පොංගල් පූජාවෙන් කුරින්දි නොසන්සුන්

892

මුලතිව් කුරින්දි විහාරය ආසන්නයේ ද්‍රවිඩ ජනතාව විසින් ඉකුත් 18 වැනිදා පොංගල් පූජාවක් පැවැත්වීමත් සමග එම ස්ථානය අවට ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් මතුවී තිබිණි.

මුලතිව්හි ද්‍රවිඩ ජනතාව විහාරය ආසන්නයේ දේව ප්‍රතිමා තබා ඊට පූජා පවත්වා තිබේ.

මෙම අවස්ථාවේදී කුරින්දි විහාරය වෙත බෞද්ධ භික්ෂූන්වහන්සේ හා ගිහි සංවිධානවල විශාල පිරිසක් පැමිණ සිටියහ. එහිදී පොංගල් උත්සවයට විරෝධය පළකරමින් පෝස්ටර් විශාල ප්‍රමාණයක් අලවා තිබූ අතර දකුණේ සිට පැමිණ සිටි බෞද්ධ භික්‍ෂූන්වහන්සේ සහ බැතිමතුන් එක්ව විහාරස්ථානයේ ආශිර්වාද පූජාවක් පැවැත්වූහ.

පැවැති නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලිසිය කැඳවා තිබූ අතර විහාරස්ථානය අවට ප්‍රදේශයේ ආරක්‍ෂාව දැඩි කොට තිබිණි.

දිනසේන රතුගමගේ

සංහිඳියාවට අවධානය

ආගමික සංහිඳියාව ඉදිරියට ගෙනයමින් මුලතිව් කුරුන්දි පූජාභූමිය ආසන්නයේ හින්දු කෝවිලක් ඉදිකිරීමට උතුරේ බෞද්ධ හින්දු ආගමික නායකයන්ගේ අවධානය යොමුවී තිබේ.

මේ සඳහා වූ විශේෂ සාකච්ඡාවක් යාපනය නාගවිහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල හා මුලතිව් කුරුන්දි විහාරාධිපති ගල්ගමුවේ සංඝබෝධි යන හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත් ආගමික ප්‍රධානීන් සමග යාපනය නාගවිහාරයේදී පැවැත්විණි.

නායක හිමිවරුන් සහ හින්දු ආගමික නායකයන් එක්ව ඉකුත් 17 වැනිදා යාපනය නාග විහාරයේ දී මෙම සාකච්ඡාව සිදු කර ඇති අතර එහිදී කුරුන්දි රජ මහාවිහාරය ඉලක්ක කරගනිමින් අන්තවාදී කණ්ඩායම් සිදුකරනු ලබන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය.

වසර දෙදහසකටත් අධික බෞද්ධ හින්දු ආගමික සංහිඳියාව බිඳ දැමීමට කුරුන්දි විහාරය මුල්කර ගිනිමින් අන්තවාදී දේශපාලන කණ්ඩායම් කටයුතු කරමින් සිටින ආකාරය පිළිබඳව ද එම සාකච්ඡාවේදී බෞද්ධ හින්දු ආගමික නායකයෝ දැඩි අවධානය යොමු කළහ.

ආගමික ප්‍රධානීන්ට අමතරව මෙම අවස්ථාවට සිවසේනා සංවිධානයේ සච්චිත්තානන්දන් මහතා ඇතුළු විසිපස්දෙනෙක් සහභාගි වූහ.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment