බාල බෙහෙත් ගෙන්වූ සමාගමේ ලොක්කා රිමාන්ඩ්

130


ප්‍රමිතියෙන් තොර ඉමියුහෝ ග්ලෝබියුනෝ ප්‍රතිදේහ ජනක ඖෂධ ආනයනය කළ බව කියන සමාගමේ හිමිකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (31 වැනිදා) සවස අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් කෝටි සියයක් පමණ වටිනා ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් තොගයක් ආනයනය කිරීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ එකී ප්‍රතිදේහ එන්නත් ආනයනය කළ සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු හෙවත් අරුණ දීප්ති නමැත්තාව ලබන 15 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (01දා) නියෝග කළාය.


ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල, උප පොලිස් පරීක්‍ෂක සුපුන් යහලේවත්ත යන මහත්වරුන් ප්‍රමුඛ විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්වීම් හා ඉදිරිපත් කළ ලේඛන සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.
ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන අධ්‍යක්‍ෂ වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක සහ බාල ඖෂධ ගෙන්වූ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් අරුණ දීප්ති යන තිදෙනාට විදේශ ගමන් තහනමක් පනවා තිබිණි.


එම සැකකරුට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙස සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චාන්දනි දයාරත්න මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය. එම විමර්ශන මේ දක්වා අවසන් කර නොතැබීම, පොදු දේපළ පනත යටතේ පවරා ඇති එම චෝදනාවලට ඇප දීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවීම සහ කරුණු අනුව ඇපදීම නුසුදුසු බවට නිගමනය කළ මහෙස්ත්‍රාත්වරිය ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළාය.


නීතිඥ මල්ෂික ජයලත්, ලක්‍ෂිත එදිරිසිංහ සහ නීතිඥ සදලි දයාරත්න යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ චාන්දනි දයාරත්න මහත්මිය සැකකරු වෙනුවෙන් පෙනී සිටියාය.

හේමන්ත රන්දුණු සහ ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment