කොල්ලකරුවන් පිරිසකගේ පහරදීමකින් මුලතිව් හින්දු පූජකයෙක් ජීවිතක්ෂයට

307

මුලතිව් සිලාවත්ත ප්‍රදේශයේදී හින්දු පූජක වරයෙකු නිවසට ඇතුළු වූ මංකොල්ලකරුවන් පිරිසකගේ පහරදීම් හේතුවෙන් ඝාතනයට ලක්ව ඇති බව මුලතිව් පොලීසිය සඳහන් කරයි. ඒ අනුව මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 69 ක් පමණ වන අප්පාදුරේ වේලයුදම් නමැති පූජකවරයෙකි.

මෙම ප්‍රහාරය ඉකුත් 28 දා රාත්‍රියේ සිදුව තිබේ. ඒ අනුව අදාළ කොල්ලකරුවන් විසින් අදාළ පුජකවරයා ඝාතනය කොට ඔහු සතු වූ ස්වර්ණාභරණ හා මුදල් කොල්ලකා පලාගොස් තිබේ.

අදාළ නිවසේ පූජකවරයාගේ ඥාතීන් වන යුවළක්ද රැඳී සිට ඇති අතර කොල්ලකරුවන් නිවසේ වූ ජනේලයක් කඩා නිවසට ඇතුළුව තිබේ. ඒ අනුව ඇතුළුවූ කොල්ලකරුවන් නිවසේ සිටි පුද්ගලයින් ගැටගසා දමා පූජක වරයාට පහරදී තිබේ. එහිදී අදාළ පිරිස කඩු පොලු රැගෙන මෙසේ නිවසට ඇතුළුව ඇති අතර ඔවුන් නිවසේ වූ පවුම් 15 ක ස්වර්ණාභරණ හා රුපියල් ලක්ෂයක පමණ මුදලක් කොල්ලකා පලාගොස් තිබේ.

ඒ අනුව කෙසේ හෝ නිවැසියන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් අසල්වාසීන්ට දැනුම්දීමෙන් අනතුරුව මුලතිව් පොලීසියට දැනුම්දී තිබේ. එහිදී පුජකවරයා ඝාතනයට ලක්ව ඇති බව අනාවරණයව තිබේ. ඒ අනුව මුලතිව් දිසා අධිකරණ විනිසුරු ආර්. සරවණරාජා මහතා අදාල ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර පසුව මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මුලතිව් දිසා රෝහලට ඇතුළත් කර මරණ පරීක්ෂණයෙන් පසු දේහය ඥාතීන්ට භාර දෙන ලෙසට නියෝග කරන ලදී.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
දිනසේන රතුගමගේ, මුලතිව් ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment