වීසා නැති ශ්‍රී ලාංකිකයන්ට කුවේටයෙන් පිට වෙන්න පොදු සමා කාලයක්

39

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් නේවාසික වීසා කාලය උල්ලංඝනය කරමින් එරට රැඳී සිටින සහ තම සේවා ස්ථානවලින් පලා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ට දඩ ගෙවීමකින් සහ නීතිමය බාධාවලින් තොරව එරටින් පිට වී යෑම සඳහා පොදු සමා කාලයක් කුවේට් හි එමීර් ෂෙයික් මෙෂාල් අල් -අහමඩ් අල් – ජාබර් මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇතැයි කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

මෙම පොදු සමා කාලය ඉකුත් 17 වැනිදා සිට ලබන ජුනි 17 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.

කුවේට් රාජ්‍යය තුළ දැනට වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් 19,620 ක් පමණ රැඳී සිටින බව නිල වාර්තා අනුව තමන්ට සනාථ වී ඇති බවත්, ඒ අතරින් මේ වනවිට යළි ශ්‍රී ලංකාව වෙත පිටත්ව යෑම සඳහා ශ්‍රී ලාංකිකයන් 5,000 ක් පමණ තම තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බවත් ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසීය.

මෙම පොදු සමා කාලයෙන් බැහැරව ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු වුවහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇඟිලි සලකුණු ලබා ගෙන යළි කුවේට් රාජ්‍යයට පිවිසීමට නොහැකි වන පරිදි රුපියල් 650,000 ක දඩයක් ද අය කර පිටුවහල් කිරීම සිදු කෙරේ. එහෙත් මෙම පොදු සමා කාලය තුළ කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී එරටින් පිටවීමට කටයුතු කළහොත් මෙම දඩ මුදල් ගෙවීම හෝ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග වෙත අනුගතවීම අවශ්‍ය නොවේ.

එසේම මෙම පොදු සමා කාලය තුළ මෙම දඩ මුදල ගෙවා දැමීමෙන් පසුව අවශ්‍ය නම් කුවේට් රාජ්‍යයෙන් බැහැර වී යෑමෙන් තොරව තම නේවාසික වීසා නීත්‍යානුකූල කර ගැනීමෙන් පසුව තවදුරටත් එරට රැඳී සිටිය හැකිය.

එහෙත් කුවේට් රාජ්‍යයේ අධිකරණයේ හෝ එරට පොලිස් ස්ථානයක නේවාසික වීසා සම්බන්ධ පැමිණිලි හැර වෙනත් චෝදනා ගොනු වී ඇති පුද්ගලයන්ට මෙම පොදු සමා කාලය උපයෝගී කර ගෙන එරටින් බැහැර වීමට අවස්ථාව නොලැබෙන බව ද ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එසේම මෙම පොදු සමා කාලය තුළ කුවේට් රාජ්‍යයෙන් පිටවීම සඳහා සහනදායී මිල ගණන් යටතේ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ලබාදීමට දැනට කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සබඳතා පවත්වන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සහ අල් ජසීරා ගුවන් සේවයේ විශේෂ කාර්යාල කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ පිහිටුවා ඇති බව ද සඳහන් වේ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment