අයිසීසී එකෙන් ඇවිත් වාර්තාවක් අරන් යයි

238

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නීතිරීති අනුව ක්‍රීඩාවේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව දේශපාලන මැදිහත්වීම්වලින් තොරව ඒ ඒ රටවල ජාතික ක්‍රිකට් ක්‍රීඩා සංගම් ස්වාධීනව ක්‍රියාත්මක විය යුතු බව දැක්වේ. මෙරට නීතිය සහ මෙරට ක්‍රිකට් ක්‍රීඩා නීතිය අයිසීසී නීතිය සමග ගැටෙන අවස්ථා එහිදී උදා වේ. එහෙත් ඒවා මැදහත්ව ගැටුම් ඇති නොවන ලෙස එකිනෙකාට ගරු කරමින් පවත්වාගෙන යා යුතු ය.

ඉම්රාන් ක්වාජා ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ උප සභාපතිවරයෙකි. එසේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උපායමාර්ගික ජ්‍යෙෂ්ඨ කළමනාකරු අම්මාර් ෂෙයික් වේ. ඔවුන් දෙදෙනා පසුගිය බදාදා උදෑසන මෙරටට පැමිණියේ අපේ රටේ ක්‍රිකට් ගැන විමසන්නට ය. ඒ පැමිණීම ද නිකම්ම පැමිණීමක් නොවේ. ආරාධනා කර ඒ මත පැමිණි ගමනකි.

“අයිසීසී යට එන්න ඇවිත් හොයා බලන්න” යැයි එකී පාර්ශ්ව දෙකම ලිපි ලිව්වේය. කලක පටන් මේ පාර්ශ්ව දෙක එක මග යන බවක් නොපෙනේ. මේ අවනඩුවට දැන් මාස අටක් නවයක් වේ. එක් පාර්ශ්වයක් කරන කියන දෙය අනෙක් පාර්ශ්වය නොරුස්සයි. කොපමණ හොඳ කළත් දකින්නේ වරද ම ය. 2022 ආසියා කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ඩුබායි ගියේද, ඉන් පසුව පැවති ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව දරුණු පරාජයකට මුහුණ දුන්නේද පරිපාලනයේ වැරදි නිසා යැයි මැති ඇමැතිවරු ක්‍රිකට් ලොක්කන් පතුරු ඇරියහ. පාර්ලිමේන්තුවද, පක්ෂ රැස්වීම ද, මාධ්‍ය හමුවේද ඔවුහු ක්‍රිකට් පරිපාලනයට විරුද්ධව දස අතේ දොස් තැබූහ.

මේවා දෙස බලා සිටි ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඒ ගැන කියන්නට පළමු වරට අයිසීසීයට ලිව්වේ පසුගිය අගෝස්තු මාසයේදී ය. ඊට පසුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අයිසීසීයට මේ බලපෑම් ගැන ලිපි යොමු විණි. ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ද මීට සති කිහිපයකට පෙරදී අයිසීසී සභාපති ග්‍රෙගර් ජෝන් බාර්ක්ලේ වෙත ලිපියක් ලිව්වේය. ඔහුගේ එම ලිපියෙහි ඉල්ලීම වූයේ රටේ ධනවත්ම ක්‍රීඩා ආයතනය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා ගැනීමයි. ඒ සමඟම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත තවත් කළ පැමිණිල්ලකින් දැක්වූයේ තම ක්‍රීඩා සංගමය වෙත දේශපාලනික බලපෑම් ඇති බවය.

අයිසීසී එකෙන් ඇවිත් වාර්තාවක් අරන් යයි
ක්වාජා මහතා සහ ක්‍රීඩා ඇමැති අතර හමුව

මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට දේශපාලන බලපෑමක් ඇත්දැයි සොයා බැලීම උදෙසා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල උප සභාපති ඉම්රාන් ක්වාජා, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා සහ බංග්ලාදේශ ක්‍රිකට් සභාපති නස්මුල් හසන් යන මහත්වරුන්ගෙන් යුත් කමිටුවක් පසුගියදා නම් කළේය.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ක්‍රිකට් පරිපාලන පසුබිම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීම මේ අයිසීසී නියෝජිත පිරිසේ කාර්යය විණි. ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගෙන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඇතුළු තවත් පාර්ශ්ව කිහිපයක් සමඟ සාකච්ඡා කොට තොරතුරු ලබාගත් එම නියෝජිතයෝ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද දෙවරක් හමුවී තිබුණි. ඊට අමතරව තවත් සුවිශේෂී හමුවීමකට අයිසීසී නියෝජිතයන්ට අවස්ථාව උදා වී තිබුණි. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග රටේ මේ ක්‍රිකට් ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කිරීමටය.

ඇමැති සහ ක්‍රිකට් පරිපාලකයන් හමුවී එම දෙපාර්ශ්වයෙන් ලත් තොරතුරු සමඟ අවසානයේ ජනාධිපති හමුවට යෑමට ඔවුන්ට අවස්ථාව උදාවීම එක අතකට හොඳ දෙයකි. දැන් මෙම අයිසීසී නියෝජිත පිරිස මේ පිළිබඳ වාර්තාව කඩිනමින් අයිසීසීය වෙත භාරදීමට කටයුතු කරනු ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නීතිරීති අනුව ක්‍රීඩාවේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව දේශපාලන මැදිහත්වීම්වලින් තොරව ඒ ඒ රටවල ජාතික ක්‍රිකට් ක්‍රීඩා සංගම් ස්වාධීනව ක්‍රියාත්මක විය යුතු බව දැක්වේ. මෙරට නීතිය සහ මෙරට ක්‍රිකට් ක්‍රීඩා නීතිය අයිසීසී නීතිය සමග ගැටෙන අවස්ථා එහිදී උදා වේ. එහෙත් ඒවා මැදහත්ව ගැටුම් ඇති නොවන ලෙස එකිනෙකාට ගරු කරමින් පවත්වාගෙන යා යුතු වේ. ක්‍රීඩා ඇමැති සහ අයිසීසී නියෝජිතයන් අතර හමුවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විණි. අවසානයේ ඇමැති අයිසීසී නියෝජිතයන්ගෙන් මෙසේ ඉල්ලා සිටියේය.

“අපි අයිසීසී යට ගරු කරනවා මෙන් අපේ රටේ නීතියටත් ගරු කරන්න”

අයිසීසී එකෙන් ඇවිත් වාර්තාවක් අරන් යයි
ක්වාජා මහතා සහ ක්‍රිකට් නිලධාරීන් අතර හමුව

ඇමැති අයිසීසීයෙන් ඉල්ලූ එම ඉල්ලීම සුළුවෙන් තැකිය නොහැක. අදාළ හමුවීම පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සිදුකරන ලද මාධ්‍ය නිවේදනයේ දැක්වුණේ මේ හමුවීම සම්බන්ධයෙන් නිළ වශයෙන් පෙර දැනුම්දීමක් සිදු කර නොමැති වුවත් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කිරීමෙන් අනතුරුව එම සාකච්ඡාව සිදු වූ බවයි.

කෙසේ හෝ කලින් දැන හෝ නොදැන හෝ පසුගිය බදාදා සහ බ්‍රහස්පතින්දා අයිසීසී නියෝජිතයන් සිදුකළ එම දත්ත එක්රැස් කිරීම සිදු විය යුතුව තිබූ දෙයකි. රටේ ක්‍රිකට් දියුණුව පතන ජනතාවගේ බලාපොරොත්තුවලට අදාළ නියෝජිතයන්ගේ පැමිණීම යහපතක් වූයේ නම් මෙය ඉතා හොඳය.

ලෝකයේ ප්‍රමුඛස්ථානයේ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත ලෝක කුසලානය සඳහා තරග කිරීමට තේරීම් තරගවලට මුහුණ දීම දක්වා කඩා වැටී ඇති ආකාරය ද ඇමැතිවරයා අදාළ නියෝජිත පිරිස හමුවේ පෙන්වා දී ඇත. ඒ තත්ත්වයෙන් නැවත

නැඟීසිටීමට කටයුතු කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ සියලු දෙනාගේ වගකීමක් බව ද ඔහු එහිදී පවසා තිබේ. ඉදිරියට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ නිවැරදි දේ කිරීමට තමාගේ සහයෝගය ලබා දෙන බව ද ඇමැතිවරයා එම නියෝජිත පිරිස හමුවේ ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිතයන්ද මෙරට ක්‍රිකට් පරිපාලනයට එල්ල වන බාහිර බලපෑම් පිළිබඳ අයිසීසී නියෝජිතයන් දැනුවත් කර තිබුණි. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නියෝජනයක් ද අයිසීසී හමුවේ සිය අදහස් දක්වා තිබුණි. වාර්තා වන අන්දමට අයිසීසී නියෝජිතයන් මෙරටින් පිටව ගියේ ඇති තරම් තතු දැනගෙනය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment