බංකොලොත් කල්ලියේ පෙන්ෂනුත් කපන්න

866

පැමිණිලි එන්න ගනී

රට බංකොලොත් කිරීමට වගකිවයුත්තන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී වරදකරුවන් වූ කිසිවකුට සිය තනතුරුවලින් විශ්‍රාම ගිය පසු හිමිවන වරප්‍රසාද ලබාදීම සිදු නොකළ යුතු බව දන්වමින් දූෂණ විරෝධී බලවේගය ජනාධිපති ලේකම් වෙත ලිපියක් යොමු කර ඇත.

එම බලවේගයේ සභාපති, මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ සහ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්කගේ යන මහත්වරුන්ගේ අත්සනින් යුතු එම ලිපිය මගින් විශ්‍රාම ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට, ඉල්ලා අස්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඉල්ලා අස්වූ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට ජනතාවගේ බදු මුදලින් ලබා දෙනු ලබන කිසිදු විශ්‍රාම වැටුපක් , නිල නිවසක්, නිල රථයක්, ආරක්ෂාව ඇතුළු අනෙකුත් සියලු දීමනාවන් ද නොදී ඒවා වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් වරදකරුවන් කර ඇති මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරුන් දෙදෙනාට සහ මහ බැංකු හිටපු අධිපතිවරුන් හට ද මහජන බදු මුදලින් ලබා දෙන විශ්‍රාම වැටුප් හා වෙනත් වරප්‍රසා ද වහාම අත්හිටුවන ලෙස ද අදාළ ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.

මෙරට ආර්ථික අර්බුදය පිළිබඳව සමගි ජන බලවේගයට අනුබද්ධිත ජනතාවාදී බුද්ධි මණ්ඩපයේ සාමාජිකයින් පිරිසක් විසින් ගොනු කරන ලද පෙත්සමට අනුව පසුගිය 15 දා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් ඇමැතිවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මෙන්ම ඔවුන්ට හිතෛෂී පාලන තන්ත්‍රයේ සිවු දෙනකු ද මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී තිබිණි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment