ගුරු සිසු සුහදත්වය තුළින් ඛේදවාචක වළක්වා ගත හැකියි – මහාචාර්ය පී. බී. එම්. එච්. එස්. කේ. බන්නැහැක

144

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ සිසුන් අතර සම්බන්ධතාවය තවදුරත් වර්ධනය කිරීමට පියවර ගැනීමෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිද්ධිය වැනි අවාසනාවන්ත ඛේදනීය සිදුවීම් වළකා ගත හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති, පී. බී. එම්. එච්. එස්. කේ. බන්නැහැක මහතා ‘දිවයින’ ට ඊයේ (18 දා) ප්‍රකාශ කළේය.

ආචාර්යවරුන් සහ සිසුන් අතර පවතින සුහද සබැඳියාව අධ්‍යාපනික මඟපෙන්වීමට පමණක් සීමා නොවිය යුතු බවත් සඳහන් කළ මහාචාර්යවරයා තරුණ තරුණියන්ගේ මනස තුළ පවතින විෂාදය, ආවේගශීලිත්වය පාලනය කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ලබාදීම ද වැදගත් වනු ඇතැයි පැවසීය.

විශ්වවිද්‍යාල සිසුන් තුළ පවතින යම් පීඩනයක් සහ තරුණ ආවේගශීලී තත්ත්වයන් නිසා මත්ද්‍රව්‍ය සඳහා යොමුවීම, ප්‍රචණ්ඩත්වයට යොමුවීම සහ අවසානයේ දිවි තොරකර ගැනීමට පෙලඹීම දක්වා වූ සිද්ධිදාමයන් පසුගිය කාල සමයේදී වාර්තාවීම පුද්ගල සන්නිවේදනයේ දුර්වලතා ඇතුළු විවිධ හේතූන් මත සිදුවූවක් බව අනාවරණය වී ඇතැයි ද මහාචාර්යවරයා පැවසීය.

උක්ත සිදුවීම් නීති රාමුව තුළදී පමණක් විසඳිය නොහැකි බවත්, මනෝ උපදේශන සහ මනෝ චිකිත්සාවන් සඳහා යොමු කරලීම මෙන්ම, ආචාර්යවරුන් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර මනා සම්බන්ධතාවයක් පවත්වා ගැනීම ඇතුළු කරුණු ඔස්සේ යමින් ගොඩනඟා ගන්නා වූ සුහද සම්බන්ධතාවයන් මගින් ඔවුන්ගේ මනස ආවේගශීලිත්වයෙන් තොර වූ තැනක් බවට පත්කරලීමේ හැකියාව පවතින බවත් මහාචාර්ය බන්නැහැක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රේම සම්බන්ධතාවයක් මුල්කර ගනිමින් ඇතිවූ ආරවුලක් හේතුවෙන් කෙළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක පෙම්වතා විසින් ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්යවරයා ඉහත අදහස් ප්‍රකාශ කළේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment