ත්‍රස්ත පනතින් මාධ්‍ය දංගෙඩියට! – ප්‍රවෘත්තියකට තොරතුරු සෙවීමත්

488

නව ත්‍රස්ත පනත යටතේ වරදක් නීතිඥ ස්වස්තිකා අරුලිංගම් අධිකරණයට කියයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතින් ජනමාධ්‍යකරණයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවත්, ජනමාධ්‍යවේදීන් සිය ප්‍රවෘත්ති සඳහා තොරතුරු රැස්කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා එම පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බවත් නීතිඥ ස්වස්තිකා අරුලිංගම් මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නාය.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන ඇතුළු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය එලෙස ප්‍රකාශ කළාය. ජනමාධ්‍යවේදීන්ගේ භූමිකාව කොටස් දෙකක් යටතේ ක්‍රියාත්මක වන බවත්, තොරතුරු රැස්කිරීම හා ඒවා ප්‍රකාශයට පත් කිරීම එකී කොටස් දෙක වන බවත් අධිකරණයට පැවසූ නීතිඥවරිය නව පනත් කෙටුම්පතේ නවවන වගන්තිය මගින් ඇතැම් තොරතුරු එක්රැස් කිරීම ත්‍රස්ත වරදක් බවට පත්කර ඇතැයි ද කීවාය. එපමණක් නොව එම පනතේ 10 වන වගන්තිය මගින් ද භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහිමි කරන බව ද පැවසූ නීතිඥවරිය එකී වගන්ති මගින් ජනමාධ්‍යකරණය ත්‍රස්ත වරදක් බවට පත්වීමෙන් ජනමාධ්‍යවේදීන්ට දැඩි බලපෑමක් වන බව ද කීවාය. හමුදා කණ්ඩායම් යුද්ධයට පුහුණු කරන ලද අය. ඔවුන් පුහුණුකර ඇත්තේ සතුරන් හඳුනා ගන්න මිස සිවිල් ක්‍රියාකාරකම්වලට නෙවෙයි. හමුදාවට සාමාන්‍ය ජනතාව අත්අඩංගුවට ගැනීමේ බලය මේ නව පනතින් පවරා තිබෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් මිලිටරීකරණය කිරීමක්. මේ වනවිට වෘත්තීය සමිති ව්‍යාපාරය පෞද්ගලිකකරණයට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. නව පනත් කෙටුම්පත මගින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් අපරාධකරණයට ලක්කර තිබෙනවා. ලිවීම විතරක් නෙමෙයි, ලියන යම් දෙයක් වැරදීමක් පවා ත්‍රස්තවාදියකු බවට පත් කිරීමක් වෙනවා. එය ඉතා බරපතළ කරුණක්. විමර්ශකයාගේ මානසිකත්වය මත තමා එය රඳා පවතින්නේ. අන්නෆ් ජසීම් නමැති තරුණයා අත්අඩංගුවට ගන්නේ විමර්ශකයා දෙමළ භාෂාව නොදත් නිසා, ඔහු ලියූ කවි පොතේ පිටකවරයේ ඡායාරූපය දෙස බලලයි. ඔහු මාස ගණනාවක් රඳවා තබාගෙන හිටියා නිකරුණේ යැයි ද නීතිඥ ස්වස්තිකා අරුලිංගම් මහත්මිය කීවාය.

ත්‍රස්ත පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ ඊයේ (31 දා) කැඳිවිණි. වැඩිදුර විභාගය අද (01 දා) දක්වා කල් තැබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment