයේ කොන්ක්‍රීට් කණුවක් අවශ්‍ය බව ප්‍රධාන මේසන් බාස් පවසා සිටි නිසා මාගේ සේවාදායකයා එය අනුමත කර මා කී දෙය අමතක කර තිබුණ හෙයිනි. බාස්ගේ තර්කය වූයේ එම බේස් වළහි කණුවට බ්‍රහ්ම පාද ලක්ෂ්‍ය නොවැටෙන බවත් වළේ කොන්ක්‍රීට් මතට පමණක් යට වෙන බවත්ය. කෙසේ හෝ මා එම මොහොතේ ගිය නිසා එම බේස්වළ එතැනින් ඉවත් කර මාගේ සැලසුමෙහි සඳහන් පරිදි වෙනස් කරන ලදී. ඉන්පසු ගෙදර ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර බිත්ති මට්ටමට පැමිණි පසු මාගේ සේවාදායකයා අසනීපව රෝහල්ගත කෙරිණි. නිවසේ වැඩ මදකට නතර වුණ අතර වැඩ කළ මේසන් බාස්ලා ද ඔවුන්ගේ ගෝල බාලයන් රණ්ඩු වී විසිර ගියහ.

සතියකින් පසු මාගේ සේවාදායකයා මට දුරකථන ඇමතුමක් ගත්තේය.

“බලන්න චන්ද්‍රසිරි මහත්තයා අපි කොච්චර නැකැත්, සිරිත් බලලා වාස්තු ගළපලා ද මගේ ගෙයි වැඩ පටන් ගත්තේ මම මෝඩ වුණා මේවා බොරු වැඩ. විශ්වාස කරන්න හොඳ නෑ අර අපේ මල්ලි කියනවා වගේ අපි ඉපදුණේ වේලාව බලලද? සැලසුම් හදලද? ඕවා බලන්න ගිහින් තමයි නැති කරදර ඇවිත් ගෙයි වැඩත් නතර වුණේ”

“හරි මහත්තයලා දැන් ඉන්නවානේ පොඩ්ඩක් ඉන්න මං එන්නම් අපි ඇවිත් කතා කරමු”

මම එසේ කියා එම ස්ථානයට පැමිණියෙමි. ඉන්පසු මා ටේප් එක රැගෙන දැනට නිවසේ අත්තිවාරම හා සමහර බිත්ති ඔසවා බැඳ ඇති ආකාරය පරීක්ෂා කර දිග, පළල ගණනය කළේ මාගේ වැරැද්දක් මෙහි තිබේද යන්න බැලීමටයි. නමුත් මා විසින් මාගේ සේවාදායකයාට දුන් නිවසේ දිග ප්‍රමාණයට වඩා දිගින් අගල් 7”ක් අත්තිවාරම දික්ව ඇති අතර මාදුන් පළලට වඩා අගල් 6”ක් පළලින් අත්තිවාරම දික්ව ඇත.

එම මොහොතේ නිවසේ වැඩ භාර ගත් කොන්ත්‍රාත්කරු ද එම ස්ථානයට ගෙන්වා මේ වෙනස පෙන්වා දුන් අතර ඔහු එම වැරැද්ද පිළිගෙන ඔහුගේ වියදමින් අත්තිවාරමේ දික් වූ කොටස් කපා දැමීමට සූදානම් විය. නමුත් එසේ කිරීම මෙම නිවසේ ආරම්භක දෝෂයකට හේතුවක් වන නිසා මා එයට වෙනත් ක්‍රියා මාර්ගයක් ගැනීමට හැකි බව පෙන්වා දුනිමි. සමහර අය හිතන්නේ යම්කිසි දෙයකට වේලාවක් සාමාන්‍යයෙන් පැවසීමේදී විනාඩි 05 ක් 10 ක් ප්‍රමාද වුණාට මක්වෙනවාද යන්නයි. නමුත් එම තර්කය නිවාසවල අත්තිවාරමේ දිග හෝ පළලට කෙසේවත් අදාළ නොමැත. දිග අගලකින් හෝ වෙනස් වීම යනු නිවසේ සම්පූර්ණ වර්ගීකරණයම වෙනස් වීමකි.

මාගේ සේවාදායකයාගේ නිවසේ දිග×පළල අනුව ලබාගත් ගෘහ පිණ්ඩය ගණනය කිරීම මත ලැබුණ ගෘහ පොරොන්දම් හෙවත් ඒක දශා පොරොන්දම්වල අගයන් මෙසේය.

ගෘහ පොරොන්දම්

  1. අය – 12
  2. වැය – 01
  3. යෝනි – ගජ
  4. නැකත – උත්‍රපුටුප මෛත්‍රි (සම්පත්, පරම මෛත්‍රි)
  5. දින – ගුරු
  6. අංශක – ධාන්‍ය
  7. රාශි – කුම්භ
  8. තිෂ් – 21
  9. වංශ – බ්‍රාහ්මණ
  10. දේවතා – විෂ්ණු
  11. ආයුෂ – 73

පොරොන්දම් ගැළපීම 11/11 100%

මම ඔහුට නිවසේ අත්තිවාරම පිටින් සිට දිග පළල කපරාදු වාසියත් සමගින් දුන් අගයට වඩා අගලක්වත් වෙනස් නොකරන ලෙසට එනම් දිග පළල අඩුවීම කපරාදු වාසියෙන් ගත්ත ද දිග පළල වැඩි වීම යළි නිවැරදි කළ නොහැකි බව පෙන්වා දී තිබිණි.

නමුත් අත්තිවාරම දැමීමේදී එය නිවැරදිව මිනුම් නොකර ඒ සම්බන්ධයෙන් දුන් උපදෙස් අනුගමනය නොකිරීම නිසා වැරදි ක්‍ෂේත්‍ර ඵලයක් තුළින් වැරදි ගෘහ පිණ්ඩයක් ලැබීමෙන් ගෘහ පෙරොන්දම් වෙනස් වී ඇති ආකාරය මෙසේය.

  1. අය 4
  2. වැය 8
  3. යෝනි කාක
  4. නැකැත වධ, විපත්, ජන්ම
  5. දින කුජ
  6. අංශක අර්ථ හීන
  7. රාශි මේෂ
  8. තිෂ් 3
  9. වාශ වෛශ්‍ය
  10. දේවතා බ්‍රහ්ම
  11. ආයුෂ 11

අත්‍යවශ්‍ය පොරොන්දම් සියල්ල නොගැළපේ. මෙම නිවසේ මා කලින් දුන් සැලසුමට අනුව නැකත් පොරොන්දම ගෘහ හිමියාගේ, බිරිඳගේ, දරුවාගේ උපන් නැකත්වලට මෛත්‍රි, සම්පත්, පරම මෛත්‍රි නැකතට සීහුම් කර දී තිබුණේ මා විසින් දුන් දිග × පළල අනුවයි.

නමුත් මෙම නිවසේ දිග, පළල වෙනස්වීම තුළ නැකැත් පොරොන්දම ගෘහ හිමියන්ගේ උපන් නැකතට සීහුම් කිරීමේදී ගෘහ හිමියට නිවස වධයක්, බිරිඳට විපතක් හා දරුවාට ජන්ම ලෙස පැමිණ ඇත.

යෝනි පොරොන්දම පරීක්ෂාවේදී නිවසේ නිවාස වර්ගීකරණය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. නිවාස වර්ගීකරණයේදී මනුෂ්‍ය වාසයට සුදුසු පදිංචියට ගැළපෙන නිවාස වර්ග 04 ක් හා නොගැළපෙන නිවාස වර්ග 04 ක් ගැන වාස්තු විද්‍යාවේ පෙන්වා ඇත. මෙහිදී ප්‍රථමයෙන් මා විසින් මාගේ සේවාදායකයාට දෙනු ලැබුවේ මනුෂ්‍ය වාසයට හිතකර වගේම අභිවෘද්ධිය සලසන, දීප්තිමත් අනාගතයක් ඇතිවෙන, යස ඉසුරු සපිරි, වාසනාවන්ත ගෘහයකි. එය ගණය වශියයි. මෙවැනි නිවසක පදිංචි අය සමාජයේ කැපී පෙනේ. ජනප්‍රිය වේ. නමුත් එය දිග, පළල වැඩි කිරීමෙන් වර්ගීකරණය වෙනස් වී ඇත. එසේ වෙනස් වූ ගෘහ පිණ්ඩය ගණනය තුළින් ලත් ප්‍රතිඵල මත ඉදිව ඇත්තේ කාක නම් වර්ගයට අයත් අවාසනාවන්ත නිවාස අංයකි. මෙම නිවස පදිංචියට ශුභ නොවේ. ශාරීරිකව මානසිකව බිඳ වැටේ. ව්‍යවසනයට ලක් වේ. රෝගී වේ. ගැටුම් ඇති වේ. මෙය වාස්තු විද්‍යාවේ අත්හල යුතු නිවාස වර්ගයකි.

කලින් මා දුන් නිවසේ සැලසුම හා ගෘහ පිණ්ඩය මත අය – 12 ක්ම පැවතුණ අතර වැය 01 කි.

නමුත් නොසැලකිලිමත් භාවයෙන් ඉදිකළ අත්තිවාරම තුළින් ලත් ගෘහ පොරොන්දම අනුව අය – 4 ක් වූ විට වැය 8 ක් ව පැවතේ. මෙය සරලව විග්‍රහ කළහොත් සදාකාලික ණයකරුවෙක් බවට පත් වන්නකි. නිවසේ ආයුෂ ද එලෙසය. 73 ක් පැවති ආයුෂය 11ට අඩුව ඇත. එසේ වූ විට මෙම නිවසහි ජීව ගුණය දුර්වලය. එයින් ලැබෙන ශක්තීන් දුර්වලය.

මෙම නිවසේ මේ තත්ත්වයට නිවසේ හිමිකරු මෙන්ම කොන්ත්‍රාත්කරු, මේසන් බාස් ද වගකිව යුතුය. විශේෂයෙන්ම නිවසක් ඉදිකරන විටදී නිවසේ අයිතිකරු වාස්තු විද්‍යා උපදෙස් ලබාගත් පමණින් සියල්ල සම්පූර්ණ නොවේ. ලබාගත් උපදෙස් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වීමට නම් ගෘහයේ හිමිකරු ද තමන්ට දී ඇති ගණිතමය අගයන්, උළුවහු ජනෙල් තබන ස්ථානවලදී ද වහලය ඉදිකරන අවස්ථාවේදී නිතර මැන බැලීම කළ යුතුය. විශේෂයෙන්ම අත්තිවාරමෙහි දිග පළල අත්තිවාරම දමන මොහොතේ යළි යළිත් ගණනය කළ බැලුවා නම් මගේ සේවාදායකයා අමාරුවේ වැටෙන්නේ නැත. වහලය සැකසීමට පෙර හෝ මෙම දෝෂයන් හඳුනා ගැනීම නිසා පත්වීමට ඉඩ තිබූ විශාල ව්‍යවසනවලින් ඔහුගේ පවුලේ අය ආරක්ෂා විය. වාස්තු විද්‍යාව යනු “කඩා බිඳ දැමීම නොවේ’‘ සෑම දෝෂයකටම එය නිදෝෂ කිරීමේ බලය හැකියාව වාස්තු විද්‍යාව සතුය. එවැනි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් මාගේ සේවාදායකයාගේ නිවස නිවැරදිව ගෘහ පිණ්ඩය සකසා ගෘහ පොරොන්දම් පෙර ආකාරයට සැකසෙන ලෙසින් ද මනුෂ්‍ය වාසයට උචිත වන අය ක්‍රමයක් සකසා යළි නිවසේ වැඩ පටන් ගත්හ. යළි වේගයෙන්, බාධාවකින් තොරව සියලු වැඩ කටයුතු සිදුවී මූලික අදියරේ වැඩ මේ වනවිට අවසන්ව ඇත. එසේ නොවිනි නම් මෙම නිවසහි වැඩ ඉක්මන් නොවනවා පමණක් නොව මේ උතුම් ශාස්ත්‍රයට ද සමච්චල් වීම වළකාගත නොහැක.

වාස්තු විද්‍යාව අවාස්තු විද්‍යාව වන අවස්ථාවන්

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment