‘කන්දක් සේමා’ මංගල දර්ශනය බලපු රසිකාවියක් මගේ කනට එකක් දෙන්න හිතෙනවා කිව්වා – බිමල් ජයකොඩි

280

ලබන අවුරුද්දේ මගේම චිත්‍රපටයක් හදනවා

රංගන ක්‍ෂේත්‍රයේ සිටින බොහෝ නළුවන් අතරින් ඔහු බොහෝ හෙමින් තාත්ත්වික රංගනයක යෙදෙමින් සෙමින් ගමනක් යනවා. ඇත්තටම ඔහු නිතර දකින්න ලැබෙන චරිතයකුත් නෙමෙයි. තමන්ට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න උත්සාහ දරන රංගන ශිල්පියෙක්. රංගධරයා කියන වචනයේ පරිසමාප්ත අර්ථයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න සූදානම්. අප ඉහතින් සඳහන් කළ බිමල් ජයකොඩි නමැත්තා මේ දිනවල ඔබටත් මටත් හමුවන්නේ අසෝක අතාවුදහෙට්ටිගේ ‘කන්දක් සේමා’ සිනමා නිර්මාණය හරහායි. ඉතිං අපි බිමල්ට මේ ඉඩකඩ වෙන් කරන්න හිතුවා.

‘කන්දක් සේමා’ මංගල දර්ශනය බලපු රසිකාවියක් මගේ කනට එකක් දෙන්න හිතෙනවා කිව්වා - බිමල් ජයකොඩි

● බිමල් ඔබ රංගනයෙන් දායක වුණු ‘කන්දක් සේමා” චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. මේ වෙලාවෙ ඔබට ලැබෙන්නෙ මොන වගේ ප්‍රතිචාර ද?

ඔව්. ඇත්තටම පොඩි කනගාටුවක් තිබුණා. මොකද මේ චිත්‍රපටය රූගත කරල අවසන් කරල, සංස්කරණය කරල අවසන් වුණ මුල් වකවානුවේ තිරගත නොවීම සම්බන්ධයෙන්. මේ තිබෙන ක්‍රමවේදයත් එක්ක අපරාදෙ මෙහෙම දෙයක් වෙන්නෙ කියන අදහසක් තිබුණා. හැබැයි කොයිදේත් වෙන්නෙ හොඳටයි කියල හිතනවා වගේ මට හිතෙන්නේ මේ මොහොත ප්‍රේක්ෂකාගාරය සිනමාපටවලට ඉතා ආකර්ෂණයක් තිබෙනවා කියලා. ඉතිං ඒකත් එක්ක ප්‍රේක්ෂකයො ගොඩදෙනෙක් මේ වනවිට චිත්‍රපටය නරඹලා තිබෙනවා.

අවංකවම කිව්වොත් චිත්‍රපටය නරඹපු ප්‍රේක්ෂකයන් දන්නවා මගේ චරිතය කොයි වගේද කියලා. චරිතයේ ස්වභාවයට යම් විදියක විවේචනයක් තිබුණත් මගේ රංගනය ගැන කතාබහ කරනවා.

‘කන්දක් සේමා’ මංගල දර්ශනය බලපු රසිකාවියක් මගේ කනට එකක් දෙන්න හිතෙනවා කිව්වා - බිමල් ජයකොඩි

● ඇත්තටම බිමල් මේ දවස්වල වැඩිපුර බැණුම් අහනව ද?

ඔව්. ‘අම්මෝ මට පෙන්නන්න බැහැ’ ඔය වගේ තමයි කියන්නේ. හොඳම උදාහරණය තමයි මංගල දර්ශනය නරඹල එළියට එනකොටම මගේ ඉදිරියට ආපු ආදරණීය රසිකාවියක් මගේ මුහුණට හම්බවුණාම කිව්වෙ තව එකක් කනට දෙන්න හිතෙනවා කියලයි. මම ඉතින් ඒත් බැලුවා මගේ පෙර වැරැද්දක් ද දන්නෙ නැහැ කියලා. චරිතයේ ස්වභාවයට මිනිස්සුන්ගේ යම් විදියක විවේචනයක් තිබෙනවා. රංගනය සම්බන්ධයෙන් නම් ඉතාම හොඳ ප්‍රතිචාර මට ලැබෙනවා. චිත්‍රපටයේ ධාවන කාලය ගත්තොත් මම ඉන්නෙ බොහොම ඉතා කුඩා වෙලාවක්. ඒක ඇතුළෙ ටක් ටක් ගාල මගේ වෙනස්කම් සිද්ධ වෙනවා.

● මෙහි අධ්‍යක්‍ෂ අසෝක අතාවුදහෙට්ටි ඔබට හමුවන්නේ කොහොමද?

මගේ පළමුවන ප්‍රාසාංගික නාට්‍යයේ ප්‍රධාන සහාය අධ්‍යක්‍ෂවරයා තමයි අසෝක අතාවුදහෙට්ටි. අපි අද මේ තත්ත්වයේ ඉන්නේ ජ්‍යෙෂ්ඨ ශිල්පීන්ගේ මෙහෙයවීමෙන් තමයි. මේක අතපත ගාන්න ගත්තේ එහෙමයි. අනික අපිට හරි ෂෙඩියුල් එකක් තිබුණා. ඉතිං ඔහු යටතේ මම ඒ කාලෙ හරි ආරක්ෂිතයි කියල තේරුණා. ඔහු යටතේ මේ ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ සියලු අත්දැකීම් මට පෙරළා ඔහුගේ නිර්මාණය තුළින් ඔහුට ලබාදීමට හැකිවීම තුළින් මා ලොකු ආත්ම තෘප්තියක් ලැබුවා.

● ජපානයේ රූගත කිරීම් සිදුකරන කාලයේ ලද අත්දැකීම් මොන වගේ ද?

ඒක තමයි මගේ ජීවිතයේදී විදේශයකදී ලබපු හොඳම අත්දැකීම. මම දෙපාරක් හිතන්නෙ නැතිව ඒක කියනවා. මම රටවල් කිහිපයකට ගිහිල්ල තිබුණත්, මට කවදාවත් ඒ කිසිම රටක නවතින්න ඕනෑ කියන අදහස ඇවිත් නෑ. අයියෝ මට මේ රටේ ඉන්න තිබ්බා නම් කියල හිතුන වාර කවදාවත් තිබුණෙ නෑ. නමුත් මට ජපානයට ගිය දවසෙ ඒක හිතුණා. අපි හිටියෙ නගරයක නෙමෙයි. බොහෝ ඈත ගම් පළාතක ඔවුන්ගේ සංස්කෘතිය ඇතුළෙ තිබුණ වටිනාකම්වලට මට හරි ආස හිතුණා. ඒ කාලය හරිම සුන්දර කාලයක්. මගේ අතීතයේ සුන්දරම මතකය කියන්නෙ ජපානයේ රූගත කිරීම් කරපු කාලයයි.

● මේ දවස්වල මොනවද කරන්නේ.?

ලංකාවෙ දෙසැම්බර් මාසයේ රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිත ටිකක් වෙනස් වූ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න සූදානමින් ඉන්නේ. දැවැන්ත නිෂ්පාදන දෙකක් ආරම්භ වෙනවා. ඉන් එක නිෂ්පාදනයක මමත් එක චරිතයක් නිරූපණය කරනවා.

ඊට අමතරව කාලෙකට පස්සෙ අරුණ ජයවර්ධන අධ්‍යක්‍ෂණය කරනු ලබන ටෙලි නාට්‍යයකට රංගන දායකත්වය ලබාදෙන්න සැලසුම් කරමින් ඉන්නවා. මේ කාලය ඇතුළත මම භාරගත්තු ටෙලි නාට්‍ය බොහොම අල්ප ප්‍රමාණයක් තියෙන්නේ. කරපු ටෙලි නාට්‍යයක තව කොටස් කීපයක් රූගත කරන්න සිද්ධ වෙයි, දෙසැම්බර් ඉවර වෙන්න කලින්. ඊට අමතරව මම වැඩි කාලයක් චිත්‍රපටවල රූගත කිරීම්වලට සහ ‘කන්දක් සේමා’ චිත්‍රපටයේ ප්‍රවර්ධන වැඩ කටයුතු වෙනුවෙන් කාලය වෙන්කරලයි තියෙන්නේ.

● මේ වෙලාවෙ චිත්‍රපට කීයක් විතර තිරගත වෙන්න තියෙනව ද?

මට හිතෙන්නෙ ඉලක්කම් විදිහට ගත්තොත් චිත්‍රපට හතක් අටක් විතර තිරගත වෙන්න තියෙනවා. නුදුරේදීම අරුණ ජයවර්ධනගේ ‘1970 ලව් ස්ටෝරි’ තිරගත වේවි. ඊට අමතරව ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්‍ෂණය කරපු මන්දාරා කියන චිත්‍රපටය ලබන මාසයේ මුල් කාර්තුවේදී තිරගත කරන්න සූදානමක් තියෙනවා. රුක්මල් නිරෝෂ් අධ්‍යක්‍ෂණය කරපු අම්ල පැහැ වලාකුළක්, පාලිත පෙරේරාගේ එළිෆන්ට්පාස් කියන චිත්‍රපට තිබෙනවා.

බිමල් අධ්‍යක්‍ෂණයට පිවිසෙන්නෙ කවදා ද?

මමත් කිහිප වතාවක්ම ඒ පිළිබඳ සූදානම් වුණා. හැබැයි මේ තිබෙන ක්‍රමවේදයත් එක්ක ඒක ටිකක් පස්සට ගියා. මම ටිකක් පහසු කලාපයක ඉන්න කැමැති කෙනෙක් වගේ හින්දා මෙච්චර අමාරුවෙන් මේවට මහන්සි වෙන්නෙ මොකට ද වගේ කියන අදහස ඔළුවෙ තිබුණා. ඉතින් මගේම කියන නිර්මාණයකට ලබන වසරෙ සැලසුම් සකස් කරමින් ඉන්නේ. බොහෝ විට එය චිත්‍රපටයක් වේවි. එදාට මීට වැඩිය වැඩි යමක් කතා කරමු.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment