දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට විෂය දැනුම ලබාදීම වගේම පෝෂණයද සුරක්ෂිත කළ යුතුයි

38

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාසල් ආහාර වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් කියයි

රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නම් විෂය දැනුම ලබාදී විභාගවලට ඉදිරිපත් කිරීම මෙන්ම ඔවුන්ගේ පෝෂණයද සුරක්ෂිත කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

එසේම කෘත්‍රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණ දැනුම දරුවන්ට ලබාදිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා ඒ අනුව පාසල් අධ්‍යාපනයේ සහ විභාග ක්‍රමයේ වෙනසක් පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බවද සඳහන් කළේය.

දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට විෂය දැනුම ලබාදීම වගේම පෝෂණයද සුරක්ෂිත කළ යුතුයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කර සිටියේ නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ ඊයේ (25) පෙරවරුවේ පැවැති “2024 වර්ෂයේ පාසල් ආහාර වැඩසටහනේ” සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

දිවයිනේ 1-5 දක්වා ශ්‍රේණිවල සියලු‍‍ම පාසල් සිසුන්ට පාසලේදී ප්‍රධාන ආහාර වේලක් ලබාදීමට මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පෝෂණවේදීන්ගේ නිර්දේශද සැලකිල්ලට ගෙන දිනපතා සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30ත් අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබාදෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

“නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්” යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු‍‍ අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු ඉටු කරගැනීමට අපේක්ෂිතය.

මෙම අවස්ථාවට සහභාගිවීම වෙනුවෙන් විදුහල්පතිනි ප්‍රියංගිකා විජේසිංහ මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිහිවටන තිළිණයක්ද පිළිගැන්වූවාය. උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසිය.

අධ්‍යාපනය සම්පූර්ණ වීමට නම් සිසුන්ට විෂය දැනුම ලබාදී විභාගවලට ඉදිරිපත් කිරීම වගේම ඔවුන්ගේ පෝෂණයද සුරක්ෂිත කළයුතුයි. ලෝකයේ රටවල් ගණනාවක් මෙම පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

මන්දපෝෂණය අපේ රටේ විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. අප අස්වැසුම වැඩසටහන මගින් අඩු ආදායම්ලාභී ජනතාවට ලබාදෙන මුල්‍ය සහනය තුන් ගුණයකින් ඉහළ නංවා තිබෙනවා. පාසල් දරුවන් අතර මන්දපෝෂණය ඉහළයාමට ආදායම් මට්ටම පමණක් හේතු වී නැහැ. ඇතැම් සිසුන් පාසල් වෙත පැමිණීමට නිවසින් පිටත්වන්නේ උදෑසන 6.00ට පමණ. එවිට ඔවුන්ගේ උදෑසන ආහාර වේල මඟ හැරෙනවා. ඒ වගේම දිවා ආහාර වේලත් මඟ හැරි යනවා. ඒ නිසා කුමන තරාතිරමකට අයත් වුවත්, කුමන ජාතියකට, ආගමට අයත් වුවත් සියලු‍ දරුවන් මේ ප්‍රශ්නයට මුහුණ දී සිටිනවා. ඒ නිසා සිසුන්ට පාසල තුළ ආහාර වේලක් ලබාගැනීමට අවස්ථාව සලසාදීම ඉතා වැදගත් වෙනවා.

නවීන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කිරීමට අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. අප නිර්මාණය කළ යුතුතේ 2024ට පමණක් නොව 2030ට සුදුසු අධ්‍යාපන ක්‍රමයක්. එම වැඩකටයුතු දැන් අප කරගෙන යනවා. ගුරුවරු පුහුණු කිරීම, නවීන තාක්ෂණ දැනුම ලබාදීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම කෘත්‍රීම බුද්ධිය වැඩසටහන සෑම පාසලකම ක්‍රියාත්මක කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එහිදී පළමුව පාසල් වල ්ෂ සංගම් ආරම්භ කළ යුතුයි. ඒ වගේම ජාතික ්ෂ මධ්‍යස්ථානය නීතියෙන් ස්ථාපිත කිරීමට නියමිතව තිබෙනවා. මෙම පර්යේෂණ සහ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රජය රුපියල් මිලියන දාහක් වෙන් කර තිබෙන බව කිවයුතුයි. ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ ප්‍රධාන පාසල්වලට පමණක් නොව උසස් පෙළ අධ්‍යාපනය තිබෙන සියලු‍ පාසල්වලට කෘත්‍රීම බුද්ධිය වැඩසටහන හඳුන්වා දීමට අපේක්ෂා කරනවා.

අප නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතුයි. එම තාක්ෂණ දැනුම දරුවන්ට ලබාදිය යුතුයි. ඒ අනුව පාසල් අධ්‍යාපනය සහ විභාග ක්‍රමය වෙනස් කිරීම පිළිබඳවද අප අවධානය යොමු කර තිබෙනවා. මෙම නවීන තාක්ෂණ දැනුම සමග දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුමද වර්ධනය කළ යුතුව තිබෙනවා. ඒ සඳහාද අප එවැඩසටහන් සැලසුම් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා

දුෂ්කර පළාත්වල පාසල් සිසුන් සඳහා මෙම ආහාර වැඩසටහන මීට පෙර ක්‍රියාත්මක කරමින් තිබුණා. නමුත් මේ වසරේ සිට පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සිසුන්ට පෝෂණ ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීමට කටයුතු කරනවා. මේ සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රුපියල් මිලියන 16,600ක් වෙන්කර තිබෙනවා. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය ආහාර වැඩසටහන මගින් ආධාරද ලැබෙනවා. ඒ අනුව ලක්ෂ 17ක් වන ප්‍රාථමික ශ්‍රේණියේ සිසුන් සියලු‍ දෙනාටම උදෑසන පෝෂණ ආහාර වේලක් ලබාදීමට හැකිව තිබෙනවා. නියමිත ප්‍රමිතියට අදාළ පෝෂණීය ආහාර වේලක් ලබාදීමට අදාළ අංශ වෙතට මේ වන විටත් උපදෙස් ලබාදී තිබෙනවා. ඉගැන්වීමට පෙර සියලු‍ දරු දැරියන්ගේ කුස පිරවීම තුළින් හොඳින් අධ්‍යාපන කටයුතුවල නිරතවීමට අවස්ථාව ලැබෙන අතර දරුවන්ගේ මානසික තත්ත්වය වැඩි කිරීමටත් මෙමගින් හැකියාව තිබෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment