සායනික වැඩවලට දැඩි බලපෑම්: සෞඛ්‍ය සේවක වර්ජනයෙන් රෝගීන්ට දැඩි පීඩා

61

ඉල්ලීම් 10 ක් මුල්කරගෙන ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ඊයේ (01 දා) ආරම්භ කළ සංකේත වර්ජනය සහ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගය නිසා රෝගීන් දැඩි පීඩාවට පත්වූ බවට වාර්තා විය.

එම සේවකයෝ ඊයේ (01 දා) පෙරවරු 6.30 සිට දහවල් 12.30 දක්වා සේවයෙන් බැහැරව සිටියහ. දහවල් 12.00 ට ඔවුහු රෝහල් ඉදිරිපිටදී උද්ඝෝෂණ පැවැත්වූහ. මෙම සුළු සේවක විරෝධතාවය හේතුවෙන් ශල්‍යාගාර සායනික ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකට බලපෑම් එල්ල වී තිබිණි.

සෞඛ්‍ය කාර්යමණ්ඩලය සඳහා දින 05 ක සතිය ලබාදීම (සතියට පැය 40 ක්) දැනට ගෙවනු ලබන රුපියල් 1000 ක විශේෂ දීමනාව රුපියල් 7000 දක්වා වැඩි කර ගැනීම, නිල ඇඳුම් දීමනාව රුපියල් 15,000 දක්වා වැඩි කර ගැනීම, විධිමත් ස්ථාන මාරු ක්‍රමවේදයක් සහ ස්ථාන මාරු කඩිනමින් ලබාගැනීම, සේවක පුරප්පාඩුවලට බඳවා ගැනීම් සිදුකිරීම/ සියලු උසස්වීම් ලබාදීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම, ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණදීම සඳහා රුපියල් 20,000කින් වැටුප් වැඩි කර ගැනීම ඇතුළු ඉල්ලීම් 10 ක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන තිබිණි.

අපේක්ෂා, මාතෘ, වකුගඩු, ළමා වැනි රෝහල්වල මෙම වෘත්තීය විරෝධතාවය නොපැවැත්වූ බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ ‘දිවයින’ට පැවසූහ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment