වනිඳු හසරංග ලෝක කුසලාන එක්දින කණ්ඩායමට ඇතුළත් කිරීමට නොහැකි වූයේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලපෑම මත බවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළ ද තමා ලෝක කුසලාන සංචිතයට එක් නොවීම දෙස් විදෙස් වෛද්‍යවරුන්ගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ නිර්දේශ මත සිදුවූවක් බවට වනිඳු හසරංග ප්‍රකාශ කර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පැවැත්වූ අදාළ මාධ්‍ය හමුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පසුගිය බදාදා පැවැත්විණි.

එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වනිඳු හසරංග සමග සිදු කළ සාකච්ඡාව ඊට පෙර පවත්වා තිබූ අතර එහිදී වනිඳු හසරංග ප්‍රකාශ කර තිබුණේ දෙස් විදෙස් වෛද්‍යවරුන්ගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ නිර්දේශ මත ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි නොවීමට තමන් තීරණය ගත් බවටයි.

“මම එල්පීඑල් එක ඉවර වෙලා ආපහු ප්‍රැක්ටිස් පටන් ගත්තා. මම පන්දු යැවුවා. පන්දුවට පහර දුන්නා. දිවීම් පටන් ගත්තා. ඒත් මගේ අවාසනාවට ලෝක කුසලානයට සති දෙකක් තියෙද්දි මගේ පාදයේ “මසල්ස්” එක ඉරුණා. පිට රට ඉන්න වෛද්‍යවරුන්ට ඒ වාර්තා යවලා බැලුවා. ඒ අය කිව්වා මේක සනීප වෙන්න සති 12 ක කාලයක් යනවා කියලා. ඊට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාට මේ වාර්තාවන් යැව්වා. ඔහු කිව්වා මේ තත්ත්වය හොඳ වෙන්න සති 12ක කාලයක් යනවා. ඒ නිසා ඔයාට ලෝක කුසලාන තරගාවලියට සෙල්ලම් කරන්න බැරි වෙයි කියලා. ශල්‍යකර්මයක් කරත් නොකරත් සති 12 ක කාලයක් මට ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදු වන බව වෛද්‍යවරුන් පැවසුවා. ඒ නිසා මේ තීරණය මගේ පෞද්ගලික තීරණයක් නොවෙයි. අපේ කණ්ඩායමේ වෛද්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ ප්‍රධානීන් ඇතුළු දෙස් විදෙස් වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ගත්ත තීරණයක්”

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කළේ වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ලෝක කුසලාන එක්දින කණ්ඩායමට ඇතුළත් කිරීමට නොහැකි වූයේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලපෑම මත බවයි.

“ලෝක කුසලාන සංචිතයට අපි වනිඳු හසරංගවයි දුෂ්මන්ත චමීරවයි නම් කළා. අපේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයයි වේගපන්දු යවන්නායි තමයි ඒ. ඇමැතිගේ අනුමැතියට යැව්වාම ඇමැතිතුමා අපෙන් අහනවා මේ දෙන්නා කොහොමද යන්නෙ මේ දෙන්නා ඉන්ජර්ඩ්නෙ කියලා. ඕක තමයි අපේ මේ තරගාවලියේ කඩා වැටීම වුණේ. මේ වර්ල්ඩ් කප් එක ඒ අය ඕන කමින් කඩාකප්පල් කළේ.”

advertistmentadvertistment
advertistmentadvertistment