පෙරහුරුවේදී කලකිරී පොලිසිය ආපසු හැරෙයි

9982

ජාතික නිදහස් උත්සවයේ ඊයේ (31 දා) පැවැති පෙරහුරුවේදි ඇතිවූ මතභේදාත්මක සිද්ධියක් නිසා එම පෙරහුරුවට එක්ව සිටි පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ සියලු ඒකක පුහුණුවීම්වලින් ඉවත්වී ඇත.
පොලිස් ආරංචි මාර්ග කියා සිටියේ සාම්ප්‍රදායානුකූලව නිදහස් උළෙලට ජනාධිපතිවරයා පැමිණෙන රථය දෙපස ගමන් ගන්නා පොලිස් අශ්වාරෝහකයන් ඉවත් කර යුද හමුදා යතුරුපැදි ඒකකය ඊට යෙදවීම නිසා ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් මත මෙම තත්ත්වය ඇතිවූ බවයි.

පසුව මේ සම්බන්ධයෙන් නිදහස් උත්සවයේ සංවිධායක කමිටුව සාකච්ඡා කිරීමෙන් පසුව එකඟතාවකට පැමිණ නැවත පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ සියලු ඒකක නිදහස් උළෙලේ පෙරහුරුව සඳහා එක්වී තිබේ.

නිදහස් උත්සවයේ පෙළපාලිය සඳහා පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්, යතුරුපැදි ඒකක, අශ්වාරෝහක බළකාය, තුර්යවාදක කණ්ඩායම් සහ විශේෂ කාර්ය බළකායේ ප්‍රහාරක ඒකක සහභාගි වනු ඇත.

දීර්ඝ කාලයක සිට නිදහස් උත්සවයේ පොලිස් අශ්වාරෝහක බළකාය ප්‍රභූ ආරක්ෂක රථවල පෙර ගමන්කරුවන් ලෙස සහභාගි වන අතර එම ක්‍රියාමාර්ගය මෙවර වෙනස් කිරීමට කටයුතු කිරීම නිසා මෙම මතභේදාත්මක තත්ත්වය උද්ගත විය.

එහිදී පෙළපාලියට එක්ව සිටි පොලිස් නිලධාරීන් විශේෂ කාර්ය බළකාය, තූර්යවාදක කණ්ඩායම්, අශ්වාරෝහකයන් ඇතුළු පොලිසිය නියෝජනය කළ සියලු නිලධාරීහු ඉවත්වූහ.

පසුව ඉහළින් ලැබුණු නියෝගයක් මත සම්ප්‍රදායානුකූලව පොලිස් අශ්වාරෝහකයන් සපුරුදු ස්ථානවල පොළපාලියේ ගමන් කිරීමට එකඟවීම නිසා එම පොලිස් කණ්ඩායම් නැවත ඊට එක්වී ඇත.

හේමන්ත රන්දුණු
ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment