දුටුගැමුණු රජ දවසේ සිට කතරගම දේවාලයේ සිදු කරන බක්මහා අවුරුදු චාරිත්‍ර

490

අපගේ හෙළයේ සිදු කරන ඉපැරණි චාරිත්‍ර සම්ප්‍රදාය ඉටු කරමින් සිංහළ හින්දු අලුත් අවුරුදු සමරන කතරගම මහා දේවාලයේ අවුරුදු මංගල්‍යය මෙම මස 14 වැනි දින රාත්‍රි සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

වසර 2000කටත් වැඩි ඈතක් දක්වා විහිදෙන රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන මංගල්‍යයන් 04 අතරින් සුවිශේෂිත වූ මංගල්‍යයක් වන්නේ අවුරුදු මංගල්‍යයි.

මෙම මස 13 වැනි දින අවුරුදු උදාවීමට පෙර 13 වැනි දින රාත්‍රි මහා දේවාලය ඉදිරිපිට කිරි ඉතිර වීමේ මංගල්‍යය පවත්වා දේවාලය වසා තැබීම සිදුවේ.

දේවාලය නැවත නව අවුරුදු උදාවෙන් පසුව 14 වැනි දින සුබ නැකතකින් විවෘත කරනු ලබයි.

අප රටේ පැවැති විවිධ වූ චාරිත්‍ර සාම්ප්‍රදායන් රැසක් විදේශීය ආක්‍රමණයන් සමග ක්‍රමයෙන් අප රටේ ඇත්තන් විසින් අමතක කළත් දුටුගැමුණු මහා රජතුමාගේ අණ අදත් පිළිපඳිමින් එම නියෝගයන් අකුරක් නෑර සිදු කරන එකම පුදබිම ලෙස කතරගම දේවාලය හඳුන්වාදිය හැකිය.

● කිරි ඉතිර වීමේ මංගල්‍යය

දුටුගැමුණු රජ දවසේ සිට කතරගම දේවාලයේ සිදු කරන බක්මහා අවුරුදු චාරිත්‍ර

නව අවුරුදු උදාවීමට පෙර 13 වැනි දින කතරගම දේවාලය ඉදිරිපිට දර දමා සුබ නැකතකින් දර ළිපේ ගිනි මෙලවීම කපු මහතුන් විසින් සිදු කරති.

මැණික් ගඟෙන් මැටි මුට්ටියකට පිරිසිදු ජලය රැගෙන එන කපු මහතා විසින් මෙම මුට්ටිය ළිපේ තැබීම සිදු කරති.

දේවාලයේ රාජකාරි ඉටුකරන පිරිස් විසින් අතු දන්දළම යට පොල් ගා විවිධ වූ ඖෂධ මිශ්‍ර කර මෙම කිරි සකස් කර දේවාලයේ ඉදිරිපිට දැල්වෙන කිරි ඉතිරවීමට සකස් කළ මට්ටියට මෙම කිරි ලබා දීම සිදුවේ.

මෙහි දී දේවාලයේ දවුල්කාර රාජකාරිකරුවන් විසින් බෙර වයමින් මෙම චාරිත්‍රය ඉටු කරන අතර බස්නායක නිලමේවරයා සහ ප්‍රධාන කපුමහතා ගේ අධීක්ෂණය මත මෙම කිරි ඉතිරවීම සිදු කරති. කිරි ඉතිරවීමෙන් පසුව මහා දේවාලය ප්‍රමුඛ දේවාලයන් වසා තැබීම සිදුවේ. මෙම ඉතිර වූ කිරි කතරගම ජනයා පැමිණ සිය නිවෙස් වෙත බෝතල් තුළ දමාගෙන ගොස් සිය පවුලේ අයගේ හිසේ ගෑම සිදුවන තවත් ක්‍රියාවකි.

නව වසරේ දී දේවාලය විවෘත කර සිදු කරන චාරිත්‍ර

14 වැනි දින නව වසර උදාවීමත් සමග සවස සුබ මොහොතින් කපුමහතුන් සහ බස්නායක නිලමේවරයා විසින් විවෘත කිරීම සිදුවේ.

දේවාලයේ විවෘත වීමත් සමග අපුරු චාරිත්‍ර රැසක් සිදුවේ. කතරගම දෙවියන්ගේ වෙලේ අලුත් වී සහල් සහ දේවාලයට අයත් කුඹුර ඉඩම්වල වී සහල් දේවාලයේ නිල රාජකාරිකරුවන්ට ලබාදීම බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සහ දේවාලයේ අධිකරම් මහා බේත්මේ ලේකම්තුමා විසින් මුලින් ම ආලාත්ති අම්මාලා වෙත ලබාදීම සිදුවේ.

දුටුගැමුණු රජ දවසේ සිට කතරගම දේවාලයේ සිදු කරන බක්මහා අවුරුදු චාරිත්‍ර

අනතුරුව දේවාලයේ නිලපංගු පේවෙනි පංගු රාජකාරිකරුවන් වෙත මෙම වී සහල් ලබාදීම සිදුවේ.

මෙදින සවස බුත්තල පැල්වත්ත ගම් පහේ කත් නිල රාජකාරිකරුවා විසින් දේවාලයේ ගොඩමඩ ඉඩම් වල එළවළු, පැණි හකුරු, බුලත් පුවක් සහිත ද්‍රව්‍ය රීදී බන්දේසියක තබා බස්නායක නිලමේතුමා වෙත ලබා දීම සිදුවේ.

මෙම ද්‍රව්‍ය බස්නායක නිලමෙතුමා සහ මහාබේත්මේ ලේකම්තුමා විසින් පරීක්ෂා කර නැවත කත්නිලයාට භාර දීමෙන් අනතුරුව එම බන්දේසිය දෙවියන්ගේ මුළුතැන් දානය පිළියෙල කරන මුළුතැන් ගෙයට ලබා දීම සිදුවේ.

14 වැනි දින රාත්‍රි සුබ නැකතකින් දෙවියන් වැඩමවන වාසනා හස්තියා පිට වත පුටුව සකස් කර දෙවියන් වැඩමවා අවුරුදු මංගල්‍යය පවත්වයි.

උඩරට පහත රට, සබරගමුව, සහ දකුණේ නැටුම් අංග එක්කර මෙම පෙරහැර මංගල්‍යය සිදුකරති.

දෙවියන් වැඩමවා ගෙන වල්ලි අම්මා දේවාලය වෙත පැමිණෙන පෙරහැර වල්ලි අම්මා දේවාලයේ දී චාරිත්‍ර ඉටුකිරීමට කපුමහතුන් ක්‍රියා කරති.

පසුව නැවත මහා දේවාලය වෙත පෙරහැර ගමන් කර අවසන්වේ.

● දේවාලය දැකුම් කියවීමේ චාරිත්‍රය

(දැකුම් කියවීම)

දුටුගැමුණු රජ දවසේ සිට කතරගම දේවාලයේ සිදු කරන බක්මහා අවුරුදු චාරිත්‍ර

රුහුණු මහා කතරගම දේවාලයේ වර්ෂයේ මුල්දිනය ආරම්භ වන්නේ බක් මාසය මුල්කර ගෙනයි. නව වසර උදාවීමෙන් පසුව ප්‍රථම පූජාව සිදු කිරීමට පෙර දේවාලයේ අය වැය කියවීම හෙවත් ( දැකුම් කියවීමේ චාරිත්‍රය) සිදුවේ.

මෙහි දී සිදු වන්නේ දුටුගැමුණු මහා රජතුමා විසින් නියම කළ රජ නියෝගයක් පරම්පරික කපුමහතුන් විසින් සිදු කිරීමයි. දුටුගැමුණු මහා රජතුමා විසින් දෙවියන්ට පූජා කළ රන් සහා රීදී සහිත මාල 09ක් සහිත පෞරණික වස්තූන් තැම්පත් කරන ලද රන් බන්දේසික් හිස මත තබා ගන්නා කපුමහතා විසින් මහජනයාට පෙන්වා දේවාලයට ලැබුණු පුද පඬුරුවල විස්තරයක් අපූරුවට කියා පායි.

මෙම චාරිත්‍රය ඉටු කිරීමට පෙර කපුමහතුන් විසින් ශරීරයේ නව පෙළක් බිම ස්පර්ශවන පරිදි දොහොත් මුදුන් තබා වැඳීම සිදු කර දෙවියන්ගේ අයවැය කියවීම පිණිස අවසරය ගන්නා අයුරු ඉතාමත් භක්තියක් දක්වන දසුනකි.

මෙම චාරිත්‍රයෙන් පසුව දේවාලයේ නිල රාජකාරිකරුවා සහ කපුමහතා අතර සංවාදයක් සිදුවේ. කපුමහතා විසින් මෙසේ අසයි. අද රුහුණු මහා කතරගම දේවාලයේ දැකුම් කියවීම සිදු කරනවා. බලන්න බස්නායක නිලමේ ඉන්නවා ද කියලා. පණිවුඩකරු ඔව්, ඉන්නවා කියා පවසයි. කපුමහතා නැවත රාජකාරි 18 දෙනා ආලාත්ති අම්මලා 12දෙනා දේවාලයේ මහාබේත්මේ සහා කුඩා බේත්මේ ලේකම්තුමා ප්‍රමුඛ රාජකාරිකරුවන් පැමිණ සිටිනවා දැයි දැකුම් කියන කපුමහතා පණිවුඩකරුවාගෙන් අසයි.

එවිට පණිවුඩකරු විසින් සියලුමදෙනා පැමිණ ඇති බව පවසයි. ඉන් පසුව කපුමහතා විසින් 2022 අය වැය හෙවත් දැකුම් කියවීම සිදු කරති.

රුහුණු මහා කතරගම දේවාලයට මෙම වසරේ පුසාම් මල් දම් වැල් මාල 10,000ක් ලැබණා. රන් දම්වැල් මාල 10,000ක් ලැබුණා. සළුපට 10,000ක් යනුවෙන් බන්දෙසියේ ඇති පෞරාණික වස්තුන් පිළිබඳව පවසන කපුමහතා පවසා අවසානයේ මෙසේ පවසයි.

රුහුණු මහා කතරගම දේවාලයට අති විශාල පුද පඬුරු ප්‍රමාණයක් ලැබුණා. දේවාලයේ මාලිගය පිරිගියා පසුව එවා එළියට ඇඳලා දැම්මා. පසුව දේවාලයත් පිරුණා. පසුව වැලි මළුවට ඇද්දා. එත් පිරුණා පස්සේ බස්නායක නිලමේ වලව්වට ඇද්දා එතැනත් පිරුණා. පස්සේ රාජකාරිකරුවන් එක්ක උදුලුවලින් එවා මැණික් ගඟේ දහියා තොටුපොළට ඇදලා තමයි යංතම් දේවාලයේ ඉඩ අරන් දෙයියන්ගේ පූජාවට ඉඩ ගත්තේ යනුවෙන් කපුමහතා පවසයි.

අද දින කතරගම දේවාලයේ 2022 නව වසරේ ප්‍රථම පූජාව අපි සිදු කරනවා රටේ සියලුම ජනයාට දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා, රටේ ගොවි ජනයාගේ බවභෝග, අටුකොටු සරුසාර වේවා කියලා ප්‍රාර්ථනා කරන බව පවසා නව වසරේ ප්‍රථම පූජාව කපුමහතා විසින් සිදු කරති.

දුටුගැමුණු රජ දවසේ සිට කතරගම දේවාලයේ සිදු කරන බක්මහා අවුරුදු චාරිත්‍ර

මේ සම්බන්ධ රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපුමහතාව සොමීපාල ටී. රත්නායක කපුමහතා සඳහන් කළේ කතරගම දේවාලයේ පැවැත්වෙන මංගල්‍යයන් 04ක් වන බවයි. කප්සිටුවීමේ මංගල්‍යය ඇසළ මංගල්‍යය ඉල්මහා මංගල්‍යය සහා අවුරුදු මංගල්‍යය යන මංගල්‍යයන් ප්‍රධාන බවයි. ඉල්මාසයේ දී රටේ ගොවිතැනට අවශ්‍ය වැසි ජලය ලැබේවා කියා ප්‍රර්ථනා කර දෙවියන්ගේ ආශීර්වාදය පතා ඉල්මහා මංගල්‍යය සිදු කරන බවත් පසුව එම කන්නයේ කුඹුරුවල සහ ගොඩමඩ ගොවිතැනෙන් ලබාගන්නා අලුත් සහල්, එළවළු, පලතුරු, කිතුල් පැණි අදි දේවල්වලින් දෙවියන්ට සකස් කළ දේව දානය පිළියෙල කර අලුත් අවුරුදු මංගල්‍යයට තැබීම පිණිස අවුරුදු මංගල්‍යය සිදු කරන බව ප්‍රධාන කපුමහතාවන සොමීපාල ටී. රත්නායක කපුමහතා සඳහන් කරන ලදි.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේ කතරගම දේවාලයේ සිදු කරන චාරිත්‍ර අතර සියලුම චාරිත්‍ර නැකත් වෙලාවකට අනුව සිදු කරන මංගල්‍යයක් බවයි. අවුරුදු චාරිත්‍ර සියල්ල ම පුරාණ චාරිත්‍ර සාම්ප්‍රදායන්වලට මුල් තැන දෙමින් සිදු කරන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරන ලදි.

කතරගම කේ. ඩී. දේවප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment