වරාය අධිකාරියේ සේවකයන් සඳහා ඉකුත් වර්ෂයේදී ගෙවා ඇති සමස්ත අතිකාල දීමනාව රුපියල් මිලියන 11,968ක්.

දුම්රිය සේවකයන්ගේ අතිකාල දීමනාව රුපියල් බිලියන 2.3කි.

රේගු නිලධාරීන්ට රේගු අතිකාල අරමුදලින් අතිකාලා ආදායම ඉක්මවා කෝටි 09ක් ගෙවලා.

අප රටේ රාජ්‍ය ආයතන වැඩි සංඛ්‍යාවක් පවත්වාගෙන යන්නේ පාඩු පිටය. මහා භාණ්ඩාගාරයේ මූල්‍ය අනුග්‍රහයක් නොමැතිව ඇතැම් රාජ්‍ය ආයතන පවත්වාගෙන යා නොහැක. බොහෝ රාජ්‍ය ආයතනවල වැඩි වශයෙන්ම ඇත්තේ නාස්තිකාර වියදම්ය. සමහර රාජ්‍ය ආයතන වංචා හා දූෂණ වලින් පිරීගොස් ඇත. පවතින ආර්ථික අර්බුදය හමුවේ අනවශ්‍ය වියදම් සීමාකරන ලෙස රාජ්‍ය ආයතන සඳහා විටින්විට විවිධ චක්‍රලේඛ නිකුත් කළද ඒවා චක්‍රලේඛවලටම පමණක් සීමාවි ඇත. ඇතැම් රාජ්‍ය ආයතනවල සිදුවන ප්‍රසම්පාදන කටයුතු අන්ත දූෂිතය. විගණන වාර්තා මගින් රාජ්‍ය ආයතනවල සිදුවන විවිධ දූෂණයන් පසුගිය කාලයේදී කොතෙකුත් අනාවරණය කළද ඒවා විගණන වාර්තාවලට පමණක්ම සීමා වී ඇත. දඬුවම් ලැබූ නිලධාරියකු නොමැති තරම්ය. ජනතාව ආර්ථික වශයෙන් ගැටලු රැසකට ලක්ව සිටියදී ඇතැම් රාජ්‍ය සංස්ථා, මණ්ඩල, අධිකාරිවල ඉහළ නිලධාරීන් මෙන්ම සේවකයන් මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව කෝටි ප්‍රකෝටි ගණනින් විවිධ වර්ගයේ දීමනා සහ ප්‍රසාද දීමනා ලබාගනී.

බෝනස් පිට බෝනස් අතිකාල දී නට්ටං පාඩුව ජනතාව පිට පටවන රාජ්‍ය ආයතන

ඇතැම් ආයතන පවත්වාගෙන යන්නේ පාඩු පිටය. එහෙත් එකී ආයතනවල සභාපතිවරු ඇතුළු සේවකයන් ප්‍රසාද දීමනා කලට වේලාවට ලබා ගනිති. පාඩු ලබන රාජ්‍ය ආයතන මෙන්ම මෙසේ නීත්‍යානුකුල නොවන අයුරින් ලබා ගන්නා නා නා මාදිලියේ දීමනා සඳහා වන්දි ගෙවිමට වී ඇත්තේ මෙරටේ අහිංසක ජනතාවටය.

ඉන්ධන දීමනාව සීමාකොට තිබියදී ඇතැම් රාජ්‍ය සංස්ථා හා අධිකාරිවල සභාපතිවරු වාහන තුන හතරක් භාවිත කරමින් සුරසැප විඳිති. අප මේ කියන්නට යන්නේ විවිධ දීමනා හා නාස්තිකාර වියදම් සිදුකරමින් ජනතාවගේ බදු මුදලක් ගසාකන රාජ්‍ය ආයතන කිහිපයක් ගැනය. මෙම තොරතුරු විගණනය මගින්ද අනාවරණය කොට තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලාභ ලබන ආයතනයකි. ඉකුත් වර්ෂයේදී වරාය අධිකාරියේ සේවකයන් සඳහා ගෙවා ඇති සමස්ත අතිකාල දීමනාව රුපියල් මිලියන 11,968කි. මින් මිලියන 924ක් ගෙවා ඇත්තේ අධිකාරියේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් සෘජුවම සම්බන්ධතාවක් නොදක්වන කොට්ඨාස 10ක සේවකයන් සඳහාය. ඒ විතරක් නොව අතිකාල දීමනා ගෙවීම අත්හිටුවීම සහ විවිධ අයුරින් ලබාගන්නා අතිකාල දීමනාවන්හි එකතුව වැටුප ඉක්මවා නොයන පරිදි කටයුතු කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට උපදෙස් ලබා දී තිබුණි. නමුත් වරාය අධිකාරියේ මුළුතැන්ගෙයි අංක 01 හි සේවකයන් 72ක් වෙනුවෙන් ඉකුත් මාස 07ට වැටුප ඉක්මවා අතිකාල දීමනා වශයෙන් රුපියල් මිලියන 50.9ක මුදලක් ගෙවා තිබුණි.

එමෙන්ම සීනිවල මිල ගණන් මේ දිනවල රට්ටුන් අතර ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. එහෙත් සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගම ගැන කියන්නට ඇත්තේ තිත්ත කථාවකි. මෙකී සමාගම තුළ භාණ්ඩාගාරය මගින් අනුමත කරන ලද දිරි දීමනා යෝජනාක්‍රමයක් ක්‍රියාත්මක නොවේ. එහෙත් ප්‍රධාන කාර්යාලයේ සහ සෙවනගල හා පැලවත්ත යන අංශවල සේවකයන් සඳහා 2022 වර්ෂයේ දි රුපියල් තිස්දෙකෝටි හැත්තැහයලක්ෂ අනූදෙදහස් නමසිය අනූනමයක මුදලක් (327,692,999) දිරි දීමනා වශයෙන් ගෙවා තිබේ. සෙවනගල හා ප්‍රධාන කාර්යාලයේ සේවකයන් සඳහා ප්‍රසාද දීමනා වශයෙන් ගෙවා ඇති මුදල රුපියල් එක්කෝටි අනූනමලක්ෂ හතළිස්හයදහස් අසූදෙකකි (19,946,082).

දුම්රිය දෙපාර්තමේන්තුව ද විවිධ වංචා හා දූෂණවලින් යුතු ආයතනයකි. 2021 වර්ෂයේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම බිලියන 2.6කි. සේවකයන්ගේ අතිකාල දීමනාව බිලියන 2.3යි. වැටුප බිලියන 07කි. දුම්රිය දෙපාර්තමේන්තුවේ අලාභය බිලියන 10කි. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් එහි සේවකයන් සඳහා ඉකුත් වර්ෂයේ දි (2022) රුපියල් මිලියන 2,508 ක මුදලක් අතිකාල දීමනා වශයෙන් වැඩිපුර ගෙවා ඇති බව විගණනය මගින් පෙන්වා දි තිබිණි. අතිකාල දීමනා ගෙවීම විනිවිදභාවයෙන් තොරව සිදුකොට ඇති අතර අතිකාල පාලනය සම්බන්ධයෙන් කළමනාකරණය තම වගකීම නිසිපරිදි ඉටුකර නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. ඇඟිලි සලකුණු යන්ත්‍ර අක්‍රියවීමට ඉඩහැරීම අතිකාල පාලනයට සෘජුව බලපා ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. අතිකාල වියදම ධාවන කිලෝමීටරයකට රුපියල් 1.20ක් වියයුතු අතර ඒ අනුව 2022 වර්ෂයේ අතිකාල වියදම රුපියල් මිලියන 566කට වැඩි නොවිය යුතු වේ. එහෙත් 2022 වර්ෂයේ අතිකාල වියදම රුපියල් මිලියන 3074ක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ. කෙසේවුවද මේ පිළිබඳ ලංගමයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ ප්‍රාථමික ගණයේ සේවක මහතුන්ගේ වැටුප් පරිවර්තනයත් සමග එම සේවකයන්ගේ අතිකාල රේටය රුපියල් 175ක් බවය. අතිකාල රේටය දෙගුණයකින් වැඩිවීමත් 2022 වර්ෂය වනවිට එම ගණයේ සේවක මහතුන්ගේ වැටුප් සංශෝධනය කිරීමට අනුමැතිය ලැබීම නිසා අතිකාල රේටය රුපියල් 200 ඉක්මවා ගොස් ඇති බවය.

එමෙන්ම ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් සිය කාර්යය මණ්ඩලය සඳහා චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව විවිධ දීමනා ලෙස ඉකුත් වර්ෂයේ දි (2022) රුපියල් හත්කෝටි හතලිස්තුන්ලක්ෂ අනූහත්දහස් හාරසිය අසූතුනක මුදලක් (74,397,483) ගෙවා තිබුණි. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ ද අනුමැතියකින්ද තොරව මෙකී දීමනා මුදල් ගෙවා තිබූ අතර වෘත්තිය දීමනා ලෙස ගෙවා ඇති මුදල රුපියල් එක්කෝටි හැටදෙදහස් පන්සියයකි. (10,062,500) කළමනාකරණ දීමනා ලෙස රුපියල් එක්කෝටි තිස්අටලක්ෂයක (13,800000)ක මුදලක් සහ අතුරු දීමනා ලෙස රුපියල් හත්කෝටි හතලිස්තුන්ලක්ෂ අනූහත්දහස් හාරසිය අසූතුනක (74,397,483) මුදලක් ගෙවා තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ. මේ පිළිබඳ අධිකාරියේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෘත්තිය දීමනා (තාක්ෂණික) අනුමත කර ඇති බවත් සිවිල් ගුවන්සේවා අධිකාරි පනත මගින් පැවරී ඇති බලතල අනුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනිකුත් දීමනා අනුමත කර ඇති බවත්ය. විගණන ජේදයේ සඳහන් දීමනා සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාගතයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් හා සේවකයන් කෝටි ගණනින් දීමනා ලබාගෙන තිබේ. එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව එහි සේවකයන් සඳහා ඉකුත් වර්ෂයේ දි (2022) දීමනා ලෙස රුපියල් පනස්හතරකෝටි හතලිස්දෙලක්ෂ හැටතුන්දහස් අටසියවිසිතුනක (544,263,823) මුදලක් ගෙවා තිබුණි. එමෙන්ම ඉකුත් වර්ෂයේ දි ප්‍රසාද දීමනා ලෙස රුපියල් හයකෝටි අසූලක්ෂ තිස්නමදහස්, නමසියහැටක මුදලක් (68,039,960) ප්‍රසාද දීමනා ලෙස ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. පොදු ව්‍යාපාර චක්‍ර ලේඛවලට අනුකූලව කටයුතු කිරීම සඳහා පියවර ගතයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත. මේ පිළිබඳ ආයෝජන මණ්ඩලයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ 2021.12.02 දිනැති ලිපියක් මගින් භාණ්ඩාගාර අනුමැතිය ඉල්ලා ඇති බවය.

එමෙන්ම සාමුහික ගිවිසුම් හෝ ඒ හා සමාන අවබෝධතා ගිවිසුම් මගින් හෝ වැටුප් හා දීමනා ක්‍රියාත්මක කරන රාජ්‍ය සංස්ථා සහ සම්පූර්ණයෙන් රජය සතු සමාගම්වල සේවකයන්ට ප්‍රසාද දීමනා නොගෙවිය යුතුයි. එහෙත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඉන් බැහැරව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත එක් සේවකයෙකුට රුපියල් 20000 බැගින් රුපියල් මිලියන 17.82 ප්‍රසාද දීමනා ගෙවා තිබුණි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් පැමිණීමේ දිරිදීමනා ගෙවන්නේ නම් වර්ෂය අවසානයේ ඉතිරි නිවාඩු සඳහා මුදල් ගෙවිය නොහැකිය. එහෙත් පැමිණීමේ දිරිදීමනා ගෙවා තිබූ සේවකයන් සඳහා ඉකුත් 2022 වර්ෂය අවසානයේදී ඉතිරි නිවාඩු වෙනුවෙන්ද රුපියල් එක්කෝටි දහනමලක්ෂ හැටදහස් අටසිය විසිදෙකක් (11,960,822) මුදලක් ගෙවා තිබුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහා ඉකුත් වර්ෂයේ දි (2022) අතිකාල හා නිවාඩු දින වැටුප් සඳහා රුපියල් මිලියන 36,191.77ක මුදලක් ගෙවා තිබූ අතර එය 2022 වර්ෂය තුළ වැටුප් සඳහා ගෙවා ඇති මුළු මුදලින් සියයට 72ක් බව විගණන වාර්තාවක සඳහන් වන්නේය. සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහා වැටුප් වශයෙන් ඉකුත් වර්ෂය තුළදී රුපියල් මිලියන 43,356.02ක මුදලක් ගෙවා තිබුණි. භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නිකුත්කොට ඇති ලිපිය ප්‍රකාරව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පැමිණිම හා පිටවීම සනාථ කළ හැකි පරිදි ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක නොකරන්නේ නම් වර්තමාන වැටුපට අනුව අතිකාල දීමනා නොගෙවීමට වගබලාගත යුතු බව සඳහන්කොට තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. කෙසේවුවද සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් අමාත්‍යාංශයට අයත් රෝහල් හා ආයතන සඳහා රුපියල් මිලියන 31.08ක් වැයකර ස්ථාපිත කොට තිබූ ඇඟිලි සලකුණු යන්ත්‍ර 213 භාවිතයට නොගෙන නිශ්ක්‍රියාව පැවති බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ප්‍රකාරව සියලුම රජයේ ආයතනවල ඇඟිලි සලකුණු සටහන් කිරීමේ යන්ත්‍ර මගින් නිලධාරීන් කාර්යාලයට පැමිණීම හා පිටවීම සනාථ කළ යුතු වේ.

එමෙන්ම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශ හා මහාභාණ්ඩාගාරයේ පූර්ව අනුමැතිය ලබා ගැනීමකින් තොරව සිය ආයතනයේ කාර්යමණ්ඩලය සඳහා දීමනා වර්ග දහයක් යටතේ ඉකුත් වර්ෂය තුළදී (2022) රුපියල් මිලියන 58.9ක මුදලක් ගෙවා තිබුණි. ඒ විතරක් නොව කොමිෂන් සභාවේ නිලධාරීන් 20 දෙනකු විසින් රාජ්‍ය හා පුද්ගලික බැංකු වලින් රුපියල් මිලියන 95.6ක නිවාස හා දේපළ ණය ලබාගෙන තිබුණි. එකී ණය මුදල් වෙනුවෙන් වූ රුපියල් මිලියන 3.9ක් වූ පොලී මුදල භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව කොමිෂන් සභාව විසින් ගෙවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි. කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සහ අධ්‍යක්ෂ තනතුරු දරන නිලධාරීන් 13 දෙනකුට අනුමත මාසික දීමනාව ඉක්මවා ඉකුත් වර්ෂය තුළදී ඉන්ධන ලීටර් 4950ක් සඳහා රුපියල් මිලියන 1.7ක මුදලක් ද ගෙවා තිබුණි. කොමිෂන් සභාවේ නිලධාරීන් 25 දෙනකුට රුපියල් මිලියන 2.7ක මුදලක් වාහන දීමනා වශයෙන් වැඩිපුර ගෙවා තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. වාහන දීමනා ලබා ගන්නා නිලධාරීන් 12 දෙනකුට කොමිෂන් සභාව විසින් මාසිකව රුපියල් 20000 බැගින් රියැදුරු දීමනාව ලෙස රුපියල් මිලියන 2.5ක මුදලක් ගෙවා තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එමෙන්ම වගකිවයුතු නිලධාරියකු විසින් වවුචරපත් අනුමත කිරීමකින් තොරව වවුචර පත් 31 සඳහා රුපියල් මිලියන 1.5ක මුදලක් ගෙවා තිබුණි. කොමිෂන් සභාවේ නිලධාරීන්ට ගෙවා තිබූ රුපියල් මිලියන 1.1ක් වන අතිකාල දීමනා වවුචරපත් 51ක් නිසි ලෙස සහතික නොකර ගෙවා තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. නියදි විගණන පරික්ෂාවට අනුව විධිමත් තහවුරු කිරීමේ උපලේඛන රහිතව රුපියල් මිලියන 2.9ක් වටිනා වවුචරපත් 56ක් සඳහා ගෙවීම් කොට තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

රේගුව ද එහි සේවකයන් සඳහා අතිකාල දීමනා විශාල වශයෙන් ගෙවන ආයතනයකි. රේගු දෙපාර්තමේන්තුවේ රේගු අතිකාල, නැව් බඩු පරික්ෂාකිරීමේ ගාස්තු හා රේගු තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන අරමුදල විසින් ඉකුත් වර්ෂයේ (2022) රැස්කළ අතිකාල ආදායම ඉක්මවා රුපියල් නමකෝටි හැත්තැතුන්ලක්ෂ අනූඑක්දහස් හත්සියහැටනමයක මුදලක් (97,391,769) රේගුවේ නිලධාරීන්ට අතිකාල දීමනා ලෙස ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. ඉකුත් වර්ෂය තුළදී මෙකී අරමුදලට අතිකාල, ආදායම් ලෙස රුපියල් අසූහතරකෝටි දාහතරලක්ෂ අසූදහස් අටසිය පනස් එකක (841,480,851) ක මුදලක් රැස්කරගෙන තිබුණි. එම කාර්යයන්ගේ කටයුතුවල නිරත වූ නිලධාරීන්ට අතිකාල ආදායමෙන් සියයට 111ක් ලෙස රුපියල් අනූතුන්කෝටි අසූඅටලක්ෂ හැත්තෑදෙදහස් හයසියවිස්සක මුදලක් (938,872,620) මුදලක් අතිකාල දීමනා ලෙස ගෙවා තිබුණි. නැව් බඩු පරීක්ෂණ ආදායම ලෙස රුපියල් විසිදෙකෝටි අසූඑක්ලක්ෂ හැටතුන්දහස් පන්සිය පනහක මුදලක් (228,163,550) රැස්කරගෙන තිබූ අතර එම මුදලින් සියයට පනහක් ලෙස රුපියල් එකොළොස් කෝටි හතළිස්ලක්ෂ අසූඑක්දහස් හත්සියහෑත්තෑපහක මුදලක් (114,081,775) මුදලක් නිලධාරීන්ට ගෙවා තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම තොරතරු තාක්ෂණ ආදායම ලෙස රුපියල් එක්කෝටි හතලිස්නමලක්ෂ හෑත්තෑහයදහසක (14,976,000) මුදලක් රැස්කරගෙන තිබූ අතර ඉන් සියයය 80ක් ලෙස රුපියල් එක්කෝටි දහනමලක්ෂ අසූදහස් අටසියයක මුදලක් (11,980,800) රේගු නිලධාරීන්ට ගෙවා තිබුණි.

අතිකාල අරමුදලේ ගෙවීම් විධිමත් පාලනයක් යටතේ සිදුනොවන බව ඉකුත් විගණන වාර්තා මගින් දිගින් දිගටම පෙන්වා දි තිබුණි. මෙම තත්ත්වය විධිමත් කිරීම සඳහා මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. රැස්කළ අතිකාල ආදායම ඉක්මවා ගෙවීම් නොකළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

මේ පිළිබඳ මෙකී අරමුදලේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා පහසුකම් සැපයීම වෙනුවෙන් රේගු දෙපාර්තමේන්තුව වෙත අතිකාල ආදායම් රැස්වන අතර ඒ සඳහා සම්බන්ධ වන සියලුම නිලධාරීන් සඳහා අතිකාල ගෙවනු ලබන බවය. දෙපාර්තමේන්තුව තුළ අතිකාල ගෙවීම් සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට තීරණ ගැනීම සඳහා නිර්දේශ ලබාගැනීමට කමිටුවක් පත්කොට ඇති බවද ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විගණනයට සඳහන් කොට ඇත. යාවත්කාලීන නොවූ ගාස්තු ප්‍රමාණයක් අයකිරීම හේතුවෙන් රැස්කළ අතිකාල ආදායම අඩුවී ඇති බවද ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත.

එමෙන්ම සීමාසහිත මිල්කෝ පුද්ගලික සමාගම විසින් වාර්ෂික මූල්‍ය ප්‍රකාශ විගණනය කිරීමට පෙර චක්‍ර ලේඛනවලට පටහැනිව විධායක හා විධායක නොවන නිලධාරීන් සඳහා ඉකුත් වසර තුන තුළ (2020,2021,2022) ප්‍රසාද දීමනා ලෙස රුපියල් අටකෝටි පනස්පන්ලක්ෂ හැත්තෑතුන්දහස් අනූපහක මුදලක් (85,573,095) මුදලක් ගෙවා තිබුණි. 2020 වර්ෂයේ දි චක්‍රලේඛයට පටහැනිව විධායක හා විධායක නොවන නිලධාරීන් 1350ක් වෙනුවෙන් එක් නිලධාරියෙකුට රුපියල් 15000 බැගින් ප්‍රසාද දීමනා ගෙවීම සඳහා රුපියල් එක්කෝටිඅනූලක්ෂ අසූහයදහස් තුන්සිය හැත්තැපහක මුදලක් (19,086,375) ගෙවා තිබුණි. 2021 වර්ෂයේ අප්‍රේල් මස 09 වැනිදින එක් නිලධාරියෙකුට රුපියල් 20000 බැගින් රුපියල් දෙකෝටි පනස්නමලක්ෂ විසිඑක්දහස් දෙසිය තිස්අටක මුදලක් (25,921,238) හා එම වර්ෂයේ දෙසැම්බර් මස 21 වැනි දින එක් නිලධාරියෙකු රුපියල් 11.657 බැගින් රුපියල් එක්කෝටි හතලිස්අටලක්ෂ නමසියහතක (14,800,907) ප්‍රසාද මුදලක් ගෙවා තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම 2022 වර්ෂයේදී ප්‍රසාද දීමනා ලැබීමට හිමිකම් නොමැති තත්ත්වයක් තුළදී චක්‍රලේඛනයන්ට පටහැනිව 2022 වර්ෂයේ අප්‍රේල් මස 11 වැනි දින රුපියල් 10000 බැගින් රුපියල් එක්කෝටි තිස්ලක්ෂ හතළිස්හතරදහස් අටසිය අසූඅටක (13,044,888) ප්‍රසාද මුදල් වශයෙන් ගෙවා තිබුණි. එම වර්ෂයේ දෙසැම්බර් මස 23 වැනිදින එක්කෝටි විසිහත්ලක්ෂ දහනමදහස් හයසියඅසූහතක (12,719,687) මුදලක් ප්‍රසාද දීමනා වශයෙන් ගෙවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මේ පිළිබඳ මිල්කෝ ආයතනය විසින් විගණයට සඳහන් කොට ඇත්තේ ප්‍රසාද දීමනා ගෙවීමේදී රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අනුගමනය කිරීමක් සිදු නොකර ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩල තීරණ අනුව ප්‍රසාද දීමනා ගෙවා ඇති බවය.

ස.තො.ස ආයතනය පවත්වාගෙකන යනු ලබන්නේ පාඩු පිටය. එහෙත් භාණ්ඩාගාරයේ අනුමැතියකින් සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියක් තොරව ලංකා සතොස සමාගම විසින් එහි ප්‍රධාන විධායක නිලධාරි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීන්, සේවකයන් සඳහා දිරිදීමනා, ප්‍රසාද දීමනා, කාර්යසාධන දීමනා, ඇතුළු විවිධ වර්ගයේ දීමනා සඳහා රුපියල් දහතුන්කෝටි හතලිස්හතරලක්ෂ අසූදෙදහස් දෙසිය හැටක මුදලක් (134,482.260) මුදලක් ගෙවා තිබුණි.

සමාගමේ කාර්යමණ්ඩලය සඳහා වාර්ෂිකව ගෙවිය යුතු ප්‍රසාද දීමනාව රුපියල් 5000ක් වුවද රුපියල් 30000 බැගින් එහි සේවකයන් 3267 දෙනකු වෙත රුපියල් නමකෝටි හැත්තැපන්ලක්ෂ විසිහයදහස් නමසිය අනූඅටක (97,526,998) මුදලක් ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව මෙහි සේවකයන් සඳහා ප්‍රසාද දීමනා වශයෙන් රුපියල් අටකෝටි එකොළොස්ලක්ෂ අනූඑක්දහස් නමසියඅනූඅටක මුදලක් (81,191,998) වැඩිපුර ගෙවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම දිරිදීමනා ගෙවීම සඳහා මහාභාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගතයුතු වුවද 2021 වර්ෂය තුළ භාණ්ඩාගාරයේ අනුමැතියක් නොමැතිව දිරිදීමනා වශයෙන් රුපියල් හාරකෝටි හාරලක්ෂ තිස්දහස් දෙසියහැටදෙකක මුදලක් (40,430,262 ගෙවා තිබුණි. අනුමත බඳවා ගැනීමේ පටිපාටියකට අනුව වැටුප් හා දීමනා ගෙවිය යුතු වුවත් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව ප්‍රධාන විධායක නිලධාරිට හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් 07 දෙනකු සඳහා 2021 වර්ෂය තුළ කාර්යසාධන දීමනාව වශයෙන් රුපියල් පනස්දෙලක්ෂ, අනූදහසක මුදලක් (52,90000) ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියක් නොමැතිව ප්‍රධාන විධායක නිලධාරි සඳහා රුපියල් 250000 මාසික දීමනාවක් ද, අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් හෝ නොමැතිව නියෝජ්‍ය සාමාන්‍යධිකාරීන් සඳහා රුපියල් 1,50000ක් මාසික දීමනාවක්ද, ගෙවා තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. ඒ අනුව 2021 වර්ෂය තුළ අනුමැතියකින් තොරව රුපියල් පනස්හත්ලක්ෂ අනූපන්දහසක මුදලක් (5,795,000) වැඩිපුර ගෙවා තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

භාණ්ඩාගාරයේ අනුමැතිව ලබාගැනීමෙන් තොරව නිල වාහන භාවිත කිරීමට හිමිකම් නොමැති නිලධාරීන් 14 දෙනකු සඳහා රුපියල් 1,775,000 මුදලක් ප්‍රවාහන දීමනා වශයෙන් ගෙවා තිබුණි.

ගෙවනු ලැබූ සැම ප්‍රසාද දීමනවාක් සඳහාම අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇති බවත් මේ සඳහා වැයවූ මුදල් ආයතනය විසින් උපයාගත මුදල් බවද ලංකා සතොස සමාගමේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත. ගෙවනු ලැබූ සෑම දිරි දීමනාවක් සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාදී ඇති බවද සමාගමේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත. කාර්යසාධන දීමනා ගෙවීම සම්බන්ධයෙන් සමාගමේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ ප්‍රධාන විධායක නිලධාරි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තනතුරු සඳහා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා යොමුකොට ඇති බවය. ප්‍රධාන විධායක නිලධාරිට සහ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරුන්ට අනුමැතියෙන් තොරව වැඩිපුරගෙවා ඇති දීමනා සම්බන්ධයෙන් සමාගමේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ 2019 වර්ෂයේ සැප්තැම්බර් මස 10 වැනි දින කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය සඳහා යොමුකර ඇති බවය.

ප්‍රවාහන දීමනාව අනුමත කරගැනීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත කරුණු පැහැදිලි කරමින් ලිපියක් යොමුකර ඇති බවද සමාගමේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත. මේ අපේ රටේ රාජ්‍ය ආයතනවල සේවකයන් විවිධ වර්ගයේ දීමනා ලබා ගන්නේ මේ අයුරිනි. මෙවැනි තත්ත්වයක් තුළ රාජ්‍ය ආයතන නට්ටංවීම අරුමයක් නොවේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment