දළඳා මාලිගාවටත් එපා කියපු ඇහැළේපොළ වලව්ව හෝටලයකට?

153

මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැළේපොළ වලව්ව පිළිබඳ කතිකාව වරින් වර මතුවෙමින් තිබේ. ඒ මෙම පෞරාණික ගොඩනැගිල්ල ව්‍යාපාරික ස්ථානයක් බවට පත් කිරීමටත් ඉන් මුදල් ඉපයීමටත් එක් එක් අවස්ථාවල දී එක් එක් පුද්ගලයින් මාන බලන නිසා ය.

මහතැන සිට පොඩිතැන තෙක්ම සෑම බලධාරියකුම පෞරාණික හා සංස්කෘතික දායාදයන් ඇපයට තබා ඩොලර් ඉපැයීමටත් ඒ ඔස්සේ තම තමන්ගේ බඩවඩා ගන්නටත් මාන බලමින් සිටින වග දැන් හොඳ හැටි පැහැදිලිය. මහනුවර ලෝක උරුම ගොඩනැගිලි ද වරින් වර මේ බිල්ලට හසුව තිබෙන බවට හොඳම උදාහරණය ඇහැළේපොළ වලව්ව ය. යම් හෙයකින් මහනුවර ඇහැළේපොළ වලව්ව දළදා මාලිගාව විසින් භාර නොගන්නේනම් එය ආයෝජන ව්‍යාපෘතියක් වෙනුවෙන් යොදාගැනීම සඳහා ඇමති මණ්ඩල අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකසන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉකුත් දා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ. ඇහැළේපොළ වලව්ව ආයෝජන ව්‍යාපෘතියක් ලෙස යෙදවීමේ දී එහි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී ඇමතිවරයා කියා තිබේ.

ඓතිහාසික ඇහැළේපොළ වලව්ව සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 147ක් පමණ වැයවී තිබේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුයේ, මෙම දේපළ දළදා මාලිගාවට පවරා ගන්නේ නම් සංවර්ධන කටයුතු වෙනුවෙන් වැයවූ රුපියල් මිලියන 147ක මුදල නැවත නාගරික සංවර්ධන අධිකාරියට ගෙවිය යුතු බවය. එම මුදල ගෙවීමට දළදා මාලගාව අකමැතිනම් මෙම දේපළ ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගත යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත.

මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ ඇහැළේපොළ වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබූ බැවින් මෙම වලව්ව දළදා මාලිගාවට පවරා දීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් මීට මාස හයකට පමණ පෙර දී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබිණ.

එහෙත් මෙම දේපළ සංවර්ධනය කිරීමට වැයවූ මුදල් නැවත ගෙවීම සම්බන්ධයෙන් දළදා මාලිගාව පැහැදිලි පිළිතුරක් ලබාදී නොමැති බව ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී අණාවරණය විය. මේ තත්ත්වය මත නාගරික සංවර්ධන අධිකාරියත් දළදා මාලිගාවත් අමාත්‍යවරයාත් සාකච්ඡාවක් පවත්වා ඇති බවට කසුකුසුවක් ද යමින් තිබේ.

දළඳා මාලිගාවටත් එපා කියපු ඇහැළේපොළ වලව්ව හෝටලයකට?

මහනුවර නගරය ජීවමාන ලෝක උරුමයක් වන්නේ අවසාන රාජධානියේ ස්පර්ශිත ප්‍රවේශයන් හෙවත් අතපත ගාමින් දැකගත හැකි දෑ මේ අදටත් හමුවන නිසාය. එය දැක අවබෝධයෙන් සාක්ෂි සහිතව ඉතිහාසය අවබෝධ කරගත හැකි නිසාය.

දළදා මාලිග පරිශ්‍රයට ගියවිට කාටත් දැනෙන්නේ අතීත ශ්‍රී විභූතිය යි. පෞරාණික වටිනාකමින් අනූන මහා ප්‍රතාපවත් ගොඩනැගිලි සමුදායක් ඇස ගැටෙනවිට කාටත් හැගෙන්නේ අපේකමය. ඒ අපේකම වෙළෙඳ භාණ්ඩයක් ලෙස පරිහරණය වන තැනට දැන් කටයුතු කෙරීගෙන යන බව පෙනෙන්නට ඇත. නමුත් ලෝකය හමුවේ පෙන්වා සිටින්නේ මේ ඉපැරණි ගොඩනැගිලි තවදුරටත් ආරක්ෂා කර ගනිමින් ඒවා නවීකරණය කර දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය සඳහා සකස් කළ යුතු බවය.

ඒ වග පෙර කී පරිදි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉකුත් දා අපට ඇඟිල්ලෙන් ඇණ පෙන්වීය. ඒ ඇහැළේපොළ වලව්ව’ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පවරා දීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරමිනි.’

මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්ව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේ දී ඇහැළේපොළ මහ අධිකාරම් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ජීවත්වූ නිවසය. එය පසු කාලීනව ඇහැළේපොළ වලව්ව, රිමාන්ඩ් බන්ධනාගාරය හා බන්ධනාගාර නිල නිවාසය ලෙස ගොඩනැගිලි තුනකින් සමන්විතව තිබිණි. ඓතිහාසික ඇහැළේපොළ වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආශ්‍රීත පූජාභූමි ප්‍රදේශයේ පිහිටා ඇත. එය 2005 වසරේ දී පුරාවිද්‍යා ගොඩනැගිල්ලක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. බ්‍රිතාන්‍යය යටත්විජිත සමයේ දී (ක්‍රි.ව.1844) මෙය හමුදා බැරැක්කයක් ලෙස භාවිතයට යොදාගෙන තිබිණි.

පසුකාලීනව සිර මැදිරියක් හා බෝගම්බර රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙස මෙම වලව්ව පවත්වාගෙන යනු ලැබිණි.

මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ ඇහැළේපොළ වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබුණි. මෙම ඓතිහාසික ඇහැළේපොළ වලව්ව තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙසින් පවත්වාගෙන යෑම අපරාධයක් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියයි. ඔහු මෙම ගොඩනැගිල්ලේ වටිනාකම පිළිබඳවත් එහි ආරක්ෂාව පිළිබඳවත් ගැඹුරින් අධ්‍යයනය කොට මහජන සුබසෙත පිණිස රැක ගැනීමට වෙර දරන සෙයක් පෙනෙන්නට ඇත. එහෙත් ඔහුගේ අමාත්‍යාංශය යටතේ පවතින මෙම ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ නොවන දළදා මාලිගාවට පවරා දෙන්නට තරම් උවමනාවක් ඇති වූයේ ඇයි ද යන්න පුදුම සහගතය.

දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා ගෙන් මේ පිළිබඳව විමසූවිට කියා සිටියේ , පෞඪ ඉතිහාසගත සිදුවීම් මාලාවක් දිග හැරෙන ඇහැළේපොළ වලව්ව wax museum ඉටිරූප සහිත කෞතුකාගාරයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බවය. උඩරට අභිමානය මතුකරන පෞඪත්වය සනිටුහන් කරන කෞතුකාගාරයේ දේශීය ආහාර පාන පැරණි භාණ්ඩ ආදි ඉතිහාසගත මතක නැවත සිහි ගැන්විය හැකි ස්ථානයක් බවට පත් කරන්නට යෝජනා වී ඇති බවත් මෙවන් කෞතුකාගාරයක් ලංකාව තුළ ඉදිවන්නට යන පළමු අවස්ථාව මෙය බවත් නිලමේවරයා ඉරිදා දිවයිනට කියා සිටියේය.

මේ වනවිටත් මහනුවර ඇහැළේපොළ වලව්ව (ජනාධිපති මැඳුර ඉදිරිපිට) නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කරමින් තිබේ. මෙය මෙයට පෙර බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය විය. කාන්තා රැඳවියන් රඳවා සිටි මෙබිමෙහි හුන් රැඳවියෝ දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේදීය. නැතහොත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේදීය.

ඇහැළේපොළ සැලැස්ම

නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන්’ රුපියල් මිලියන එකසිය විස්සකට ආසන්න පිරිවැයක් දරමින් ඇහැළේපොළ වලව්ව නැවත නවීකරණය වෙමින් තිබිණි. වලව්වේ ඉදිරිපස කොටස සංචාරක ආකර්ශනය සහිත දේශීය නිපැයුම් සහිත වෙළෙද කුටිවලින් පිරවීමට යෝජනා වී තිබූ බව ට තොරතුරු අනාවරණය විය. අභ්‍යන්තර කාමර හතළිහ දෙස් විදෙස් සංචාරකයින් සඳහා වන නවාතැන් පොළක් ලෙසට ද යෝජනා වී තිබිණි. එම යෝජනා තවමත් හකුළා ගෙන නැත. මෙම ගොඩනැගිල්ල ආදායම් උත්පාදන මාර්ගයක් ලෙසට පරිවර්තනය කිරීම සඳහා විවිධ ආයතන වෙතින් යෝජනා කැඳවීමක් ද නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදු කොට තිබිණි. මේ සම්බන්ධයෙන් උඩරට සංවර්ධන අධිකාරිය , මැණික් හා ස්වර්ණාභරණ ආයතනය , දළදා මාලිගාව සහ තවත් ආයතන කිහිපයක් සිය යෝජනාවලි නාගරික සංවර්ධන අධිකාරීය වෙත ඉදිරිපත් කොට තිබිණි. දේශීය නිපැයුම් සඳහා සාර්ථක වෙළෙඳ පොළ අවස්ථා ඇති කරමින් , සංචාරක ආකර්ශනය මැනැවින් පවත්වා ගෙන යෑම පිණිස , මෙම ස්ථානය පවත්වාගෙන යා හැකි පසුබිමක් ඉදිරියේදි ඇති වන බවද රහසක් නොවේ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් කොවිඩ් සමයට පෙර සිට ම පැවැති බව ද නො රහසකි. කොළඹ මහනුවර අධිවේගි මාර්ගය නිමැවීමෙන් අනතුරුව දළදා සමිඳුන් වැඳපුදා ගැනීමටත් ඓතිහාසික බව අත්විඳීමටත් පැමිණෙන සංචාරක පිරිස නිමක් නොවනු ඇත. ඔවුන් වෙනුවෙන් ලක ලෑස්ති වීමට මේ පිරිස කලක සිට ම සූදානමින් සිටී. බළලා මල්ලෙන් එළියට පැන්නේ ඉකුත් දා කැබිනට් පත්‍රිකාව එළියට ආ වෙලාවෙහිය.

දළඳා මාලිගාවටත් එපා කියපු ඇහැළේපොළ වලව්ව හෝටලයකට?

මහනුවර නගරයේ රජසමයේ පටන් මේ දක්වා තිබූ වලව් ගණන දහහතකි. ඊට අමතරව බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා විසින් පාසල් ගොඩනැගිලි හයක් ඉදිකිරීමෙන් පසුව ධර්මපාල හිමි විසින් තවත් පාසල් දෙකක් බෞද්ධ විද්‍යාල ලෙස ගොඩනඟා තිබේ. නිදහසින් පසුව මහනුවර වාණිජ නගරයක් කිරීමේ ලා නානා විධ පරිදි ගොඩනැගිලි ඉදිවෙමින් ලෝක උරුමය නොතකා ක්‍රියා කොට තිබෙනු දක්නා ලැබිණි. එම තත්ත්වය මේ වනවිට අයාලේ යන තැනට ම පත්ව තිබේ. දැන් අත ගසමින් යන්නේ පෞරාණික වටිනාකමක් ඇති අවසන් රාජධානිය සතු ගොඩනැගිලිවලට ය.

ලෝක උරුමය

මන්ද දැන් දැන් සියලුම ඉදිකිරීම් සිදුවන්නේ , දේශපාලන උවමනා එපාකම් මතය. කොන්ත්‍රාත්කරුවන් විසින් ලබාදෙන කොමිස් මුදලේ වටිනාකම පෙරටු කොට ගෙන සහ වෙළෙඳ ව්‍යාපාර පවත්වාගෙන යෑමේ උවමනාව මතය. මේ පිළිබඳව මහනුවර ලෝක උරුම කමිටුව සාක්ෂි දරන නමුත් වචනයක්වත් කියන්නට ඉදිරිපත් වන්නේ නැත. ලෝක උරුම සමාජික පිරිස සෑම අවස්ථාවක දීම ගොඩනැගිලි සහ මහනුවර නගරය රැක ගැනීම පිණිස වෙහෙස ගනී. මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ද ඇතිව මහනුවර නගරයේ සංස්කෘතික ආකර්ශනයට හානියක් නොවන අයුරින් මෙම සංවර්ධන ව්‍යාපෘතිය දියත් වෙමින් තිබිණි. මෙම භූමිය පුරාවිද්‍යා වටිනාකමින් අනූන බිමක් බැවින් එහි කිසිදු ගොඩනැගිල්ලකට හෝ තාප්පයට හානියක් සිදු කිරීමට ඉඩ නොතැබිය යුතු බවත් ලෝක උරුම නගරයේ මහනුවර අභිමානයට කැළලක් සිදු නොවිය යුතු බවත්, මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි මහානායක ස්වාමින්වහන්සේ ගේ දේශනාව විය.

පැරණි ගොඩනැගිලි ව්‍යාපාරික ස්ථානවලට

අතීතයේ වලව් ලෙස පැවැති ගොඩනැගිලි රැසක් අද වනවිට කිසියම් කටයුත්තක් සඳහා ප්‍රතිසංස්කරණය කොට භාවිත කරමින් සිටි. මහනුවර නරයේ ඇති සෑම ලෝක උරුම ගොඩනැගිල්ලක්ම පාහේ ව්‍යාපාරික ස්ථානයකට බද්ධව ව්‍යාපාර සිදු කරගෙන යන බවද දක්නා ලැබේ. දියුණුව කරා ගමන් ගන්නා රටක එහි මහා වරදක් නැති බව සැබෑය. මේවායේ කුකුසක් ඇත්නම් ඇත්තේ ඒවා යෙදවීම පිණිස ගන්නා තීරණවලය. පෞඪ ඉතිහාසය අනාගත පරපුරේ උරුමයක් බව දැන් කාටත් මතක නැත. ඇහැළේපොළ වලව්ව පමණක් නොව රාජකීය බිසෝවරුන්ගේ ස්නානාගාරය වූ උල්පැන්ගේ ද අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගලවා දළදා මාලිගාවට පවරා දීමට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිවරු කිහිපපොළක් උත්සාහ ගනිමින් සිටිති. එපමණක් ද නොව , රජවාසල , මැද වාසල , පල්ලේවාසල සහ මඟුල් මඩුව ද දළදා මාලිගාව වෙත පවරා දීමට රජයේ නිලධාරින් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටී.

දැනට විශ්වවිද්‍යාල දරුවන් ඇතුළු දෙස් විදෙස් අධ්‍යාපනය ලබන බහුතරයක් සිසුනට ඉතිහාසගත තොරතුරු මෙන්ම පුරාවිද්‍යා තොරතුරු පුරාවිද්‍යා තාක්ෂණික ක්‍රම පිළිබඳව නොමිලේ අධ්‍යාපනය ලැබිය හැකි පසුබිමක් සහිත බිසෝ උල්පැන්ගේ ගොඩනැගිල්ල පිළිබඳව උකුසු ඇස් යොමා සිටින්නවුන්ගේ අරමුණ ද එහි වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමය.

වර්තමාන ලෝකයේ පවතින ඵෙතිහාසික ස්මාරක පිළිබඳව ඇති සදාතනික වටිනාකම ගැඹුරින් විමසා බැලිය යුතුය. එහි කාලය ඉතිහාසය සහ උරුමය පිළිබඳ වටිනාකම මූල්‍යමය වටිනාකමක් බවට පරිවර්තනය කිරීම පහසු නැත. පෞරාණික වස්තුවක් මිල කළ නොහැක්කේ යම් සේ ද ඓතිහාසික ගොඩනැගිල්ලක් ද එලෙස මිල කළ නො හැකිය. මෙවන් පසු බිමක ඇහැළේපොළ වලව්ව රැක ගැනීම ද මහා ප්‍රාඥයෙකුගේ හාස්කමකින්ම සිදු කරගත යුතුය. මන්ද අද සිටින බහුතරයක් මැති ඇමතිවරුන්ගේ හදවත් පිරි ඇත්තේ ප්‍රෞඪ ඉතිහාසකින් නොව මූල්‍ය තැන්පතු මතම බැවිනි .

තවත් මතක් කළයුතු යමක් තිබේ. එදා ඇහැළේපොළ නිලමේ කැප්පෙටිපොළ සමග එක්ව සුද්දන් පන්නා දැමීමට සටන් කළේ සිංහල හයිය පෙන්නන්නටය. අද මෙරට සිටින සිංහලයා ඇහැළේපොළ රැකගත් බිම නවීකරණය කර ආලවට්ටම් දමා සුද්දාට ම පෙන්නන්නටත් ඒමත සිටිමින් ඩොලර් උපයන්නටත් වෙර දරයි.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment