සමාජ මාධ්‍ය නිසා දරුවන්ට හානි වීම: සකර්බර්ග් ප්‍රසිද්ධියේ සමාව ගනී

463

සමාජ මාධ්‍ය ජාල හේතුවෙන් සිය දරුවන්ට හානි සිදු වී ඇතැයි පවසා ඇති පවුල්වලින් ෆේස්බුක් (වර්තමානයේ මෙටා) හා ඉන්ස්ටග්‍රෑම් යන ලොව ප්‍රබල සමාජ මාධ්‍ය ජාලවල හිමිකරු වන මාක් සකර්බර්ග් පෙරේදා (31දා) ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබේ.

අන්තර්ජාලය භාවිත කරන ළමුන් ආරක්ෂා කිරීම සඳහා සමාජ මාධ්‍ය ජාල ප්‍රධානීන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඇමරිකානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය හමුවේ කරුණු දක්වමින් සිටියදී සකර්බර්ග් මෙසේ සමාජ මාධ්‍ය ජාල හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ පවුල්වලින් සමාව අයැද තිබේ. “එසේ සමාජ මාධ්‍ය ජාල හරහා බලපෑමට ලක්වූ දරුවන්ට අත්වූ ඉරණම වෙනත් කිසිවෙකුට අත් නොවිය යුතුයි. එය භයානකයි” යැයි සකර්බර්ග් සමාව අයදමින් කියා තිබේ.

ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් ප්‍රධානී සකර්බර්ග් මෙන්ම සෙසු සමාජ මාධ්‍ය ජාල වන ‘ක්ටොක්’, ‘ස්නැප්’, ‘එක්ස්’ (ට්විටර්) හා ‘ඩිස්කෝඩ්’ යන සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රධානීන් කැඳවා අන්තර් ජාලය භාවිත කරන ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව පැය හතරක කාලයක් ඔවුන්ගෙන් කරුණු විමසීමට ඇමරිකානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය විසින් පෙරේදා පියවර ගෙන තිබේ. මෙහිදී ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා දැඩි බලපෑමකට ලක්වූ හා ඒ හේතුවෙන් සියදිවි නසා ගත් දරුවන්ගේ දෙමවුපියන් ඇතුළු පවුල්වල සාමාජිකයන්ද මෙම අවස්ථාව දැකබලා ගැනීම සඳහා පැමිණ සිට ඇති අතර අදාළ සමාජ මාධ්‍ය ජාල හිමිකරුවන් වෙත එම ආයතන විසින් ළමුන් ආරක්ෂා කිරීමට කිසිදු පියවරක් නොගත් බවට සෙනෙට් මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් පවසද්දී රැස්ව සිටි පිරිස අත්පොලසන් දී තිබේ. මෙහිදී රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභික ජෝෂ් හෝලි සකර්බර්ග්ගෙන් කරුණු විමසමින් සිටියදී ළමුන්ට හානි වන ආකාරයේ අසැබි දර්ශන ඇතුළු හානිකර දර්ශන සිය සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ පවුල්වලින් සමාව ඉල්ලා සිටිය හැකිදැයි විමසූ විට පැමිණ සිටි පිරිස දෙසට හැරුණු ෆේස්බුක් ප්‍රධානියා ප්‍රසිද්ධියේ ඔවුන්ගෙන් සමාව අයැද සිටි බව විදෙස් මාධ්‍ය පවසයි. මෙහිදී ස්නැප් සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධානි එවන් ස්පිගල් ද පැමිණ සිටි පිරිසෙන් සිය සමාජ මාධ්‍ය ජාලය හරහා ළමුන්ට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment