පාර්ලිමේන්තුවෙන් මාධ්‍යවේදීන්ට දුන් කෑම එකේ ගෝනි නූලක්

209

කෑම විෂ වෙලා පොලිසියේ දෙදෙනෙකුත් රෝහලේ

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ට ඊයේ (23) දහවල් පාර්ලිමේන්තුවෙන් දිවා ආහාරය සමග ලබාදුන් හාල් මැස්සන් බැඳුමේ තිබී අඩියකට ආසන්න දිග ගෝනි නූලක් හමුවිය.

මාධ්‍යවේදියකු ආහාර ගනිමින් සිටියදී ඔහුට මෙම ගෝනි නූල හමුවීමෙන් පසු ඔහු ඒ අවස්ථාවේදීම භෝජන අංශයේ ප්‍රධානීන්ට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ගෝනි නූල ඔවුන්ට භාර දී ඇත.

හාල්මැස්සන් බැදුමේ තිබී ගෝනි නූල හමුවීමෙන් පසුව ඇතැම් මාධ්‍යවේදීහු ඒ මොහොතේම ආහාර ගැනීම නවතා දැමූහ.

මේ අතර පාර්ලිමේන්තු භෝජන අංශයෙන් මාධ්‍යවේදීන්ට ඊයේ දහවල් සැපයුණු ආහාර වර්ග දෙකකින් පිළුණු රස දැනුණු බව ද පාර්ලිමේන්තු මාධ්‍යවේදීහු පවසති.

පාර්ලිමේන්තුවේ භෝජන අංශයෙන් සැපයුණු ආහාරවල තිබී පණුවන්, ප්ලාස්ටික් කැබලි, තංගුස් නූල් කැබලි වැනි දෑ මීට පෙරද වරින් වර සොයා ගැනිණ.

පාර්ලිමේන්තුවේ භෝජන අංශයෙන් පෙරේදා (22) සැපයුණු මාළු විෂවීමෙන් පොලිස් නිලධාරීහු දෙදෙනෙක් දැඩි ලෙස රෝගාතුරව නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව ඔවුහු ගිලන් රථයකින් රෝහල්ගත කරනු ලැබූහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ නියමයෙන් පරීක්ෂණයක් දැනටමත් ආරම්භ වී ඇත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment