ආණ්ඩුවේ හා විපක්‍ෂයේ ප්‍රධානීන් එක්ව වින්දිතයන්ට වහාම සාධාරණයක් කළ යුතුයි – ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ

72

හැමෝගෙම ඉලක්කය මා වැරැදිකරු කිරීමයි – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

පාස්කු ප්‍රහාරය එල්ල වුණදා තමයි ඡන්ද ප්‍රතිඵලය ලිව්වේ – අනුර කුමාර දිසානායක (ජාජබ)

රටේ ජනතාවගෙන් මේ සත්‍ය යථාර්ථය හංගන්නේ ඇයි?- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

බුද්ධි අංශ ගැන මහජන නියෝජිතයන් මීට වඩා අවබෝධයෙන් ක්‍රියා කළ යුතුයි – වජිර අබේවර්ධන (එජාප)

ප්‍රහාරය ආගමික උන්මාදයක්, දේශපාලනයට පෙරළීම වැරැදියි – සරත් වීරසේකර (ශ්‍රීලපොපෙ)

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන තවදුරටත් කතාවට සීමා නොකර ආණ්ඩුවේ හා විපක්‍ෂයේ ප්‍රධානීන් එක්ව කතාකර වින්දිතයන්ට සාධාරණයක් වන විකල්පයකට වහාම යා යුතු බව අධිකරණ, නීති ප්‍රතිසංස්කරණ සහ බන්ධනාගාර ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22 දා) පැවසීය.

මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) කියා සිටියේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දෙදින විවාදය අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. නිවේදන , ලිපිලේඛන, වාර්ෂික වාර්ථා, පෙත්සම්, ආදිය ඉදිරි්පත් කිරීම ඉන් පසුව සිදු විය. අනතුරුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දිනට නියමිත වූ දෙදින විවාදය ප්‍රථම දිනය ආරම්භ කෙරිණ.

විවාදය ආරම්භ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (සජබ)- පාස්කු ප්‍රහාරය හා ඒ පිළිබඳ කළ පරීක්ෂණ ඒ නිසා පීඩාවට හිංසනයට පත් ප්‍රජාව වෙනුවෙන් සමගි ජන බලවේගය මෙම යෝජනාව ඉදිරිපත්කළා. අපේ උත්සාහය කිසිදු පුද්ගලයකුට දේශපාලන මඩ ගැසීමක් චරිත ඝාතනයක් පුද්ගල විවේචනයක් ඒ තුළින් දේශපාලන වාසි ගැනීම නොව අපේ ප්‍රධාන අරමුණ වන්නේ සත්‍ය කුමක්ද කියා අවබෝධ කර ගැනීමයි. සමහරෙක් කියනවා චැනල් 4 නාළිකාවේ චිත්‍රපටයක් නිසා කරලියට ආ බව. එහෙම කියන්නේ නිද්‍රාශීලී මන්ත්‍රීවරුන්. චැනල් ෆෝ එක අපිට ඒ ගැන කියන්න ඕන නැහැ. අපි නිරතුරුවම පාස්කු ප්‍රහාරය හා එහි මහ මොළකරු හා සත්‍ය ගැන නොයෙකුත් අවස්ථාවල දී කතා කරලා තියනවා. මේ වගේම ප්‍රහාරයකට ඇමෙරිකාව ලක් වුණා. ඒකට කිව්වේ අල්කයිඩා 9යි 11 ප්‍රහාරය කියලා. මම කැමතියි කතානායකතුමාට පෙන්වන්න මං ගාව තියෙනවා 9යි 11 වාර්තාව. ඇමෙරිකා එක්සත් ජනපදය මේ කොමිෂන් වාර්තාවේ කිසිම දේකට කිසිම වාරණයක් දාලා නැහැ. කිසිම තහංචියක් නැහැ. ඒ බොරු හොර කොන්දේසි කෙරෙන්නේ මේ පාර්ලිමේන්තුවේ විතරයි. ඕන අයෙකුට කියවිය හැකියි. අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළේ. ඒ අය සත්‍ය හොයා ගත්තා. ඒ බුද්ධි අංශ අතර තිබුණු සම්බන්ධීකරණය නැති එකත් විවෘතව කතා කළා. ඔවුන් ඒකෙන් පාඩම් ඉගෙන ගත්තා. අපේ රටේ වුනේ මොකද්ද? පාඩම් ඉගෙන ගත්තද? අපේ රටේ තිබෙනවා තේරීම් කාරක සභා වාර්තාව. මලල්ගොඩ වාර්තාව. මේ මලල්ගොඩ වාර්තාවත් හැංගුවා. තොරතුරු දැන ගැනීමේ පනතෙන් තමයි එලියට ආවේ. ඊළගට ජනාධිපති කොමිෂයේ 1 වෙලුම තිබෙනවා. අනික්වා අල්ලන්න අපිට අයිතියක් නැහැ. ඒකට ලයිබ්‍රිය අස්සේ රිංගන්න ඕන. ඇයි රටේ ජනතාවගේ මේ සත්‍ය යථාර්ථය හංගන්නේ. මම මේ රජයට කියනවා කොන්දක් තිබෙනවා නම් මලල්ගොඩ වාර්තාව, තේරීම් කාරක සභා වාර්තාව, කොමිෂන් සභා වාර්තාව හා එහි නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන්න. මම කැමතියි මේ අවස්ථාවේ සාක්ෂි සහිතව මේ සභාවට ඉදිරිපත් කරන්න ඇයි අපි මේ ක්‍රියාවලිය ගැන සැක කරන්නේ කියලා. පළමුවැනි ප්‍රශ්නය තමයි වව්නතිව් ප්‍රශ්නය. පොලිස් නිලධාරීන් 2ක් මැරුවා. පොලිස් නිලධාරින් දෙන්නා මැරුන එක එල්ටීටීඊ එකට පැටෙව්වා. සීඅයිඩි එක නොමග යැව්වා.

දෙවැනි සැක සහිත දෙය තමයි පාස්කු ප්‍රහාරයෙන් පසු පරිගණක, දුරකථන සංවාද, සීඩී ආදිය පරීක්ෂා කරලා ඒ අය අයිපී ඇඩ්ඩ්‍රස් එකක් හොයා ගන්නවා. ඒකේ අයිතිය හා පාවිච්චි කළේ හමුදා බුද්ධි අංශ නිලධාරීවරයෙක්. නම දන්නෙ නෑ. ආරංචි විදිහට මුස්ලිම් ජාතික හමුදා බුද්ධි අංශ නිලධාරියෙක්. මේකේ වැදගත්කම තමයි මේ අයිපී ඇඩ්‍රස් එකෙන් පැහැදිලි වුණා. එෆ්බීඅයි එකත් කියනවා මේක තියෙන ටෙලිපෝන් එකෙන් තමයි සහරාන් එක්ක වැඩිම ප්‍රමාණයක් දුරකථනයෙන් කතා කළ වාර ගණන තියෙන්නේ කියලා. තුන්වැනි කරුණ සොනික් සොනික් ගේ කාරණාව. මේ පාර්ලිමේන්තුව ඇතුලේ සොනික් සොනික් කියලා ඒ අය ඇමති ටොනික් ටොනික් එක ගත්තා. ඇමති ටොනික් එක අරන් සත්‍ය සොයා ගන්න බැරිව දැන් පැනික් පැනික් වෙලා.

මම පැහැදිලිවම කියන්න ඕන මාතලෙන් පොඩි සහරාන් අහු වෙනවා. ඔහුගේ නම පස්කූල් රහුමාන්. ඔහුගෙන් ප්‍රශ්න කරද්දි කටාර්වල අයිසීසි සම්බන්ධ කම් ගැන හෙළිදරව් කරන කොට මේ පොඩි සහරාන් කියනවා ඔහු සොනික් සොනික් එක්ක ගනුදෙනු කරා කියලා. මේ සොනික් කියන කෙනාගේ දුරකථන අංකය සහ අයිපී ඇඩ්‍රස් එක හොයද්දී ඒ චිප් එක අරන් තියෙන්නේ සිටි ටැෆික් එකේ ඩබ්ලිව් පොලිස් සාජන් කෙනෙක් ගෙන් බව. මේ සාක්ෂිවලින් හෙළිදරව් වෙන්නේ මේ බුද්ධි අංශ නිලධාරියා පොඩි සහරාන්ට ඇවිටි කරාලු මේ තරම් බෝම්බ ගණනාවක් පුපරවා ඇයි මේක අයිසිස් එක බාර ගන්නේ නැත්තේ කියලා. එස්අයිඑස් එකේ නිලධාරියෙක්ට ඇයි පොඩි සහරාන් වගේ ත්‍රස්තයකුට කියන්න මේක අයිසිස් එකට බාර ගන්න කියලා. ඇවිටිලි කරලා තියෙනවා. සොනික් සොනික් භාවිතා කරලා දේශපාලන ටොනික් එකක් ගත්ත අය අද නිහඬයි.ඒ අය අද මේ සභාවේ නෑ. හතරවැනි කරුණ තාජ් එක පුපුරවා ගන්න ආව මිනිමරු ත්‍රස්ත ජමීල් බෑග් පැක් එකත් ටෙලිෆෝන් එකත් මේසයක් උඩ තියෙනවා. එයා ෆෝන් එක ගන්නවා. බැක් පැක් එකත් අරන් වීල් එකක යනවා. ඔහුට ළඟම හෝටලයකට යන්නලු. මේකේ වැදගත්ම කාරණාව තමයි ජමිල් බෝම්බය පුපුරවා ගන්න පෙර වයිප්ගේ ගෙදරට සහ තවත් ගෙදරකට හමුදා බුද්ධි අංශ නිලධාරීන් ගියේ ඇයි. මොකද්ද ඇත්ත නැත්ත. මොකද්ද සම්බන්ධය. එතකොට කරල තිබෙන විමර්ශනවලට අනුව බුද්ධි අංශ නිලධාරින් කතා කළ අංක විශ්ලේෂණය කරලා බලනකොට ඒ සිම් කාඩ් අරන් තියෙන්නේ සිලෝන් ෂිපින් අලයින් නොම්බර් 88 බෞද්ධාලොක් මාවත කොළඹ 3. මේ සිම් අරන් තියෙන්නේ හොර ලිපින දාලා. වඩාත්ම භයානක දේ තමයි මේ සිම් භාවිත කරල තමයි ලසන්ත වික්‍රමතුංග මරන ව්‍යාපෘතිය, කීත් නොයාර්, එක්නැලිගොඩ, උපාලි තෙන්නකෝන්ට ප්‍රහාර එල්ල කිරීමට සම්බන්ධ සිම් කාඩ් තමයි මේවා. ජමීල් කියන සියදිවි නසා ගැනීමේ බෝම්බකරු හමුදා බුද්ධි අංශ දැනගෙන හිටියද. බෝම්බය පුපුරවන්න කලින් ගෙවල් දෙකකට ගියේ කොහොමද? කවුද එහෙම කළේ. මමත් මේ කියන්නේ විවිධ සාක්ෂි සටහන්වලින් මට ලැබුනු තොරතුරුවලින්. ඒ වගේම රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ මහීල් ඩුල් විසින් ජමීල්ගේ සහෝදරයාගේ යාළුවෙක්. ජමිල්ගේ සහෝදරයා අවස්ථා කිහිපයකදී මහීල් ඩූල්ට කියනවා මල්ලි ගැන බයක් තිබෙනවා. මල්ලි අන්තවාදී වෙලා තිබෙනවා. මේක හොයන්න කියලා. එහෙම නොකළොත් මහ විනාශයක් වෙනවා කියලා. මේ ගැන මහීල් ඩුල් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියට කියනවා. නමුත් ගණන් ගන්නේ නැහැ. පස්වැනි කරුණ – සයින්දමරුදු ආයුධය. පාස්කු ප්‍රහාරයෙන් දින 5කට පසු සයින්දමරුදු ප්‍රදේශයේ සියදිවි නසා ගැනීමක් වෙනවා. 16ක් මැරුනා කියනවා. එතන අවියක් හමුවෙනවා. ඒ බ්ලාස්ට් එක කළේ සහරාන්ගේ සහෝදරයේ සහ දෙමාපියන්. එතනින් හමුවන අවිය තමයි අර සයින්දමරුදු පිපිරුමෙන් හමුවු අවියයි ආදායම් ලෙබ්බේගේ අවියයි සමාන බව. ඒ විතරක් නොවේ. මගේ මතක හැටියට 2021 ඔප්පු වෙනවා වව්නතිව් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා මරා දැමු සිදුවීමේ ඇමෝ කැප්සියුල් 8ක් හමුවෙනවා. ඒවා තිබ්බේ සයින්දමරුදු සිදුවීමේ අවියේ කියලා. ඒ ගැන වැඩිදුර විශ්ලේෂණය කරන් යද්දී ආදායම් ලෙබ්බේ කියනවා එයාගේ අවිය දුන්නලු හෝ ගත්තලු හමුදාවට හෝ හමුදා බුද්ධි අංශයට සම්බන්ධ මුස්ලිම් කණ්ඩායමක්. හයවැනි කරුණු – අබු හිම්.

සහරාන්ගේ බිරිඳ තමයි හාදියා. එයා කියනවා සහරාන්ට නිතරම කතා කරන විඩියෝ එවන කෙනෙක් ඉන්නවලු. එයාගේ අනුවර්ත නාමය අබු හිම්. එයා කතා කරද්දි හාදියාව එලවනවාලු. විශේෂයෙන්ම වව්නතිව් පොලිස් නිලධාරීන්ගේ මරණයට සම්බන්ධ ගෆූර් මාමා කියන අන්තවාදිය කියනවා සහරාන්ට අප්‍රේල් 16 ඉහළින්ම උපදෙස් ආවාලු. ඉල්හාම් කියනා ත්‍රස්තවාදියත් කියනවා. මේ උපදෙස් අනුව මේ ප්‍රහාරය ඉක්මන් කරන්න කියනවා. කවුද අබු හිම් කියන්නේ. 2019 අප්‍රේල් 21 සිට අද දක්වා හැමෝම විමර්ශනය කරනවා. මේ අබු හිම් කියන කෙනා හඳුනා ගත යුතු යි. සරත් වීරසේකර කිව්වා මහ මොළකරුවෙක් ඉන්නවා ඔහු නවුසර් මව්ලවි කියලා. සරත් වීරසේකර කියනා මහ මොළකරු ජනාධිපති කොමිසමකට ගෙන්වලවත් ප්‍රශ්න කරලවත් නැහැ. හත්වැනි කරුණ – සාරා ජෙස්මින්.

සහරාන්ගේ නෝනා හාදියා සයින්දමරුදු පිපිරුමේ හිටියා. ඒ පිපිරුමෙන් පසු ඇයි සාරා ජෙස්මින්ගේ කටහඬ ඇහුනලු. තවත් සාක්ෂියකදී කියනවා තවත් දෙන්නෙක් ඇයව උස්සන් ගියාලු. සාරා ජෙස්මින්ව බයික් එකකින් පොලිස් නිලධාරියෙක් ගෙනිච්චලු. සාරා ජෙස්මින් ගැන ඩීඑන්ඒ පරීක්ෂණ 3ක් තියෙනවා. 1 වැනි එකේ නෙගටිව්. මැරිලා නැහැ. ජීවතුන් අතර. බොඩිස් 16යි. උසාවියටත් කියන්නේ 16 කියලා. 2 වැනි එකෙත් නැහැ. හැබැයි හිටි හැටියේ 3 වැනි පරීක්ෂණයේ දී සාරා ඉන්නවලු. මැරිලලු. උසාවියට කියන්නේ 16යි කියලා. සාරා ජෙස්මින් මැරුනා කිව්වොත් පරිච්ඡේදය ඉවරයි. ඇත්ත හොයලා ඉවරයි. මොකද්ද මේ කරන බොරුව. මැරෙනකම්ම ඩීඑන්ඒ පරීක්ෂණ කරන එකද කරන්න ඕන. 1ත් 2ත් නැහැ කියලා 3 වැනි එකේ ඉන්නවලු. බොඩි එකක් නැහැ. දේහයක් නැති මරු පරීක්ෂණ මේවා. ඇයි මේ රවට්ටන්නේ. මේක ගැනත් හොයන්න. අපි කාටවත් චෝදනා කරන්නේ නෑ. ඇත්ත හොයන්න. අට වැනි කරුණ. ගෝඨාභය 2019.11. 18 ජනාධිපති වෙනවා. නොවැම්බර් 22 අගමැති පත් වෙනවා. ඊට කලින් ශානි අබේසේකරව මාරු කරනවා. කැබිනට් එකටත් පෙර ඒක කරනවා. පාස්කු විමර්ශනය කරපු 31 දෙනෙක් ගෝඨාභය රාජපක්ෂ මාරු කළා. ඒක බොරුවක් නෙවෙයි. මේක ඇත්තක්. සීඅයිඩී නිලධාරීන් 700කට පිටරට යන්න තහනම් කළා. මම මේ අයගේ නම් සභාගත කරනවා. මේ අය තමයි පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු කළ සිට 31 දෙනා. මේක බරපතළ සැක සහිත දෙයක්. ඇයි ගෝඨාභය එහෙම කළේ. මේකේ පසුපස තිබෙන සත්‍ය ඕන.

(රෝහිණී විජේරත්න මහත්මිය මූලාසනයට පැමිණේ)

පත්කළ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා (එජාප) :

මානසික ත්‍රස්තවාදය පාලනය කිරීම ඉතා වැදගත්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිචෝදනා ගොනුකර තියෙනවා. විවිධ සැකයන් හා තොරතුරු ගැන විපක්‍ෂය කරුණු කියනවා. ඒවා අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්.

අපේ බුද්ධි අංශය අපි ආරක්ෂා කරගත යුතුයි. ඒ රහස් ආරක්ෂා කිරීමට අපි කටයුතු කළ යුතුයි. විදෙස් ආරක්ෂක තොරතුරු කිසිවක් හොයා ගන්න අපිට බැහැ. ලංකාවේ බුද්ධි අංශය ගැන මහජන නියෝජිතයන් මීට වඩා අවබෝධයෙන් ක්‍රියා කළ යුතුයි. මොනවා හරි කරුණක් තියෙනවා නම් වෙනම සාකච්ඡා කළ යුතුයි.

ඊයේ විවාදයේදීත් බෙදිලා හැම දේම හෙළිවන ආකාරයට කතා කළා. එහෙම කරන්න එපා. විරුද්ධ පක්‍ෂය 2015 සිට 2019 දක්වා රට පාලනය කළා. එදා කළ කතා හා අද කරන කතා ගැන බැලුවහම ප්‍රශ්න සහගගතයි. ජාතියක් ලෙස කල්පනාකාරීව කරුණු ඉදිරිපත් කරන්න.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් වීරසේකර මහතා (ශ්‍රීලපොපෙ) :

පාස්කු ප්‍රහාරකයා සහරාන් ගැන අපේ හිතේ තියෙන්නේ ලොකු වෛරයක්. ඔවුන්ට වක්‍රව හා සෘජුව ආධාර කළ අය ගැනත් වෛරයක් තියෙනවා. මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවට පෙනි පෙනී දේශපාලන වුවමනාවන් වෙනුවෙන් කතෝලික ඡන්දවලට රැවටිලා ඉන්න විපක්‍ෂය ගැන තියෙන්නේ අප්‍රසාදයක්.

පාස්කු ප්‍රහාරයට පෙර දින සහරාන් කණ්ඩායම වීඩියෝවක සහරාන්ගේ අරමුණ කියනවා. එහි කොතනකවත් කියන්නේ නෑ සිංහල බෞද්ධ ගෝඨාභය බලයට ගෙන ඒම අරමුණක් කියලා. ආගමික උන්මාදයක් මේ ප්‍රහාරයට හේතු වුණා. දේශපාලනයට පෙරළීම ඉතා වැරැදියි.

මේ ගැන හොයන්න කොමිෂන්, කොමිටි හා වෙනත් පරීක්‍ෂණ ගණනාවක් තිබ්බා. එහි කොතනකවත් මේ ප්‍රහාරය දේශපාලන අරමුණකින් සිදුවූ බව කියන්නේ නෑ. මේ කොමිටිවලින් බොහොමයක් විපක්‍ෂය එදා බලයේ ඉන්නවිට පත්කළ කොමිටි බොහොමයක්. ඇමරිකාවේ විශේෂඥයන් 23ක් ලංකාවට ඇවිත් විවිධ උපකරණ රැසක් පරීක්‍ෂණවලට රැගෙන ගියා. මෙය අයිඑස් ප්‍රහාරයක් බවට ඔවුන් කියනවා. ප්‍රහාරයට වගකීම අයිඑස්අයිඑස් භාරගත්තා. ඔවුන් සහාරාන්ට ප්‍රශංසා කළා.

ගෝඨාභය බලයට ගෙන ඒමට සහරාන් මේ ප්‍රහාරය කළානම් ඇමරිකාවේ පරීක්‍ෂණවලට මේවා හෙළිවන්නේ නැද්ද? නැවත පරීක්‍ෂණ තියන්න සමහරු ඇමරිකානු රජයෙන් ඉල්ලනවා.

එදා නිලන්ත ජයවර්ධන බුද්ධි අංශ ප්‍රධානියා සහරාන්ව අත්අඩංගුවට ගත යුතු බවට ආරක්ෂක අංශවලට නිර්දේශ කර තිබුණා. ඒත් මාස 11ක් යනතුරු ජීවිත 250කට වඩා නැති කරනතුරු එය සිදුවූයේ නෑ. එහෙම හිටපු යහපාලන රජය අද විපක්‍ෂයේ සිට අපට චෝදනා කරනවා. ඔවුන්ටත් ගෝඨාභය බලයට ගේන්න වුවමනාවක් තිබුණද කියන සැකය ඇතිවෙනවා. අද විපක්‍ෂ නායක, ප්‍රබල ඇමැති ලෙස සිටි යහපාලන ආණ්ඩු කාලයේ දී මේ ප්‍රහාර එල්ල වුණේ මුස්ලිම් ඡන්දවලට වහල් වෙලයි මේ පරීක්‍ෂණ හරියට කළේ නැත්තේ.

දේශපාලන රැකවල් බලාගෙන ටීඑන්වීපී සාමාජිකයකු දැනල් 4 එකට බොරු කියනවා. ඒමත යැපෙන්න එපා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජාජබ) :

එදා ඊබ්‍රාහිම් අපේ ජාතික ලැයිස්තුව නියෝජනය කළා. ව්‍යවසායකයෙක් ලෙස ඔහු කටයුතු කළා. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ, කර්මාන්ත ඇමැති ලෙස ජී. එල්. පීරිස්, රත්නසිරි වික්‍රමනායක ඇමැතිවරු විටින් විට ඊබ්‍රාහිම්ට ඇගයීම් සම්මාන දී තිබුණා. 2015 දී ඔහුගේ දරුවන් ත්‍රස්ත ක්‍රියාවක නිරත වූවා කියා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවවත් දන්නේ නෑ. 2014 දී දිසා අධිකරණය, ඊබ්‍රාහිම්ට නඩුවක් තිබුණා. එදා ඔහුගේ නීතිඥයා ලෙස අලි සබ්‍රි පෙනී සිටියා.

එහිදී ඔහු අපරාධකරුවකු කියා කියන්න බැහැ. අද ඊබ්‍රාහිම් ඇපපිට එළියේ ඉන්නවා. ඔහු ගැන විශාල ලෙස පරීක්‍ෂණ පැවැත්වූවා. ඒ කිසි තැනක ප්‍රහාරයට ඔහු හා පක්‍ෂය අතර සබඳකම් ගැන සඳහනක් නැහැ.

ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ පාර්ශ්වයන් කියනවා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රධාන පාර්ශවකරුවෙක්. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එය තහවුරු කර තියෙනවා. එදා ආරක්ෂක මණ්ඩලයට අදාළ පුද්ගලයන් කැඳවූයේ නෑ. ආරක්ෂක මණ්ඩලය, බුද්ධි මණ්ඩලය අරාජික වුණා. ඔහු කළේ තමන්ට විරුද්ධ පුද්ගලයන් පසුපස බුද්ධි අංශ යෙදවූවා. පෞද්ගලික වුවමනාවට. ඔහු අද ආණ්ඩුවේ පංගුකරුවෙක්. එදා අගමැති මේ ආණ්ඩුවේ ජනපති.

2015 මහින්ද රාජපක්ෂ පරාජය පත්වෙනවා. අහිමි වූ බලය නැවත රැක ගැනීමට අවශ්‍ය උත්සාහ ගත්තා. මුස්ලිම් ජාතියෙන් රට බේරාගත යුතු බවට මතයක් ගෙනගියා. අවසානයේ දී පාස්කු ප්‍රහාරය එල්ල වුණා. එදා තමයි ඡන්ද ප්‍රතිඵලය ලිව්වේ. ගෝඨාභය රාජපක්ෂ කිව්වා තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා අන්තවාදය පරාජයට පත් කරනවා කිව්වා. සිදුවීම්පෙළ ගැසී ඇති ආකාරයට දේශපාලනයක් ඊට ඇතුළත් බව පේනවා.

ජනතා පරමාධිපත්‍ය කියන්නේ මිරිඟුවක් සත්‍ය හෙළි කරගන්නාතාක් ජනතාවගේ ආරක්ෂාව බොල් පිළිමයක්.

චැනල් 4 එනවිටම නාමල් කිව්වා ඔවුන් පරම්පරාගතව රාජපක්ෂලත් එක්ක තරහක් තියෙනවා කියලා. මොන බොරුද. ආරක්ෂක ලේකම් මේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේ කෙසේද? ජනාධිපති අනුමැතිය ඇතිවද මේක කළේ. මේ ගැන ප්‍රකාශයක් කරන්න.

අදත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සත්‍ය හෙළි වී නෑ. අදත් ප්‍රහාරය පිළිබඳ මිනිසුන්ට බිය ඇතිවෙනවා. ඒ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න නිසයි. සාධාරණ පරීක්‍ෂණයක් අවශ්‍යයි. මේ ආණ්ඩුවෙන් සාධාරණ පරීක්‍ෂණ ඉල්ලීම ඉබ්බගෙන් පිහාටු ඉල්ලීමක් වැනියි.

අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා :

මම 2012 දී ආණ්ඩුවේ සිටියදී ආරක්ෂාව ගැන ප්‍රකාශයක් කළා. එහි ගැඹුර තැන දැනගෙනමයි අන්තවාදය ගැන ප්‍රකාශය කළේ. මේ ප්‍රකාශය නිසා මම වින්දිතයෙන් වුණා. අපේම ආණ්ඩුව එදා කැබිනට් ප්‍රකාශක කිව්වා මම කියන්නේ බොරු අන්තවාදී දේවල් නෑ කියලා. මාව අන්තවාදියෙක් ලෙස පෙන්නුවා. මට එරෙහිව මාධ්‍ය වාර්තා පවා පළවුණා. මම නොසැලී ඒවාට මුහුණ දුන්නා.

අප්‍රේල් 28 වෙනතුරු අපේ රටේ මූලික ක්‍රියාකාරකම් වූයේ නෑ. බී වාර්තාවක් මහෙස්ත්‍රාත්ට ඉදිරිපත් වූයේ නෑ. මෙපමණ මියගියත් වාර්තාමක් මුලින් ආවේ නෑ.

එදා නැගෙනහිර පළාතේ මුස්ලිම් සමාජය තුළ භීෂණයක් තිබුණා. එදා මුස්ලිම් නායකයන් අපිට ඇවිත් කිව්වා මෙවැනි ප්‍රහාරයක් එල්ල වෙයි කියලා.

ජනාධිපති දාපු මලල්ගොඩ කොමිසමට ගිහින් දවසක්ම මම ප්‍රකාශයක් දුන්නා. ඒ කමිටුව අවිධිමත් කියලා මම ජනපතිට කිව්වා. පස්සේ තව කොමිසමක් පත් කළා. එයටත් මම ප්‍රකාශයක් ලබාදුන්නා.

නීතිපති දැනට නඩු 42ක් ගොනුකර තියෙනවා. ඒවා විභාගයට ගැනීමට නියමිතයි.

චැනල් 4 නාලිකාව ගැන මට විශ්වාස නෑ. නමුත් වරින් වර රට ගැන වැරැදි තොරතුරු ලොවට දුන්නා. තොරතුරක් ලැබුණොත් ඒවා විමර්ශනය කළ යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා (සජබ) :

සහරාන්ගේ ව්‍යාපාරය කවුරුත් බලයටගේන්න කරපු ව්‍යාපාරයක් නොවෙයි. මෙය ආගමික උන්මාදය තුළින් ඇති වූවක්. වසර 10ක් පමණ ප්‍රචණ්ඩකාරීව හැසිරුණ එයා වළක්වන්න ආරක්ෂක අංශවලට නොහැකි වුණා. බුද්ධි අංශත් සමග යම් නියෝජනයක් ඇතිව ක්‍රියාකර තිබෙනවා.

අනතුර පිළිබඳ තොරතුරු යම් බරකින් බලධාරීන් දැනුවත්කළාද යන ප්‍රශ්නය තියෙනවා. මෙහෙයුම් අවුල් කිරීමට යම් බලපෑම් ඇති වූ බව කොමිසමේ කියැවුණා. රජය ඇතුළේ තවත් රාජ්‍යයක් ඇතිවෙලා. ඒ නිසා තව මොන පරීක්‍ෂණ තිබ්බත් වැඩක් නෑ.

තමන්ට ඕනෑ ආණ්ඩු ගේන්න තමන්ට ඕන අය පත් කරන්න ආණ්ඩුවේ උපකරණ මේ යට ආණ්ඩුව ක්‍රියා කරනවා.

විදුලිබල ඇමැති කාංචන විජේසේකර මහතා :

පාස්කු ඉරිදා ප්‍රහාරයේවැරැදිකරුවන් සොයා දඬුවම් කරන්න විපක්‍ෂයට අවශ්‍යතාවක් නෑ. මේ කරුණ මූලික කරගෙන දේශපාලන ප්‍රහාරයක් එල්ල කරන්නැයි ඔවුන් උත්සාහ කරන්නේ.

ජනපති කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට දැම්මේ ගෝඨාභය ජනාධිපති. චැනල් 4 කියන කිසිවක් එහි නෑ. රට යම් ලෙසකින් ස්ථාවර කරමින් එන මොහොතක එය අස්ථාවර කිරීමට ක්‍රියාත්මක කොන්ත්‍රාත්තුවක් මිස වෙන දෙයක් නොවෙයි. චිත්‍රපටය රූගත කර විකාශය කිරීම, බෙදාහැරීම සියල්ල කළේ චැනල් 4 නාළිකාවයි.

මේ හැමෝම චෝදනාකරන්නේ පාර්ලිමේන්තුවෙන් හිටිය නැත ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂට. 2010 සිටම සහරාන්ලා නැගෙනහිර විවිධ ක්‍රියා කළා. ඒ ගැන හොයා බැලුවේ නෑ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා :

මීට පෙර පාස්කු ප්‍රහාරය ගැන දින 9ක් විවාද කළා. අයවැය හා බැලීමේ දී මේ තරම් ලොකු විවාදයක් ඉතිහාසයේ කර නෑ. මේ හැමෝගෙම ඉලක්කය මාව වැරැදිකාරයා කරලා. ප්‍රහාරය එල්ල කළ දාසිට අද වනතුරු කිව්වේ ප්‍රහාරය ගැන තොරතුරු ආරක්ෂක අංශ මාව දැනුවත් කළේ නෑ කියලා.

මට මිලියන 100ක් ගෙවන්න දුන්නු නඩු තීන්දුවේ පැහැදිලිව තියෙනවා හිටපු ජනපතිව කිසිම ආරක්ෂක අංශයකින් දැනුවත් කර නෑ කියලා.

2010 සිට ආපු තොරතුරු සමග ආරක්ෂක මණ්ඩලයට අවශ්‍ය උපදෙස් දුන්නා. ලෝකයේ රටවල ප්‍රහාර එල්ල වූ නිසා ලංකාවේ මෙවැනි දෙයක් වෙන්න ඉඩ තියන්න එපා කියලා කිව්වා. 2017 සිට වරෙන්තුවක් තියෙනවා. සහරාන්ට එයාව අල්ලන්නජනාධිපති කියන්න ඕනද? ඒවට අදාළ පිරිස් ඉන්නවා. පොලිසිය මගේ අතේ තිබුණෙ අවුරුද්දයි. ඒ අතරතුර බෝම්බය පිපුරුවා අවුරුදු 4ක් මගේ අතේ නෙවෙයි පොලිසිය තිබුණෙ.

මම පත් කළ කොමිෂන් සභාවේ සමහර කරුණු ගැන මම පුදුමයට පත් වෙනවා. මම ජනපති වී සිටින කාලයේ වාර්තාව දුන්නානම් මේවට වෙනත් කරුණු එන්නේ. හිටපු ජනපතිට නඩු පැවරිය හැකිය කියලා එහි තියෙනවා.

ඇමරිකාවටත් මුස්ලිම් අන්තවාදි ප්‍රහාර එල්ල වුණා. තවත් රටවල් 27කට පමණ ප්‍රහාර එල්ල වුණා. තවම සමහර රටවල් වාර්තා දී නෑ.

තවත් විවාද තියලා සල්ලි වියදම් කරන්න එපා. දේශීය විශේෂඥයන්ගෙන් නව තාක්ෂණය උපයෝගි කරගෙන පරීක්‍ෂණයක් කරන්න.

මට එරෙහිව ඊයේ දැඩි ප්‍රහාරයක් එල්ල කළා. ඔහුට ෆීල්ඩ් මාර්ෂල් පට්ටම දුන්නෙත් මමයි. හරිනම් පටි ගලවලා දාලා කතා කරන්න ඕන. මම තමයි සියල්ල ලබාදීලා මහත්මයෙක් බවට පත් කළේ.

පාර්ලිමේන්තුව නැවත ඔක්තෝබර් 3 වැනිදා පෙ. . 9.30ට රැස්වෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment