අපිට දැන් වුවමනා විදෙස් ටෙස්ට් ජයග්‍රහණයි

370

තරඟ දිනනවා වගේම අපි ඊළඟ නායකයත් හදන්න ඕන
ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න කියයි

අයර්ලන්තයට වඩා ටෙස්ට් පිටියේ හොඳ කණ්ඩායම් ඉදිරියේ සාර්ථකවීම වැදගත් බවත් විශේෂයෙන් විදෙස් රටවලදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය කිරීමට කණ්ඩායම සූදානම් විය යුතු බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නගේ අදහස වී තිබේ.

එවැනි විදෙස් තරගාවලි ජය ගැනීම රටක් ලෙස ඉතා වැදගත්වනු ඇති බවද ඒ සඳහා එම රටවල පැවැත්වෙන තරගවලදී ලොකු ලකුණු ප්‍රමාණයකින් ජය ගැනීමට සැලසුම් සකස් කර ගැනීමද වැදගත් බව දිමුත් කියා සිටී.

අයර්ලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවූ දෙවැනි ටෙස්ට් තරගය ද ඉනිමකින් හා ලකුණු 10කින් ජය ගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී දිමුත් කරුණාරත්න මේ බව පැවැසීය.

“අයර්ලන්තයට එරෙහි තරගාවලිය හැම පැත්තකින්ම හොඳයි. ලැබූ ජයග්‍රහණය සම්බන්ධව නායකයෙකු ලෙස සතුටු වෙනවා. නමුත් අප කණ්ඩායමක් ලෙස මෙයට වඩා යමක් කළ යුතුයි කියා සිතනවා. අයර්ලන්තය වගේ කණ්ඩායමක් නොවෙයි. ටෙස්ට් පිටියේ ඔවුන්ට වඩා හොඳ කණ්ඩායමක් ඉදිරියේ සාර්ථකවීම වැදගත්. විශේෂයෙන්ම විදෙස් රටවලදී පවත්වන ටෙස්ට් තරගවලදී ලබාගන්නා ජයග්‍රහණ විශේෂයි. අප ඒ සඳහා සූදානම් විය යුතු වෙනවා. විදෙස් රටකදී පැවැත්වෙන තරගවලදී ලොකු ලකුණු ප්‍රමාණයකින් ජය ගැනීමට අප සැලසුම් සකස් කර ගත යුතුයි. මේ තරගාවලියේදී පිතිකරුවන්ගේ විශ්වාසය හොඳින් වැඩි දියුණු වුණා. ඔවුන් ලකුණු ලබා ගැනීම තුළින් මානසික තත්ත්වය උසස් මට්ටමකට පැමිණියා. අපට අවශ්‍ය වුණේ ක්‍රීඩකයන්ගේ විශ්වාසය ගොඩක් උඩට ගන්නයි.”

මෙයට මාසයකට පමණ පෙර නවසීලන්තයේ පැවැති ටෙස්ට් තරගාවලිය අතතුරදී ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වීම පිළිබඳ දිමුත් කරුණාරත්න කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හෙතෙම පැවැසූවේ නායකත්වය සම්බන්ධයෙන් තේරීම් කමිටුව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවයි.

“මා එම ප්‍රකාශය කළ පසු නායකත්වයෙන් අයින් වෙන්නේ නැතිව තව ටික කාලයක් ඉන්න කියා තේරීම් කමිටුව ඉල්ලීම් කළා. මට අවශ්‍ය වුණා තේරීම් කමිටුව සමග තවදුරටත් කතා කරන්න. මේ අයර්ලන්ත තරගාවලිය අතරතුරදී ඔවුන් සමග සාකච්ඡා කිරීමට අපේක්ෂාවෙන් සිටියා. නමුත් අවස්ථාවක් උදා වුණේ නෑ. ඉදිරියේදී තේරීම් කමිටුවේ සැලසුම් හා අපේක්ෂා පිළිබඳ සාකච්ඡා කරන්න අවස්ථාව තියෙනවා. ඉන් අනතුරුව නායකත්වයේ සිටිනවාද? නැද්ද? යන්න ගැන යමක් කියන්න පුළුවන් වෙයි. තව අවුරුද්දක් ඉන්නවාද? දෙකක් ඉන්නවාද? වෙන කෙනෙකුට දෙනවාද? යන්න සාකච්ඡා කළ යුතුයි. තරග දිනනවා වගේම අපි ඊළඟ නායකයා හදන්නත් ඕනේ. දැනට කණ්ඩායමේ සම වයසේ ඉන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනකු ඉන්නවා. ඔවුන්ගෙන් අයෙකුට නායකත්වය ලබාදීම කළ යුතුයි. ටෙස්ට් ශූරතාව වසර දෙකක් යන නිසා නායකත්වය පිළිබඳ සැලසුමක් තියෙන්න අවශ්‍යයි. මොකද මාත් වයසට යනවා. කල් ඇතිව වගකීම් පැවැරීම කණ්ඩායමේ දියුණුවට හොඳ යැයි” දිමුත් කරුණාරත්න එහිදී ප්‍රකාශ කර සිටියේය.

අයර්ලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරඟයේදී කණ්ඩායමේ සැලසුම් සාර්ථක වූ ආකාරය පිළිබඳව ද දිමුත් එහිදී අදහස් දැක්වීය.

“ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 500ක් අයර්ලන්තය ගත්තාම අපි ලකුණු 700ක් ගහන්න ඕනේ කියා හිතුවා. අපේ පිතිකරුවන් ලකුණු වේගය හොඳින් පවත්වාගෙන ගියා. ඇන්ජලෝ හා කුසල් වේගයෙන් ලකුණු ලබා ගැනීම අපට වාසියකන් වුණා. ඉන් පසුව අපි සැලසුම් කළා ජයග්‍රහණය කරන්න. අසිත, ප්‍රභාත් හා රමේෂ් හැම පන්දුවක්ම යැව්වේ පිතිකරුවන්ට හිසරදයක් වෙන්න. අසිත යෝකර් එකයි බවුන්සර් එකයි හොඳින් යැව්වා. රිවර්ස් ස්වින්ග් එකක් තිබුණා. ඒ නිසා අසිතව අපි හොඳින් භාවිතා කළා. ඒ උපක්‍රමය දවසේ හොඳින් වැඩ කළා”

සිය පළමු ටෙස්ට් ශතකය ද්විත්ව ශතකයක් බවට පරිවර්තනය කර වසර 36 කට පසුව එවැනි දස්කමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රදර්ශනය කළ තමාගේ සහයක ආරම්භක පිතිකරු පිළිබඳව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට දිමුත් පිළිතුරු දුන්නේ මෙසේය.

“ආරම්භක පිතිකරුවෙකු ලෙස නිශාන් මධුෂ්කගේ ක්‍රීඩා විලාශයට මා හරිම කැමතියි. ඔහු තුළ තියෙන්නේ හරිම සැහැල්ලු ක්‍රීඩා විලාශයක්. ඔහුගේ ක්‍රීඩා විලාශය හරිම සංවිධානාත්මකයි. ඔහු දන්නවා වේලාවට වැඩ කරන විදිහ. මොන වේලාවෙද පහර එල්ල කරන්නේ කියා ඔහු හොඳින් සැලසුම් කරනවා. දැන් නිශාන් දන්නවා ටෙස්ට් පිටියේ ලකුණු 200ක් ගහන විදිහ. ඉදිරියේදී ලකුණු 300ක් හෝ එයට වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්නේ කොහොමද කියා ඔහු දැන් දන්නවා. පිතිකරුවෙකු ලෙස ඔහුට හොඳ අනාගතයක් තියෙනවා.”

එහිදී ඔහු කුසල් මෙන්ඩිස් පිළිබඳවද මෙසේ සඳහන් කර සිටියේය.

“ ක්‍රීඩකයෙකුට වැදගත් වන්නේ විශ්වාසය. ලකුණු අතරට ඇවිත් විශ්වාසය වැඩි කර ගන්නේ කොහොමද කියන එක තමයි පළමු දේ. ලකුණු තියෙනවා නම් පිතිකරුවෙකුට බයක් නෑ. දිගින් දිගටම විශ්වාසය ස්ථාවරව තබා ගැනීමත් වැදගත්. මා නායකයෙකු ලෙස කැමැති නෑ ක්‍රීඩකයෙකු පහර දෙන ස්ථානය වෙනස් කරන්න. පිතිකරුවෙකුට ස්ථානය පිළිබඳ විශ්වාසය වැදගත්. කුසල් මෙන්ඩිස් කලින් ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළා. දැන් ඔහු ස්ථීරවම අංක තුන ස්ථානයේ ක්‍රීඩා කරනවා. ඔහුට හොඳ විශ්වාසයක්

ගොඩනැගී තිබෙනවා. කුසල්ගේ එකම ප්‍රශ්නය තිබුණේ දීර්ඝ ඉනිම් ගොඩනගා නොතිබීමයි. නමුත් ද්විත්ව ශතකය වාර්තා කිරීමත් සමග ඔහු ඔප්පු කළා දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කිරීමේ කුසලතා ඔහු සතු බව. කුසල් ටෙස්ට් තරගවලට අමතරව එක්දින හා විස්සයි 20 තරගවලට ක්‍රීඩා කරනවා. මේ අංශ තුනේම ක්‍රීඩා කිරීම ලෙහෙසි නෑ. කුසල් කණ්ඩායමට අවශ්‍ය දේ ලබාදීම සතුටුයි.” දිමුත් පැවැසීය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙතෙක් ශ්‍රී ලංකාව සහභාගී වූ ටෙස්ට් ක්‍රිකට් තරග 43කින් තරග 25ක ජය වාර්තා කර ඇති හෙයින් ලබාදෙන තණතිල්ල සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු දිමුත්ගෙන් ප්‍රශ්න කළේය.

“අපි ඉල්ලන්නේ මුල් දවස් තුනේ හොඳින් පන්දුවට පහරදී අනතුරුව පන්දු යවන්නන්ට හොඳ විකට්ටුවක් ලබාදෙන ලෙසයි. ඒ කියන්නේ 50ට 50 පමණ දෙපැත්තටම සමබර විකට් එකක් අප ඉල්ලන්නේ. මොකද ටෙස්ට් තරගයක් මලානික ලෙස අවසන් විය යුතු නෑ. හොඳ තරගයක් දැක බලා ගැනීමට හොඳ විකට්ටුවක් අවශ්‍යයි. ගාල්ල අපට කොහොමත් වාසිදායකයි. අපේ දඟ පන්දු යවන්නන්ට ලොකු සහයෝගයක් ලැබෙනවා. අපට මීළග ටෙස්ට් තරගාවලිය එන්නේ පාකිස්තානයට එරෙහිවයි. ඒ සඳහා හොඳින් සූදානම්වීම අයර්ලන්ත තරගාවලියේ ජයග්‍රහණය වැදගත් වෙනවා” දිමුත් කරුණාරත්න සඳහන් කළේය.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment