අද වැනි දිනෙක ලක්මවට සමුදුන් පොදුජන ජනපති ආර්. ප්‍රේමදාස

293

අප රටේ බොහෝ පාලකයන්ගේ සමුගැනීමෙන් පසු, ඔහු පිළිබඳ ඇත්තේ හුදු මතකයක් පමණි. එය වරෙක සීමිත මතකයකි. තවත් වරෙක අමතක කිරීමට උත්සුක මතයකි. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අප අතරින් වියෝවී මැයි මස 01 දිනට වසර තිහකි. ඔහු පිළිබඳ ජන මතකය විමසීමේදී, මෙරට පාලනයෙන් සමුගත් බොහෝ පාලකයන්ට වඩා වෙනස් මතකයක් ජනතා සිත්සතන් තුළ ප්‍රේමදාස නාමය සතුවේ. එයට මූලික හේතුව, රණසිංහ ප්‍රේමදාස මහතා, කලක සිට මෙරට ජනතාව සොයමින් සිටි, තමන්ට වඩාත් ගැළපෙන පාලකයකු වීමයි.

1949 වසරේ ප්‍රේමදාස මහතා සිය සමාජ මෙහෙවර ආරම්භ කරනු ලැබුවේ, කොළඹ නගරයේ, වැඩකරන කම්කරු ජනතාව සමගිනි. එහිදී ඔහුට අවශ්‍ය මඟපෙන්වීම කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතා වෙතින් හිමිවිය. එවක සිටි වාමාංශික නායකත්වය සිය දේශපාලන ප්‍රවාහය, තුළින් තම දේශපාලනික බලකොටු රැකගැනීම සඳහා කම්කරු ව්‍යාපාරය භාවිත කිරීමේදී, ගුණසිංහ ප්‍රේමදාස සුසංයෝගය උත්සාහ ගනු ලැබූවේ, වැඩකරන ජනතාවගේ උපරිම දායකත්වය හා මැදිහත් වීම තුළින්, ඔවුන්ගේ අයිතීන් දිනාදීම හා එමගින් ඔවුන්ගේ දරිද්‍රතාව අවම කිරීමටයි.

මෙවන් ආකාරයකට මෙරට පැවති සාම්ප්‍රදායික දේශපාලන ක්‍රියාදාමයෙන් බැහැරව, තම ඇසුරේ සිටි කොළඹ නාගරික දුප්පතුන් ආකර්ෂණය වූ, සමාජ දේශපාලනික ක්‍රියාදාමයක නිරත වූ ප්‍රේමදාස මහතා, තම නිවහන තුළින් ඇරඹී ශ්‍රී සුචරිත ව්‍යාපාරය, එහි පැවැත්ම සඳහා නොමඳව දායක කරගනු ලැබීය.

1977 බලයට පත් එක්සත් ජාතික පක්ෂය, මෙරට හයෙන් පහක ජනතා විශ්වාසී ජයග්‍රහණ හිමිකර ගැනීමට රටේ බහුතරය නියෝජනය කළ දුප්පතුන් හා අවම ආදායම්ලාභීන්, ආකර්ෂණය වූ, මෙම ‘ප්‍රේමදාස සංකල්පය’ මහත් සේ හේතු විය.

එක්සත් ජාතික පක්ෂ රජයේ අග්‍රාමාත්‍ය හා පළාත් පාලන, නිවාස සහ ඉදිකිරීම්, මහාමාර්ග අමාත්‍ය ධුරය හිමිවීමත් සමගින්, ප්‍රේමදාස මහතා අප්‍රමාදව තමන්ට සුපුරුදු ජන චින්තනයට අනුව, ජනතා මෙහෙවර ආරම්භ කරනු ලැබීය. යාපහුව බඩල්ගම

ගම්මානය සොයා ගිය ප්‍රේමදාස මහතා, දුගී දුප්පත් පවුල් සමූහයකට ස්ථීර නිවහනක අයිතිය ලබාදී, ඔවුන්ගේ දුප්පත්කමට විසඳුමක් ලබාදීමට උත්සුක විය. එම උදාගම් උදාව උදාගම් ව්‍යාපාරයේ සමාරම්භයයි. එම අත්දැකීම තුළින් නිවාස ලක්ෂය, නිවාස දසලක්ෂය, නිවාස පහළොස් ලක්ෂය වැනි ජාතික නිවාස වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කළ ප්‍රේමදාස මහතා, සිය ජන සහභාගිත්ව සංකල්පය උපරිම ලෙසින් මෙම නිවාස වැඩසටහන සඳහා එක්කළහ.

කිසියම් රාජ්‍ය මැදිහත් වීමක් මත, සැලකිය යුතු රාජ්‍ය අරමුදල් භාවිතයකින්, සීමිත පිරිසකට නිවාස ඉදිකිරීමේ ක්‍රියාපිළිවෙත එතෙක් පැවති සෑම රජයකම නිවාස සංවර්ධන පිළිවෙත විය. ඒ වෙනුවට, සැබෑ නිවාස අවශ්‍යතාව පවත්නා සියලු නිවාස අපේක්ෂිත ජනතාව සඳහා එම ජනතා සහභාගීත්වයෙන්, ඔවුන්ට සරිලන නිවසක් ඉදිකිරීමේ පුළුල් ජනාවාස සංවර්ධන වැඩසටහනක් ප්‍රේමදාස මහතා විසින් සිය උදාගම් ව්‍යාපාරය මගින් ජනගත කළහ. බොහෝ කාලයක් ජනතාව අපේක්ෂාවෙන් සිටි මෙම ජන සහභාගීත්ව නිවාස වැඩසටහන, මෙරට බහුතර ජනතාව ජීවත්වූ ගම තුළත්, වඩාත් සංකීර්ණ ගැටලු පවත්නා නගරයේ මෙන්ම, මෙරට ආර්ථිකය සවිමත් කරන වතුකරයේ ජනතාවගේ නිවාස ගැටලුව සඳහා අපේක්‍ෂිත විසඳුම ලබාදුන් හෙයින් ඔවුන් මෙම වැඩසටහන මහත් ලෙන්ගතුව ක්‍රියාත්මක කරන ලදී.

මේ සඳහා මෙතෙක් මෙරට පැවති නිවාස දෙපාර්තමේන්තුව ප්‍රායෝගිකව දායක කරගැනීම අපහසු බව පෙනීයෑම හේතුවෙන්, ජන සහභාගීත්ව නිවාස සංවර්ධන කාර්ය වඩාත් ඵලදායී ලෙසින් ක්‍රියාත්මක කිරීම සඳහා 1979 වසරේදී, ප්‍රේමදාස මහතාගේ පාර්ලිමේන්තු යෝජනාවකට අනුව, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ස්ථාපිත කරන ලදි.

එම අධිකාරියේ දායකත්වයෙන් ක්‍රියාත්මක වූ ජන සහභාගීත්ව නිවාස සංකල්පය ශ්‍රී ලාංකික ජනතාව ආකර්ෂණය කරගත් නව්‍ය වැඩසටහනක් විය. එමෙන්ම එය ලොව සෙසු රටවලට මෙන්ම ජාත්‍යන්තර ලෝකයට අලුත් අත්දැකීමක් විය. එහි ප්‍රතිඵලයක් ලෙසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතා විසින් නිවාස නොමැති ලෝක ප්‍රජාව වෙනුවෙන් ‘1987 ජාත්‍යන්තර නිවාස වසර යෝජනාව’ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යෝජනා කොට ක්‍රියාවට නැංවූ අතර, ඉන් අනතුරුව වාර්ෂිකව ‘ලෝක ජනාවාස දින සැමරුම’ ලොව සෑම රටකම සිදුකෙරෙන්නේ අගමැති ප්‍රේමදාස මහතාගේ ජගත් යෝජනාවක ප්‍රතිඵලයක් ලෙසිනි.

සැබෑ ජනතා නියෝජනය සහ සහභාගීත්වය රටේ බහුතරය ජීවත්වන ගමේ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය බව දැඩිව විශ්වාස කළ ප්‍රේමදාස මහතා, ගමේ සැබෑ ජනතා නියෝජනයෙන් ග්‍රාමෝදය මණ්ඩලය නිර්මාණය කළ අතර, එය පසුකලෙක මෙරට සමස්ත ග්‍රාමීය සංවර්ධනයේ තීරක බලවේගය විය.

දුප්පතුන් සඳහා ප්‍රමාණවත් ලෙසින් නිවාස සම්පාදනය සඳහා රාජ්‍ය අරමුදල් ප්‍රමාණවත් නොවූවිට, එයින් පසුබට නොවුණු ප්‍රේමදාස මහතා, ඒ සඳහා රාජ්‍ය අරමුදලින් බැහැරව මූල්‍ය සම්පත් සපයන විකල්පීය වැඩසටහනක් ලෙස ‘සෙවණ අරමුදල’ නිර්මාණය කළහ. ඇති හැකි ජනතාවගේ අරමුදල් පරිත්‍යාගයෙන් පෝෂණය වූ මෙම අරමුදල් වෙතින්, පෝෂණය වූ සෙවණ අරමුදල දායකත්වයෙන්, ඉතා දිගුකලක් පැල්පත් හා තාවකාලිකව ජීවත්වූ දුප්පත් ජනතාවට කෙටි කලක් තුළ සිය නිවාස සිහිනය සැබෑකර ගැනීමට අවස්ථාව සැලසිනි.

ජනතා සංවර්ධන අවශ්‍යතාව සැබෑ ලෙසින් ඉටුවන බිම් මට්ටමේ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ දැඩිව විශ්වාස කළ ප්‍රේමදාස මහතා, ජාතික සංවර්ධනයේදී එහි ජයග්‍රහණ උපරිම ලෙසින් ජනතාව වෙත හිමිකර දුනි.

නිවාස සංවර්ධනය මුල් කොට ගම් උදාවෙන් ගම සංවර්ධනය කළ ප්‍රේමදාස මහතා, ගම් සමූහයක එක්වීමෙන් නිර්මාණය වූ ප්‍රාදේශිකයක, එවන් වූ ඉලක්කගත සංවර්ධන වැඩසටහනක් නිශ්චිත කාලයක් තුළ ක්‍රියාත්මක කිරීම සිදුකළ අතර, එහි ප්‍රතිලාභී ජනතාව එය හදුන්වා දෙනු ලැබුවේ ‘ප්‍රාදේශීය ගම් උදාව’ ලෙසිනි.

මෙම සාර්ථක අත්දැකීම, දිවයිනේ සංවර්ධන අවශ්‍යතාවන් පවත්නා දිස්ත්‍රික්ක වෙත ඒකාබද්ධ දිස්ත්‍රික් සංවර්ධනයක් ලෙසින් හඳුන්වාදී, වසරක කාලපරිච්චේදයක් තුළ අදාළ දිස්ත්‍රික්කයේ සියලු සංවර්ධන කාර්යයන්, එකාබද්ධ සංවර්ධන වැඩසටහනක් යටතේ ක්‍රියාත්මක කළ අතර, එහි සැබෑ සංවර්ධන ජයග්‍රහණ, එහි ප්‍රතිලාභි ජනතාවට දැකගැනීම සඳහා ‘ගම් උදාව ප්‍රදර්ශන දැක්ම’ නිර්මාණය කරන ලදී.

ගම නගරය හා ප්‍රාදේශීය සංවර්ධනය පොදු ජන ජීවිතයේ වඩාත් තෘප්තිකර සංවර්ධන මිනුම ලෙසින් විශ්වාස කළ ප්‍රේමදාස මහතා, සිය සංවර්ධන කාර්යන්හීදි නිරතුරුව ඒ පිළිබඳ අවධානය යොමු කළහ. එහි ආරම්භක පියවර ලෙසින් යාපහුව උදාගමින් ඇරඹී ජන සහභාගීත්ව සංවර්ධනය එයට වසර පහළොවකට පසු ඔහු නිමා කළේ තමන් මියයෑමට දෙසතියකට ප්‍රථම දීපව්‍යාප්තව ක්‍රියාත්මක කළ ව්‍යාපෘති 15,000 ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන මුළු දිවයින පුරා දියත් කරමිනි.

ජනතා සංවර්ධන ක්‍රියාදාමයන් හී සැබෑ පසු විපරම අදාළ සංවර්ධන කාර්යයේ සාර්ථක අසාර්ථක භාවයට බලපාන බව දැඩිව විශ්වාස කළ ප්‍රේමදාස මහතා, සිය උදාගම් ව්‍යාපාරය ඇරඹී යාපහුව ‘උදාගමින්’ ‘උදාගම් ජංගම සේවාව’ ආරම්භ කරන ලදී. සංවර්ධනය පිළිබඳ වඩාත් ඵලදායී පසු විපරම් වැඩසටහනක් ලෙසින් ක්‍රියාත්මක කළ උදාගම් ජංගම සේවාවේ සාර්ථක ඵලදායීතාව හේතුවෙන්, පසු කලෙක එකී වැඩසටහන අගමැති හා ජනපති ජංගම සේවාව දක්වා ව්‍යාප්ත විය. ගැමි ජනතා ගැටලු, ගම තුළ පවත්නා සම්පත් තුළින් විසඳිය හැකි බව සිය සමාජ මෙහෙවරින් දැනුවත් වූ ප්‍රේමදාස මහතා, ගමේ ජනතාවගේ සෞඛ්‍ය ගැටළු විසඳීම සඳහා ගම් මට්ටමින් සෞඛ්‍ය මධ්‍යස්ථාන ස්ථාපිත කොට, ඒ සෑම මධ්‍යස්ථානයක දේශීය හා බටහිර වෛද්‍ය පහසුකම් ලබාදුනි. මෙරට බහුතර ජනතාව සතු දුප්පත්කම දුරුකිරීම හුදෙක් සහනාධාර ප්‍රදානයෙන් සිදුකළ නොහැකි බව නිරන්තරයෙන් පෙන්වාදුන් ප්‍රේමදාස මහතා, එම ජනතාවගේ ආත්ම අභිමානය සුරැකෙන අයුරින් එම ජනතා සහභාගීත්වයෙන්, ඔවුන් සතු හැකියාව දායක කොට ක්‍රියාත්මක ක්‍රියාවලිය, මෙරට දරිද්‍රතාව දුරුකිරීම සඳහා එකම සාර්ථක ක්‍රියා පිළිවෙත බව, එදා ‘ජනසවිය වැඩසටහන’ තුළින් පෙන්නුම් කරදුනි. මෙරට දුප්පත්කමට විසඳුමක් ලෙසින්, එතෙක් මෙතෙක් ක්‍රියාත්මක වූ කවර හෝ වැඩසටහනට වඩා ජනසවිය වැඩපිළිවෙළ වඩාත් ඵලදායී වැඩසටහන බව එහි ප්‍රතිලාභී ජනතාව මෙන්ම, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන ද, සාක්ෂි දරයි.

නිවහන හා ජනාවාසය මෙන්ම එහි ජීවත්වන ජනතාව වෙත පරිසර හිතකාමී දිවිපෙවෙතක් ලබා දීමේ වැදගත්කම පිළිබඳ නිරතුරුව අවධානය යොමුකළ ප්‍රේමදාස මහතා, පළමු වරට මෙරට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් නිර්මාණය කොට, එහි ක්‍රියාකාරිත්වය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපිත කරන ලදී. එවකට මෙරට ක්‍රියාත්මක වූ නිවාස දසලක්ෂය ජාතික නිවාස වැඩසටහනට අනුව, ඉදිවන සෑම නිවසක් ඇසුරේ පැළ දහයක් රෝපණය කිරීමේ වැඩසටහන දියත්වූ අතර, එය ජන වහරට එක්වූයේ ‘සියක් ලක්ෂයක් රුක් සෙවණේ දශලක්ෂයක් නිවහන්’ වශයෙනි.

දසලක්ෂය නිවාස සංවර්ධනය සමගින් නිර්මාණය වූ දහසක් වූ ග්‍රාමීය ජනාවාසයන්හී ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා, පාරම්පරික ළිං ජලය සැපයීම ප්‍රමාණවත් නොවූ හෙයින්, මෙරට මුල්වරට නළ ළිං ඉදිකිරීම සිදුවූ අතර, එහි ආරම්භක පියවර යටතේ නළ ළිං 25,000 ක් දීපව්‍යාප්තව ඉදිවිය. ප්‍රේමදාස මහතාගේ මගපෙන්වීමෙන් විදෙස් ආධාර විශාල ප්‍රමාණයක් මෙරට ජල ව්‍යාපෘති සඳහා ලබාගත් අතර, එවකට දකුණු ආසියාවේ වඩාත් සාර්ථක ජල සම්පාදිත රාජ්‍යයක් ලෙසින් ශ්‍රී ලංකාව හැඳින්විණි. එමෙන්ම මෙම, ප්‍රේමදාස සංවර්ධන කාලපරිච්චේදය තුළදී මෙරට ජාතික ජල ප්‍රතිපත්තියක් නිර්මාණය වීම හා එය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ජලසම්පාදන ජලාපහන මණ්ඩලය ස්ථාපිත විය.

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා දේශීය ශිල්ප ක්‍රම වැඩිදියුණුව හා විදෙස් ශිල්ප ක්‍රම උචිත අයුරින් ආරෝපණය කිරීමේ අවශ්‍යතාව නිවැරැදිව දුටු ප්‍රේමදාස මහතා, තම දායකත්වයෙන් දිවයින පුරා ක්‍රියාත්මක කළ නිවාස දශලක්ෂය වැඩසටහන සඳහා, මෙරට පාරම්පරික අඩු වියදම් ශිල්ප ක්‍රම නව්‍ය තාක්ෂණ හා මුසුකොට ක්‍රියාවට නැංවූ අතර, මෙම කාර්ය ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිකිරීම් ජාතික ප්‍රතිඵලයක් සකසා එය ක්‍රියාවට නැංවීම වෙනුවෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට අනුබද්ධිතව ඉදිකිරීම් ශිල්පීය පුහුණු අභ්‍යාස ආයතනය ස්ථාපිත කරන ලදී.

මෙම ශිල්ප ක්‍රියාවලියේ සාර්ථකත්වය හේතුවෙන්, ලෝක බැංකුව විසින් පළමු වරට මෙරට දේශීය ශිල්ප ක්‍රම වැඩිදියුණුව සඳහා සිය අනුග්‍රහය ලබා දෙන ලදී. එමෙන්ම එකී වැඩසටහන තුළින් ප්‍රේමදාස මහතාගේ පාලන කාලපරිච්චේදය තුළදී, මෙරට තරුණ තරුණියන් 75,000ක් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත පුහුණුවක් ලැබීය. 1977 වසරේ රජය බලයට පත්වන විට, කොළඹ නගරය බෙහෙවින් ජනාකීර්ණ අවිධිමත් නගරයක් ලෙසින් පැවතිනි.

කොළඹ නගර බහුතරය පැල්පත් හා තාවකාලික නිවාසයන්හී ජීවත්වූ අතර නගර සැලසුමකට අනුගත කාර්යන් එහි ඉටු නොවුණි. නාගරික සංවර්ධන විෂය සමගින් අග්‍රාමාත්‍ය ධුරයට හිමිකම් ප්‍රේමදාස මහතා, 1979 වසරේදී නාගරික සංවර්ධන අධිකාරිය ස්ථාපිත කොට කොළඹ නගරය සැලසුම්ගත නගරයක් ලෙසින් සංවර්ධනය කිරීම හා කෝට්ටේ නගරය ශ්‍රී ලංකාවේ පරිපාලන නගරය ලෙසින් සංවර්ධනය කිරීමේ කාර්යභාරය ඉටුකරන ලදී.

1950 වසරේ කොළඹ නාගරික මන්ත්‍රීවරයකු ලෙසින් ක්‍රියාශීලී දේශපාලනයට ප්‍රවිශ්ඨ වූ ප්‍රේමදාස මහතා එතැන සිය දේශපාලනික දිවියේ නිමාව තෙක් පළාත් පාලන හා ප්‍රාදේශීය පරිපාලනයේ සැබෑ දායකත්වය ජනතාව වෙත ප්‍රදානය කිරීම සඳහා නිරතුරුව කටයුතු කළහ. ප්‍රාදේශීය පරිපාලනය හා පළාත් අයතිනක බලතල වර්ධනය කිරීම හා විශේෂයෙන් කොළඹ මහ නගර සභාව වැනි ආයතනය වඩාත් ආදර්ශමත් පුරවැසි සේවාවක් ඉටුකරන සභාවන් ලෙසින් ලොව දසුන්ගත කොට, ජාත්‍යන්තර ආයතනවෙතින් එවන් ආදර්ශවත් පළාත් පාලන ආයතන නොමද අනුග්‍රහ ලබාගනු ලැබීය.

පළාත් පාලන අයතන මෙන්ම ප්‍රාදේශීය හා ග්‍රාමීය රාජ්‍ය සේවය ජනතා සමීපව සේවාවක් බවට පත්කිරීම උදෙසා ප්‍රේමදාස මහතා විසින් වැදගත් පියවර කිහිපයක් ගනු ලැබීය. දිසාපතිවරයාගේ ප්‍රාදේශීය නියෝජිත ලෙසින් සිටි උප දිසාපති වෙනුවට, තම ප්‍රාදේශීය බල ප්‍රදේශයේ පූර්ණ ඉඩම් බලතල හා වෙනත් නව බලතල සමගින් උප දිසාපති නිල නාමකරණය ප්‍රාදේශීය ලේකම් ලෙසින් නම් වූයේ ප්‍රේමදාස මහතාගේ පරිපාලන තීරණයකට අනුවය.

එමෙන්ම එතෙක් ගම ඇසුරේ සේවය කළ ග්‍රාම සේවක ග්‍රාම නිලධාරි නමින් නම්වූයේද ප්‍රේමදාස මහතාගේ අදහසක් පෙර දැරිවය.

සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ නවීකරණ වෙනස්කම් මගින් මෙරට පෝෂණ තත්ත්වය වර්ධනය විය යුතුය අදහස පෙරදැරිවූ ප්‍රේමදාස මහතා, විදෙස් විනිමය උපයන කර්මාන්ත හැකිතාක් දුරට මෙරට බිහිවීමත්, එවන් කර්මාන්ත සඳහා ශ්‍රමය සපයන ග්‍රාමීය තාරුණ්‍යයේ පදිංචි ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව අදාළ කර්මාන්ත ස්ථාන ගතවීමේ අවශ්‍යතාව නිරතුරුව පෙන්වා දෙන ලදී.

ඒ අනුව එතෙක් කටුනායක හා බියගම ප්‍රදේශ සඳහා සීමා වූ නිදහස් වෙළෙඳ කලාප ගාල්ල, කොග්ගල වැනි ප්‍රදේශ දක්වා විහිදිනි. එමෙන්ම විදෙස් විනිමය ඉපයීම අරමුණු කොට එතෙක් නිදහස් වෙළෙඳ කලාප තුළ මධ්‍යගත වූ ඇඟලුම් කර්මාන්ත ශාලා, හැකිතාක් දුරට එහි ශ්‍රමදායකයන්ගේ ආසන්න ප්‍රදේශ වෙත රැගෙන ගොස්, සේවක තෘප්තිය සමගින් උපරිම නිෂ්පාදනය ලබා ගැනීම මෙම වැඩපිළිවෙළ තුළින් අපේක්ෂා කළ අතර, එකී වැඩසටහනේ ඉලක්කය වූයේ දෙවසරක් තුළ මෙරට විදෙස් විනිමය උපයන ඇඟලුම් කර්මාන්ත ශාලා 200ක් දීපව්‍යාප්තව ස්ථාපිත කිරීමයි.

මෙම ඇඟලුම් කම්හල් 200 වැඩසටහනේ, ප්‍රථම කර්මාන්ත ශාලාව, 1991 වසරේ සැප්තැම්බර් 15 දින ජනාධිපති ප්‍රේමදාස මහතා විසින් යාපහුව උදාගම ඇසුරේ විවෘත කළ අතර, 1993 වසර අවසන් වීමට ප්‍රථම ඇඟලුම් කම්හල් 200 විවෘත කිරීමට සැලසුම් වුවද, ජනාධිපති ප්‍රේමදාස මහතාගේ හදිසි වියෝවට දින දෙකකට ප්‍රථම, 116 වන ඇඟලුම් කම්හල ලෙසින් ජනාධිපති ප්‍රේමදාස මහතා විසින් විවෘත කරනු ලැබුවේ ලක්ෂපාන අඹගමුව ඇඟලුම් කම්හලයි.

මෙරට දරු පරපුරේ උන්නතිය සඳහා නිරතුරුව සිය මෙහෙවර ඉටුකළ ප්‍රේමදාස මහතා, සෙවණ කැපකරු මාපිය වැඩසටහන තුළින් මෙරට දහස් සංඛ්‍යාත දරුවන්ට අවශ්‍ය ආර්ථික පහසුකම් ලබාදී, ඔවුන්ගේ අධ්‍යාපනික දැනුම හා දිවිපෙවෙත ස්ථාවර කරන ලදී.

මෙයට අමතරව මෙරට සියලු පාසල් දරුවන් සඳහා නොමිලේ දිවා ආහාරය සහ නොමිලේ පාසල් නිල ඇඳුම් ප්‍රදානය ප්‍රේමදාස මහතාගේ අදහසකි. එය මෙරට සියලු දරුවන්ට වඩාත් හොඳ පෝෂණ තත්ත්වයක් යටතේ ගෞරවාන්විතව, නිල ඇඳුම් පැලඳ සිය පාසල් අධ්‍යාපන ලබාගැනීමට හිමිවූ මහඟු අවස්ථාවකි.

ප්‍රතිපත්තිගරුක දැහැමි බෞද්ධ නායකයෙකු වූ ප්‍රේමදාස මහතා හැමවිට බුදු දහමට මුල් තැන දෙමින් කටයුතු කළ අතර, කතෝලික, මුස්ලිම් හාහින්දු ආගම් සඳහා ද, ගෞරවාන්විත ස්ථාන හිමිකර දුනි.

සිය ජනාධිපති පාලන සමයේදී, පළමු වරට බුද්ධ ශාසන ආමාත්‍යාංශය ස්ථාපිත කළ ප්‍රේමදාස මහතා එහි මුල්ම අමාත්‍ය ධුරයට පත්විය. එමෙන්ම අසූව දශකයේ සිට මෙරට ඉපැරණි පූජනීය ස්ථාන පිළිසකර කිරීම ප්‍රේමදාස මහතාගේ පූරෝගාමීත්වයෙන් සිදුවිය.

මහනුවර දළදා සමිඳුන්ට රන් වියනක් ඉදිකිරීම, මාළිගාවිල බුදු පිළිමය මෙන්ම අනුරාධපුර මිරිසවැටි සෑය පිළිසකර කිරීම, අනුරාධපුර පූජනීය නගර සංවර්ධනය, හලාවත මුන්නේශ්වරම දේවාලය, තලවිල ශාන්ත ආනා දෙව් මැඳුර, මන්නාරම මඩු පල්ලිය පිළිසකර කිරීම ප්‍රේමදාස මහතා විසින් සිදුකළ සාමයික සේවාවන් කිහිපයකි.

මෙරට සාහිත්‍ය, සංස්කෘතිය හා කලා ශිල්පය වෙනුවෙන් ඉමහත් මෙහෙවරක් ප්‍රේමදාස මහතාගේ පාලන කාලපරිච්චේදය තුළදී සිදුවිය. ජනසහභාගිත්ව නිවාස වැඩසටහන හා විශේෂයෙන් උදාගම් ව්‍යාපාරය හේතුවෙන් නව ගීත කාව්‍ය සමූහයක් මෙරට රචිත සාහිත්‍යයට එක්විය. මෙයට අමතරව ජනහමුව, ජනතා අයිතියට පත්කිරීම වැනි වදන්, පාරිභාෂිත වාග් මාලාවට එක්වූයේ ගම් උදාව ව්‍යාපාරයේ දායකත්වයෙනි.

ජන සහභාගීත්ව නිවාස සංවර්ධනය හේතුවෙන් ප්‍රජා සන්නිවේදන ඉගැන්වීම් හා භාවිතය නව ආරක් ගත් අතර, පසු කලෙක මෙරට ක්‍රියාත්මක වූ බොහෝ ජාතික සංවර්ධන වැඩසටහන් සඳහා ප්‍රජා සන්නිවේදනය දායක කරගනු ලැබුවේ, මෙම ජනසහභාගිත්ව නිවාස සන්නිවේදන වැඩසටහන හේතුවෙනි.

තාරුණ්‍යයේ සිට ක්‍රීඩා කුසලතාවන්ගෙන් හෙබිවූ ප්‍රේමදාස මහතා, සිය පාලන කාලපරිච්චේදය තුළ නිරන්තරයෙන් මෙරට ක්‍රීඩා උන්නතිය උදෙසා සිය උපරිම දායකත්වය ලබා දෙනු ලැබීය. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය හා ඒ ඇසුරේ ඉදිවූ ගෘහස්ථ ක්‍රීඩාංගනය ජාත්‍යන්තර පහසුකම් වලින් හෙබි ක්‍රීඩාංගනයක් බවට පත්වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. මෙයට අමතරව කොළඹ නගර මධ්‍යයේ පැවති වගුරු බිමක් ගොඩකර එහි ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් වලින් හෙබි ක්‍රිකට් ක්‍රීඩාංගණයක් මාස කිහිපයක් තුළදී ඉදිකළ අතර, එය නම් වූයේ ‘කෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය’ ලෙසිනි. දකුණු ආසියාවේ ප්‍රථම විදුලි අලෝකධාරා ක්‍රීඩාංගණය ලෙසින් නිර්මාණය වූ මෙම ක්‍රීඩාංගණ දායකත්වය පසුකලෙක ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනාගැනීමට හේතු විය.

ඉපැරණි රංග කලාව සඳහා ඇළුම්කළ ප්‍රේමදාස මහතා එහි සුරක්ෂිතතාව සමගින් නව පරපුර වෙත එය නැවත සමාජගත කිරීම සඳහා ටවර් හෝල් රඟහල පදනම ස්ථාපිත කරන ලදී. එහි දායකත්වයෙන් පැරණි ටවර් හෝල් රඟහල සහ එල්ෆින්ස්ටන් රංග ශාලාව පිළිසකරකොට ඉපැරණි රංග ශිල්පීන් සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දෙමින් ඔවුන් රැකබලා ගැනීම සිදුකරන ලදී. මෙයට අමතරව ටවර් හෝල් රංග කලා කේන්ද්‍රය තුළින්, ටවර් හෝල් යුගයේ නුර්තින් ඉපැරණි කලා ශිල්පීන්ගේ මග පෙන්වීමෙන් තරුණ ශිල්පීන්ගේ දායකත්වයෙන් නැවත රංගගත කිරීම සිදුකරන ලදී.

රණසිංහ ප්‍රේමදාස මහතා, රාජ්‍ය බලය සමගින් මේ සියලු ජනතා මෙහෙවර ඉටුකරනු ලැබුවේ වසර පහළොවක (1978 – 1993) කාලපරිච්චේදයකදීය. එයින් වඩාත් වැඩි ජනතා සේවාවක් ඔහු විසින් ඉටුකරනු ලැබුවේ, පළාත් පාලන නිවාස ඉදිකිරීම් හා මහා මාර්ග අමාත්‍යවරයා සහ නාමික බලයකට හිමිකම් කී අග්‍රාමාත්‍යවරයා ලෙසින්, එහි මුල් වසර දහයක කාලපරිච්චේදය තුළදීය.

ප්‍රේමදාස මහතා විසින් ඉටුකළ සියලු ජනතා සේවාවන් සැබෑ ජනතා අවශ්‍යතාවට අනුගතවෙමින්, ඔවුන්ගේ සහභාගිත්වයෙන් ඉටුකිරීම, එකී කාර්යන්හී සාර්ථකත්වයට හේතු විය. ජනතා සංවර්ධන අවශ්‍යතාවන් වඩාත් ව්‍යාප්තගතව, ඉලක්කගත අයුරින් ප්‍රතිඵලදායක ලෙසින් ක්‍රියාත්මක කිරීම ප්‍රේමදාස පිළිවෙත විය. ඒ සඳහා නීති රීතී සමගින් ප්‍රතිපත්ති සැකසීම හා එහි ක්‍රියාකාරිත්වය සඳහා නව ආයතන අවැසි අවස්ථාවේදී නිර්මාණය වීම මෙහි ඇති සුවිශේෂීත්වයයි.

සිය දිවිපෙවෙතේ යහපත උදෙසා නිරන්තර වෙනසක් ජනතාව නිරන්තරයෙන් අපේක්ෂා කළ අතර, ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක කළ සියලු සේවා කාර්යන් තුළ ජනතාවගේ අපේක්ෂාවේ වෙනස ඉටුවුනි.

එදා අද කාලපරිච්චේදය තුළ මෙරට සිටි බහුතර පාලකයන්, එලෙස ජනතා අපේක්ෂාවන් ඉටුවන අයුරින් කටයුතු නොකිරීම, වසර තිහකට අනතුරුව වුවද, ප්‍රේමදාස මෙහෙවර කෘතවේදීව ජනතා සිහිගැන්වීමට හේතු වේ.

ලක්විජය සාගර පලන්සූරිය
හිටපු සභාපති
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

advertistmentadvertistment
advertistmentadvertistment