දෙරටේ නායකයන් එකඟවූ දාහතර වැදෑරුම් වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑම අරමුණයි – ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අගමැති හමුවේ කියයි

47

නැවත වරක් කොළඹට පැමිණීමට ලැබීම තමා ලද වරප්‍රසාදයක් ලෙස සළකන බවත්, ශ්‍රී ලංකාවේ යහපත දෙරටේ නායකයන් ඇති කරගත් එකඟතා මත ක්‍රියාත්මක කිරීමට එකඟවූ දාහතර වැදෑරුම් වැඩ පිළිවෙළ ඉදිරියට ගෙනයෑම තම අරමුණ බවත් ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසීය.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් ඉකුත්දා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මෙහිදී දෙරට අතර ආර්ථික සබඳතා සහ සහයෝගීතාව පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡාවක් පැවති අතර යෝජිත ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කිරීමේ ක්‍රම සහ විධි විමසා බැලූ අවස්ථාවේ මේ බව කීවාය.

සූර්ය බලශක්තිය සහ සුළං බලය ඇතුළු බලශක්ති ක්ෂේත්‍රයේ ඉන්දීය ආයෝජන වැඩි කිරීමට ඇති හකියාව, ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා, ටැංකි, වරාය, දුම්රිය මාර්ග සම්බන්ධ ඒකාබද්ධ ව්‍යාපෘති සහ කෘෂිකාර්මික හා ධීවර අංශයන්හි සංවර්ධනය සඳහා ආධාර කිරීමේ හැකියාව පිළිබඳව මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරිණි.

වත්මන් ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පහසුකම් පුළුල් කරමින් සහ සහන ද්‍රව්‍ය ආහාර සහ ඖෂධ ලබා දෙමින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය පිළිබඳ අගමැතිවරයා මෙහිදී ඉන්දියාවට ස්තුතිය පළ කළේය. ද්‍රවශීලතා ගැටලු විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජය ලබා ගැනීමට දුන් සහයෝගය පිළිබඳවද අගමැතිවරයා ඉන්දියාවට ස්තූතිය පළ කළේය.

නව මහ කොමසාරිස් සන්තෝෂ් ජා 2007 සිට 2010 දක්වා ශ්‍රී ලංකාවේ සේවය කළ කාලය සිහිපත් කරමින් සඳහන් කළේ ද්විපාර්ශ්වික මිත්‍රත්වය සහ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නැවත වරක් කොළඹට පැමිණීමට ලැබීම තමාට ලැබුණු විශාල වරප්‍රසාදයක් ලෙස සලකන බවයි. තම මෙහෙවර ලාංකීය ජනතාව සමග ශ්‍රී ලංකාවේ යහපත උදෙසා මෙරට නායකයන්ගේ මඟපෙන්වීම අනුව කටයුතු කිරීම බවත්, දෙරටේ නායකයන් ඇති කරගත් එකඟත්වයට අනුව ඉන්දු ශ්‍රී ලංකා සහයෝගය පිළිබඳ දැක්ම සහ එය ක්‍රියාත්මක කිරීමට එකඟවූ දාහතර වැදෑරුම් වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑම බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සත්‍යාජංල් පාණ්ඩේ සහ උපදේශක එල්ඩෝස් මැතිව්ස් යන අය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment