වැලන්ටයින්ගේ ලෝක වාර්තාව බිඳ නැගී සිටි අපේ දඟයා

386

අයර්ලන්තය ගාල්ලට ආවේ පසුගිය සතියට ඉකුත් සතියේ ය. ඔවුන් ගාල්ලට පැමිණෙන්නට පෙර තත්ත්වය සහ දැන් තත්ත්වය සපුරා වෙනස් වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කණ්ඩායමක් ලෙසින් මෙන්ම ක්‍රීඩකයන් ලෙස ද මේ සති දෙකක කාලය තුළ ලබාගත් දෑ බොහෝය. ජයග්‍රහණ ලබා, වාර්තා තබා පසුකර ගිය සන්ධිස්ථානද අපමණය. අයර්ලන්තයට එරෙහි පළමු තරගයේ දී ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය විය.

ඒ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ අවසාන තරගයේදී අවසාන වශයෙන් වාර්තා වූයේ අසමසම වාර්තාවකි. ඒ අඩුම තරග සංඛ්‍යාවකින් ටෙස්ට් තරග සියයක් ජයග්‍රහණය කළ ආසියාතික කණ්ඩායමට හිමි වාර්තාවයි. ශ්‍රී ලංකාව එම වාර්තාවට හිමිකම් කීවේ සිය 311 වැනි ටෙස්ට් තරගයේදී ය. තව නොබෝ දිනකින් ලෝක ශුරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට මුහුණ දෙන ඉන්දියාවට ද ටෙස්ට් තරග 100 ක් ජය ගැනීම සඳහා තරග 432 කට මුහුණ දීමට සිදුවී ඇත. පකිස්තානය එම කඩඉම ජයග්‍රහණය කළේ ඔවුන්ගේ 320 වැනි ටෙස්ට් තරඟයේ දී ය. මේ අනුව බලන කල ශ්‍රී ලංකාව ඉදිරියේ පසුගිය සිකුරාදා සටහන් වූයේ අති විශිෂ්ට දස්කමකි. අසිත ප්‍රනාන්දු අවසන් පන්දු දෙකේදී අයර්ලන්ත පිතිකරුවන්ගේ අවසන් කඩුලු දෙක බිඳ දමද්දී ශ්‍රී ලංකාව ඉදිරියේ එම අසහාය වාර්තාව ලියැවුණි.

ඊට පැය කීපයකට පෙර ප්‍රභාත් ජයසූරිය නමින් ලියවුණේ ලෝක වාර්තාවකි. ඒ ලෝක වාර්තාව නම් අඩුම තරග සංඛ්‍යාවකින් කඩුලු 50 සීමාවට පැමිණි ලොව පළමු දඟ පන්දු යවන්නාගේ වාර්තාවයි. එම වාර්තාව අලුත් වූයේ වසර 72 කට පසුවය. අයර්ලන්ත දෙවැනි ඉනිමේ සිය දෙවෙනි කඩුල්ල ලෙස පෝල් ස්ටර්ලිංග් ගේ කඩුල්ල දවාගනිමින් ප්‍රභාත් ජයසූරිය මෙම දස්කම දැක්වූයේය. එසේම ලොව අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50 දවාගත් ක්‍රීඩකයන් අතර සිව්වැනි ස්ථානයද ජයසූරියට හිමිවිය. එම සටහනේ තවමත් පෙරමුණේ පසුවන්නේ 1888 අගෝස්තු 30 වැනිදා සිය 6 වැනි ටෙස්ට් තරගයේ දී කඩුලු 50 සම්පූර්ණ කළ ඔස්ට්‍රේලියාවේ චාලි ටර්නර්ය. එංගලන්තය සමග මැන්චෙස්ටර් ක්‍රීඩාංගණයේ පැවැති තරගයක දී ඔහු මෙම ඉලක්කය සපුරා ගත්තේය.

චාලි ටර්නර්ට පසුව මෙන්ම ප්‍රභාත් ජයසූරියට පෙර එම දස්කම තරග හතකින් ප්‍රදර්ශනය කිරීමට සමත් වූ තවත් ක්‍රීඩකයෝ දෙදෙනෙක් වෙති. ඔවුන් ද ජයසූරිය මෙන්ම සිය හත්වන ටෙස්ට් තරගයේදී කඩුලු පනහේ සීමාවට අවතීර්ණ වී ඇත. ඒ එංගලන්ත ක්‍රීඩක ටී. රිචඩ්සන් සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩක වර්නන් පිලැන්ඩර්ය. පිළිවෙළින් 1896 හා 2012 දී ඔවුන් මෙම දස්කම් දක්වා තිබිණි.

දඟ පන්දුවෙන් මෙම දස්කම අඩුම තරග සංඛ්‍යාවක දී මෙයට පෙර වාර්තා කර තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇල්ෆ්
වැලන්ටයින් ය. 1951 දෙසැම්බර් 31 වැනිදා ඔස්ට්‍රේලියාව සමඟ පැවැති සිය 8 වැනි ටෙස්ට් තරගයේ දී ඔහු කඩුලු 50 ඉලක්කයට ළඟා වී තිබිණි. ඒ අනුව ප්‍රභාත් ඇල්ෆ් තබා තිබූ වාර්තාව බිඳ දැමුවේ වසර 72කට පසුවය.

ජයසූරිය නම මෙරට ක්‍රිකට් වංශකතාවේ වාර්තාවී ඇති බොහෝ වාර්තාවලට හිමිකම් කියන නාමයකි. ඒ සනත් ජයසූරිය නමිනි. අද ප්‍රභාත් ජයසූරියගේ නම ද එසේ වාර්තා පොත් අතර රන් අකුරෙන් ලියැවේ. 2022 වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබූ ප්‍රභාත් මාතලේ දිස්ත්‍රික්කයෙන් මෙරට පහළ වූ ප්‍රබල ක්‍රිකට් තරුවකි.

ප්‍රභාත් ජයසූරිය සිය පන්දුවෙන් නෙක දස්කම් විස්කම් පාද්දී ශ්‍රී ලංකා පිතිකරුවන් පිතිහරඹයෙන් පෑ දස්කම් ද මෙවර අයර්ලන්ත තරගාවලියේ කැපී පෙනුණි. ඒ අතරින් නිශාන් මධුශ්ක සහ කුසල් මෙන්ඩිස් ඉහළින්ම සිටිති. එසේම ශ්‍රී ලංකාව මෙම තරගයේ රැස් කළ ලකුණු 704 ඔවුන් ටෙස්ට් තරගයකදී ලකුණු 700 සීමාව ඉක්මවා ගිය 7 වැනි අවස්ථාව වූයේය. ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් ලකුණු 700 සීමාව වැඩිම වතාවක් ඉක්මවා ගිය කණ්ඩායමේ වාර්තාවට මීට පෙර පටන් හිමිකම් කිවූ ශ්‍රී ලංකාව ඔවුන්ගේ වාර්තාව මෙහිදී තවදුරටත් ඉදිරියට රැගෙන ගියේය.

එසේම ටෙස්ට් ක්‍රිකට් පිටියේ දී කණ්ඩායමක මුල් පෙළ පිතිකරුවන් හතර දෙනාම ශතක ඉක්මවා ලකුණු රැස් කළ තෙවැනි අවස්ථාව ලෙස දිමුත්, නිශාන්, කුසල්, සහ මැතිව්ස් ශතක සහ ද්විත්ව ශතක රැස් කරන්නට සමත් වූ මෙම ඉනිම ක්‍රිකට් වාර්තා අතර ලියැවේ.

මීට පෙර එම දස්කම කර තිබුණේ 2007 වසරේදී ඉන්දීය කණ්ඩායම බංගලාදේශයට එරෙහිවත්, 2019 වසරේදී පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිවත් ශතක රැස් කරමිනි.

එසේම මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ශතක සම්බන්ධතා දෙකක් වාර්තා වූයේ ය. ඒ අතරෙන් නිශාන් මධුශ්ක සහ දිමුත් කරුණාරත්න එක් ද්විත්ව ශතක සම්බන්ධතාවක් වාර්තා කළහ. අනෙක් ද්විත්ව ශතක වාර්තාවට ද නිශාන් මධුශ්ක සම්බන්ධ වූයේය. ඒ එම තරගයේදී නිශාන් ට අමතරව ද්විත්ව ශතකයක් ලැබූ කුසල් මෙන්ඩිස් සමගය. ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා අතර පළමු සහ දෙවන කඩුල්ල වෙනුවෙන් ද්විත්ව ශතක සබඳතා දෙකක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වේ.

සිය තෙවැනි ටෙස්ට් තරඟයට සහභාගී වන නිශාන් මධුශ්ක 1987 වසරට පසුව ආරම්භක පිතිකරුවකු සිය පළමු ශතකය ද්විත්ව ශතකයක් බවට පරිවර්තනය කළ අවස්ථාව ද එහිදී වාර්තා විණි. නිශාන් ට පෙර එම දස්කම පෙන්වා තිබූ බ්‍රෙන්ඩන් කුරුප්පු තම මංගල තරගයේ දී ම ද්විත්ව ශතකයක් වාර්තා කර තිබුණි.

සිය ක්‍රිකට් ජීවිතයේ දී අවස්ථා කීපයකදීම ද්විත්ව ශතකය සුළු ලකුණ ගාණකින් අහිමිව ගිය කුසල් මෙන්ඩිස්ගේ පළමු ද්විත්ව ශතකය හයේ පහර වැස්සකින් වර්ණවත් වූයේ ය. ඔහුගේ ඉනිමේ එදා අන්තර්ගත වූ හයේ පහර 11 ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ පමණක් නොව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ද වාර්තා අතර ඉහළින් ම කියවුණි.

මෙන්ඩිස් ට පෙර ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී හයේ පහර 11 ක් හෝ ඊට වැඩියෙන් එල්ල කර තිබුණු අවස්ථා ගණන 6 කි. ඉන් පස් වතාවක්ම හයේ පහර 11 බැගිනි. ජගත් ටෙස්ට් ක්‍රිකට් පිටියේ ඉනිමක වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවේ වාර්තාව ලෙස දැක්වෙන්නේ වසීම් අක්‍රම් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හයේ පහර 12 ක් එල්ල කිරීමය. ඒ 1996 වසරේ දීය.

ඊට පසුව එක් ඉනිමක වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ බෙන් ස්ටෝක්ස්, බ්‍රෙන්ඩන් මැකලම්, මැතිව් හේඩ්න්, නේදන් ඇස්ට්ල් හයේ පහර 11 බැගින් එල්ල කර තිබීමයි. බ්‍රෙන්ඩන් මැකලම් එම දස්කම දෙවරක් ප්‍රදර්ශනය කර තිබේ. හයේ වැසි වැස්ස වූ කුසල් මෙන්ඩිස් අයර්ලන්තයට එරෙහිව ඉනිම් දෙකකදී ලකුණු 385 ක් ලබාගෙන තරගාවලියේ වීරයා සම්මානය ද හිමිකර ගත්තේය. එසේම මෙම තරගයේදී දිමුත් කරුණාරත්න ආරම්භයේ දී ලබාගත් ශතකයත් ඇන්ජලෝ මැතිව්ස් ඉනිම අවසානයේ ලබාගත් ශතකයත් ඔවුන් දෙදෙනාගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ වේගවත්ම ශතකයන් ලෙස දැක්වේ. දිමුත් පන්දු 116 කදීද මැතිව්ස් පන්දු 114 කදීද තමන්ගේ එම වාර්තාවන්ට හිමිකම් කීහ. ඒ අනුව අයර්ලන්තයේ ශ්‍රී ලංකා තරග සංචාරය නිමා විණි. ඔවුහු පළමු තරගයේ දී කෙසේ වෙතත් දෙවන තරගයේදී පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වූහ. ශ්‍රී ලංකාව සමග ඔවුන් සහභාගි වූයේ තමන්ගේ හතර වන සහ පස්වන ටෙස්ට් තරගයට වේ. ජයග්‍රහණ කෙසේ වෙතත් ඔවුන්ගේ අරමුණ වූයේ හොඳින් අත්දැකීම් ලබා ගැනීමයි.

ශ්‍රී ලංකාවට වාර්තා ඇති තරම් හිමි වූ අතර අයර්ලන්තයට ද සිතුවාටත් වඩා මෙම තරගාවලියේදී අත්දැකීම් හිමි වන්නට ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment